gossip lanka

උමාරියා සැමියා එක්ක එකතු වෙලා කළ ‘රැඟුමේ’ තරම

උමාරියාගේ ‘රැඟුමේ’ තරම ගැන මුලින්ම කතා කරමු?

‘රැඟුමේ’ කියන්නේ මගේ අලුත්ම ගීතය. ඒක එන්ටර්ටේන්මන්ට් පැත්තට බර ගීතයක්. නර්තනයට බර ගීතයක් විධියටත් හඳුන්වන්න පුළුවන්. මේ ගීතය ලිව්වේ මනුරංග. ගීතය සංගීතවත් කළේ මගේ සැමියා දිමිත්‍රි ෆොන්සේකා. චමිල් පතිරණ තමයි රූප රචනය කළේ. ඒක වෙනස් විධියේ නිර්මාණයක් ලෙස කරන්න තමයි මට ඕන වුණේ.


උමාරියා කොහොමත් වෙනස් වෙනස් දේවල් කරන්න කැමති කෙනෙක් නේද?

මම කවදත් ආසයි වෙනස් දේවල් කරන්න. ඉතින් මම කළ ගීතවලට වඩා මේ ගීතය හාත්පසින්ම වෙනස් ගීතයක්. හන්තාන සිහිනේ, පැතූ පෙම් පැතුම් වගේ  මම ගායනා කළ ගීත ගත්තම ඒ ගීත අර්ථවත් ගීත. නමුත් මම ‘රැඟුමේ’ ගීතය කරන්න හිතුවේ විනෝදාස්වාදය ගැන හිතලමයි. නටන්න පුළුවන් විධියට ඉදිරිපත් කරන ගීතයක් මගේ ගීත අතරට මදි කියලා හිතුණ නිසා තමයි ඒ පැත්තට ගැළපෙන විධියට මේ ගීතය නිර්මාණය කළේ.

ඒ වෙනස වෙනුවෙන් මහන්සි වෙන්නත් සිදුවෙන්න ඇති?

ඔව්. ‘රැඟුමේ’ ගීතයේ මියුසික් වීඩියෝව වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා. වීඩියෝවේ දර්ශන වෙනුවෙන් මම මාස තුනක් විතර පුහුණුවීම් කළා. ලතින්, හිපොප් නර්තන ඉගෙන ගන්නත් සිද්ධ වුණා. මම කැමැතියි ඒ විධියට මම කරන වැඩේට උපරිම මහන්සි වෙන්න.

‘රැඟුමේ’ වෙනසට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ප්‍රතිචාර හොඳයි. මගේ රසිකයෝ මේ ගීතය අහලා වීඩියෝව බලලා තිබ්බා. සමහරු මගේ ගීතවල අර්ථවත් ගැඹුරක් බලාපොරොත්තු වුණා. නමුත් මම එක දෙයකට කොටු වෙන්නේ නැතිව විනෝදාස්වාදය ගැනත් හිතලා මේ ගීතය නිර්මාණය කළා. ඒ කළ දේ අතිසාර්ථකයි කියලා හිතනවා. ලැබෙන ප්‍රතිචාර දිහා ආසාවෙන් බලාගෙන ඉන්නවා.

සැමියා එක්ක එකතුවෙලා නිර්මාණයක් කළ පළමු අවස්ථාව මේකද?

‘මම මලක් නොවේ’ කියන ගීතයටත් එයා සම්බන්ධ වුණා. නමුත් මගේ සැමියා විධියට ‘රැඟුමේ’ ගීතයෙහි තමයි අපි එකට වැඩ කළේ.

සැමියාගේ හැකියාව පෙන්නන්නත් එක්කද මේ වැඩේ කළේ?

එහෙම හිතුවේ නැහැ. නමුත් මගේ සැමියා සංගීත දැනුම පැත්තෙන් මට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. එයා ප්‍රංශයේ සංගීතය සම්බන්ධ ආචාර්යවරයෙක්. ඉතින් එයාගේ දක්ෂතාව ඉහළයි. ඒ දක්ෂතාව පිට යනවට වඩා ඒකෙන් ලංකාවටත් වැඩක් කළා නම් හොඳයි කියලා හිතුවා. නමුත් මගේ වැඩෙන් එයාට ප්‍රචාරයක් දෙන්න ඕනේ කියලා හිතුවේ නැහැ. එයාගේ දක්ෂතාවයෙන් ලංකාවටත් යමක් කරන්නයි ඕන වුණේ.

සැමියා සැබෑ ජීවිතයට වගේම සංගීත ජීවිතයටත් හොඳට ගැළපිලා නේද?

