"ඇහැ පිය හෙළන සැණින් වෙනස් වුනොත් සිද්ධ වෙන දේ හිතා ගන්නත් බෑ.." - වස්කඩුව අනතුරෙන් මිය යාමට පෙර රියදුරු රංගජීව පැවසූ දේ ගැන බිරිඳ කියයි

ජීවිතය ජය ලබන්නට වෙර දරූ මේ පිරිස අවාසනාවන්ත වූයේ පෙර කල කරුමය කින්දැයි මුළු ප්‍රදේශයම කම්පා කරමින් පසුගියදා වස්කඩුව ප්‍රදේශයේ දී සිදු වූ මාරාන්තික රිය අනතුරෙන් මරණයට පත්වූ සියලූ‍ දෙනාගේ දේහයන් මේ වන විට නිවෙස් වල තැන්පත් කර ඇත්තේ නෑහිතවතුන්ගේ දෙනෙත් කඳුලින් තෙත් කරමිනි.
ඉකුත් 4 වැනිදා උදෑසන කොළඹ බලා යෑමට මාපලගමන් ගමන් ආරම්භ කළ බස් රථය පිටිගල පැලවත්ත මතුගම පසුකරමින් කළුතර දක්වා ගමන් කර වස්කඩුව ප්‍රදේශයේදී සිදු වූ මාරාන්තික රිය අනතුරෙන් මියගිය හය දෙනාගේ දේහයන් පිටිගල සහ අවට ප්‍රදේශවල නිවෙස් වල තැන්පත් කර ඇත්තේ කාගේත් සිත් සතන් තුළ ශෝකය උපදවමිනි.

එදා බස් රථවල ඉදිරිපස දක්නට ලැබුණේ රියදුරු දෑතට බුදු සරණයි දෙවි පිහිටයි, ජීවිත රැසක් ඔබ දෑතේ යන වදන් බව බොහෝ දෙනා සිහිපත් කරති. ඒවා කාලයත් සමග භාවිතයෙන් ඉවත්වීමත් සමඟ මහ මග අනතුරු වැඩි වන්නට සිදු වූ බව බොහෝ දෙනා පවසති. ජීවිත හයක් බිලිගනිමින් ගනිමින් පසුගියදා වස්කඩුවේදී සිදුවූ රිය අනතුරෙන් එම බස් රථයේ රියැදුරු ද එම ස්ථානයේදීම මරණයට පත් වූයේ කුඩා සිඟිත්තන් දෙදෙනෙකුට පියෙකු අහිමි කරමිනි.

‘‘රස්සාව හරි පරිස්සමෙන් කරන්න ඕන. ඇහැ පිය හෙළන සැණින් වෙනස් වුනොත් සිද්ධ වෙන දේ හිතා ගන්නත් බෑ. ඒ නිසා හරි පරිස්සමෙන් තමයි මේ රස්සාව කරන්නේ. ඒක නිසා හරිම අමාරු රස්සාවක් තමයි ඩ‍්‍රයිවින්. ’‘යයි තම සැමියා තමන් සමග පැවසූ බව අනතුරින් මිය ගිය බස් රථයේ දී රියදුරු ඩබ්ලිව්. ඞී. ඞී. රංගජීව (35) මහතාගේ බිරිඳ වන ප්‍රපතා රංවිනි (33)මහත්මිය කඳුළු පිරි දෙනෙතින් යුතුව අප සමග පැවසුවාය
gossip lanka