gossip lanka

දෙහිවල ඩිප්ලෝමා ආයතන සිසුවකුට දෙමසක්ම නවක වදයදී කොඳුඇට පෙළ ඇද වෙලා !

දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ ඉගෙනුම ලබන සිසුවකු මාස දෙකක් තුළ අමානුෂික ලෙස නවක වදයට ලක් වීමෙන් කොඳුඇට පෙළ ඇද වී ඇති බවට 29දා පැමිණිල්ලක් ලැබී ඇතැයි දෙහිවල පොලිසිය පවසයි.


මෙසේ නවක වදයට ලක්ව ඇත්තේ බටහිර මුදුන්කොටුව, කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුවකු බව පොලිසිය කියයි. මෙම සිසුවා 2019-06-03දා උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ ලියාපදිංචි වී කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබමින් සිටියදී එහි දෙවැනි හා තෙවැනි වසරේ සිසුන් මෙසේ නවක වදයට ලක්කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කියයි.

මාස දෙකක් පුරා දිනපතා මෙසේ නවක වදයට ලක්ව ඇති අතර ඉකුත් 02දා නවක වදයට ලක්වීමත් සමඟ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමත් සමඟ වෛද්‍යවරයා පවසා ඇත්තේ වහාම රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි.

එහෙත් මෙම සිසුවා දේශීය වෛද්‍යවරයකු හමුවී අවස්ථා පහකදී ප්‍රතිකාර ලබාගෙන ඇති අතර වෛද්‍යවරයා පවසා ඇත්තේ කොඳුඇට පේළියේ ඇදයක් හට ගෙන ඇති බවයි.

මෙම රෝගී තත්ත්වයත් සමඟ සිසුවා 2019.08.02දා සිට අධ්‍යයන කටයුතු සඳහා යෑමෙන් වැළකී ඇති බවද පොලිසිය පවසයි. සිසුවා පොලිසියට පවසා ඇත්තේ තමා නැවත එම අධ්‍යාපන ආයතනයට නොයන බවයි.

සිද්ධියට  සම්බන්ධ සිසුන් කවුරුන්දැයි විමර්ශන කොට අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව පොලිසිය පවසයි.

සිසුවා රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට නියමිතය.

ගල්කිස්ස ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් මත දෙහිවල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.

පන්නිපිටිය - හෂාන් පුෂ්පික
gossip lanka