gossip lanka

"මහත්තයා බෝම්බයට සතියකට කලින් දවසක් කිව්වා, මම හෙට මැරුණත් ලැබෙන්න ඉන්න පුතා ඔයාව මම වගේම ආදරෙන් බලා ගනිවි කියලා.." - පාස්කුදා ඛේදවාචකයෙන් සිය සැමියා අහිමි වූ ශෙරින්ගේ කඳුළු කතාව - (Photos)

මෙයට සිව් මසකට පෙර අප්‍රේල් 21 වැනිදා එල්ල වුණු පාස්කු ප්‍රහාරයේ වේදනාව තවමත් අවසන් වී නොමැත. ඒ වේදනාවන් ඔවුනට විඳින්නටත්, අපට අසන්නටත් ලැබීම පෙර කළ අකුසල කරුමයක් දැයි විටෙක අපට ද සිතේ.


පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් තවමත් ඔවුන්ගේ වරප්‍රසාද බුක්ති විඳින අතර දේශපාලන තිරිසනුන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල බුක්ති විඳින මේ අහිංසක මිනිසුන්ට දැන් අහිමි වෙන්නට දෙයක් ඉතිරි වී නොමැත.

සතුට, සිනහව ඒ ජීවිතවලින් සදාකාලිකවම නික්ම ගොසින්ය. පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය, තුවාල ලැබූවන්ට රජය විසින් ලබා දෙන වන්දි මුදලෙනුත් ගසා කන පාලකයින්, ආණ්ඩුවේ නිලධාරීන් සිටින රටක මේ මිනිසුන් ඉල්ලන සාධාරණය ලැබීම මිරිඟුවකි.

සාධාරණය කෙසේ වෙනත් ඔවුන්ට ලබා දීමට රජය විසින් තීරණය කළ වන්දි මුදල ද අද ඔවුන්ට මිරිඟුවක් වී ඇත.

එහෙත් ජීවත් වීමට දෙවියන් වරම් දුන් මේ අහිංසක ජීවිත නැවත හිස එසවිය යුතුය.

​ෙබා්ම්බයට හානි කළ නොහැකි වූ ඇයද පාස්කු ප්‍රහාරයෙන් හාස්කමකින් දිවි ගලවා ගත් 26 හැවිරිදි මවකි. ගැබ්බර මවකගේ දරු සෙනෙහසේ සතුටත්, සැමියාගේ වියෝවේ වේදනාවත් පාස්කු ප්‍රහාරයෙන් ඉතිරි කළ කඳුළු කතාවන් තුළ මේ කතාව අපට ඇහුණේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයෙන්.

"අපි දෙන්නම එකට දෙවියන් යදිමින් හිටියේ. ඒත් ඔවුන් කුරුරි බෝම්බයෙන් මගේ රත්තරං සැමියාගේ ජීවිතය උඳුරා ගත්තා. ජීවත් වෙන්න ආසාව අතෑරලා හිටපු මට නැවත ජීවිතය දුන්නේ මගේ දරු පැටියා..." ඇය කියන්නීය.

අප්‍රේල් 21 වැනිදා කියන්නේ ඇයත් ආසාවෙන් බලා සිටි පාස්කු ඉරිදාව. අද හෙටම එළිය දකින්නට සැරසෙන දරු පැටියාට ආශිර්වාද ගන්න හොඳම දවස කියලා, කවදාවත් නොසිතපු විදිහට ඇයට එදා සිතෙන්නට ඇති. එහෙත් එදා ශාන්ත අන්තෝනි දේවස්ථානයට දෙවියන් යඳින්න ගිය ඒ පුංචි පවුලෙන් නැවත නිවසට එන්නට ඒ කුරිරු බෝම්බයෙන් ඉතිරි කළේ ශෙරීන්ටයි, කුසේ වැඩුණු දරු පැටියාටයි විතරයි.

බරපතළ තුවාල කැළැල් නොවුණත් දැඩි කම්පනයෙන් රෝහල් ගත කළ ශෙරීන් පුංචි පුතෙක් මේ ලෝකෙට බිහි කළා. ඒත් සිහිය එනවිට ඇයට, සිටියේ නැහැ ඔහු ඇය ගාව. ඇය පුංචි පැටියෙක් බිහි කළා. ඒ සුනු විසුනු වෙලා ගිය ත්‍රස්ත ප්‍රහාරයෙන් ලේ විලක් මැද ආදරණීය සැමියා මිය ගිය බව නොදැනම.