ඇත්තටම එයා මට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න කෙනෙක්. මම කැමැති දේ මම කියන්න කලින් එයා දන්නවා. ඉතින් මට එයා එක්ක වැඩ කරන්න ලේසියි.

සැමියා එක්ක එකතු වෙලා ගීතයක් ගායනා කරන්න අදහසක් නැද්ද?

මගේ සැමියාට හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. හැබැයි එයා පොඩ්ඩක් විතර ලැජ්ජයි. එයාව ප්‍රමෝට් කරනවට එයා කැමැති නැහැ. එයා කැමැති පැත්තකට වෙලා එයාගේ වැඩ කරන්න. එයාගෙන් මට ලැබෙන සහායත් කියලා නිම කරන්න බෑ.

සැමියා (දිමිත්‍රි) උමාරියාගේ නිර්මාණවලට දිගටම සම්බන්ධ වෙයිද?

සංගීත අධ්‍යක්ෂණය පැත්තෙන් එයා මගේ නිර්මාණවලටත් සම්බන්ධ වෙයි. ඒ වගේම එයා මිහිඳු, රයිනි, ළහිරු, මගේ අක්කා උමාරා එක්කත් වැඩ කිහිපයක් කරන්න ඉන්නේ.

විජයබා කොල්ලය චිත්‍රපටයෙනුත් මේ දවස්වල ඔබේ හඬ ඇහෙනවා?

ඔව්. මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ විජයබා කොල්ලය චිත්‍රපටයට ‘ඇහිපිල්ලමක් අතර’ කියන ගීතය ගායනා කළා. මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ වීරසිංහ එක්ක වැඩ කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඔවුන් දෙදෙනාට මම ගෞරව කරනවා. ඔවුන් එක්ක වැඩ කරන්නත් මම කැමැත්තෙන් හිටියා. රෝහණ වීරසිංහ මහත්මයා තමයි මට ඒ වෙනුවෙන් ආරාධනා කළේ. හරිම කැමැත්තෙන් එයට සම්බන්ධ වුණේ. මේ වෙනකොට ඒ ගීතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඓතිහාසික චිත්‍රපටයකට ඔබේ හඬ මුසුවුණු පළමු අවස්ථාව මෙය නේද?

ඔව්. මම මේ වගේ ගීතයක් මීට කලින් කරලා තිබ්බේ නෑ. රෝහණ වීරසිංහයන්ගේ සංගීතයේ වෙනම අනන්‍යතාවක් තියෙනවා. ඒ අනන්‍යතාව එක්ක මේ ගීතය සාර්ථකව කරන්න ලැබුණා. මේ ගීතයත් මගේ ගීත අතරින් රසිකයන් ආදරය කරන ගීතයක් බවට පත්වෙලා  තියෙනවා.

ගායන ශිල්පීන් කිහිපදෙනකු එක්ක උමාරියා ළඟදි යුග ගීත ගායනයට එකතු වුණා නේද?

රුවන් හෙට්ටිආරච්චි එක්ක හිරුමල් ගීතයත්, බිලි ප්‍රනාන්දු එක්ක මතකයි එදා ගීතයත්, දුමාල් එක්ක හමුවෙලා ගීතයත් වගේ ගීත කිහිපයක්ම යුග ගීත විධියට කළා.

උමාරියාට තාමත් මාධ්‍ය සහයෝගය නම් නොඅඩුව ලැබෙනවා ඇති?

ඔව්. අපි ගෞරවනීය ලෙස ඕනම දෙයක් කළොත් අපිටත් මාධ්‍යවලින් ඒ ගෞරවය දක්වනවා. ඉතින් ඒ ලැබෙන සහයෝගය ගැනත් සතුටුයි.

මේ දවස්වල උමාරියා ලංකාවේ රැඳිලා ඉන්නවා වගේ?

මේ දවස් ටිකේ ලංකාවේ ඉන්නේ. පහුගිය දවස්වල රටේ තිබුණ තත්ත්වය එක්ක වැඩකටයුතු කරන්න සුදුසු පරිසරයක් තිබ්බේ නැහැ. නමුත් දැන් ඒ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට එමින් තියෙනවා. ඒ නිසා නැවත වැඩකටයුතු පටන් ගත්තා.

උමාරියාගෙම ප්‍රසංගයක් කරන්න අදහසක් නැද්ද?

ගොඩක් අය ඒ ගැන අහනවා. ඒ වගේ දෙයක් ඉදිරියට කරන්න බලමු.



තිළිණි කෞශල්‍යා විජේසිංහ
gossip lanka