"එදා මමයි මහත්තයි විතරයි පල්ලියේ පූජාවට ගියේ. ඒත් ගෙදරින් යද්දී එදා ටිකක් පරක්කු වුණා. ගොඩක් සෙනඟ හිටපු නිසා පල්ලියේ එළියට වෙලා ඉඳලා පූජාව පටන් ගන්න කොට ඇතුළට ගියා. ඒත් වාඩිවෙන්න ඉඩ තිබුණේ නැති නිසා හිටගෙන හිටියේ. දරුවා ලැබෙන්න දින ළං වෙලා හිටපු නිසා මගේ කකුල් දෙකක් ටිකක් ඉදිමිලා තිබුණා. ඊට පස්සේ එයාම ගිහිල්ලා පිටිපස්සේ බංකුවෙ හිටපු කෙනෙකුගෙන් ඉඩ ඉල්ලලා දීලා මාව වාඩි කරලා මහත්තයා මගේ පිටිපස්සටම වෙලා හිටියා....."

"එක පාරටම ලොකු සද්දයක් ආවා. මට එච්චරයි මතක. මට සිහිය නැති වුණා. ඒත් සිහිය නැති ගතිය තිබුණේ ටික වේලාවයි. ඇස් දෙක ඇරලා ඔළුව උස්සන්න හැදුවට එක පාරටම බැරි වුණා. ඒත් මම කාගෙන්වත් උදව් ඉල්ලුවේ නැහැ. මට කොහොම සිහිය ආවද කියන්න මම දන්නේ නැහැ. ඇස් දෙක ඇරපු ගමන් මට මැවිලා පෙනුණේ මහත්තයව. මාව කවුරු හරි නැගිට්ටවනවා වගේ ලොකු ශක්තියක් ආවා මට නැගිටින්න...."

"මම කොහොම හරි බංකුව අල්ල ගෙන නැගිට්ටා. වටේ හිටපු අයගේ අත් කකුල් ඔළු කෑලි ටිකක් විතරයි මම දැක්කේ. මැරිලා වැටිලා හිටපු අය, අත් කකුල් වලට යට වෙලා හිටපු අයව පෙරළ පෙරළා මම මුළු පල්ලිය ඇතුළෙම මගේ මහත්තයව සෙව්වා. මගේ බඩේ දරුවෙක් ඉන්නවා නේද? කියන අමාරුවවත් මට දැනුණේ නැහැ. ඇත්තටම වගේ බඩේ දරුවෙක් ඉන්නවා කියලා මට ඒ වෙලාවේ අමතක වුණා. මගේ මනසේ වැඩ කළේ මහත්තයා ගැන විතරයි..."

"මහත්තයලගෙ ගෙදර කියන්නේ කොච්චිකඩේ පල්ලිය ළඟම. ඊට පස්සේ මහත්තයාගේ ගෙදර අය පල්ලියට ඇවිත් මාව ඉස්පිරිතාලෙට අරගෙන ගියා. ඊට පස්සේ දවස් ගාණක්ම මහත්තයා ආවේ නෑනේ කියලා මඟ බලාගෙන හිටියා. බලන්න එන අයගෙනුත් ඇහුවට කිව්වේ නැහැ. ඊට පස්සේ මට සුළු තුවාල නිසා මාව මහත්තයාගේ ගෙදරට එක්කගෙන ගියා. මහත්තයාගේ ​ෙෆා්න් එකට ගත්තාට කතා කළේ නැති නිසා හිතට පොඩි බයකුත් දැනුණා. ඒත් මහත්තයාගේ අම්මා කිව්වා එයා හොස්පිටල් ඉන්නේ බය වෙන්න එපා කියලා මගේ හිත හැදුවා...."

"එයාව බෝම්බ පිපිරුවට පස්සේ හොස්පිටල් එකට ගෙනි යනවා දැක්කා කිව්වා. පොඩි තුවාල විතරයි තියෙන්නේ කියලා ගෙදර අය මාව ගොඩක් සැනසුවා. මම ඇත්තටම විශ්වාස කළා. මගේ මහත්තයා ජීවතුන් අතර ඇති කියලා..."

"ඒත් දින කිහිපයකට පස්සේ පල්ලියේ ​ෆාදර්ලා මහත්තයාගේ ගෙදර අය මගේ හිත හදලා කිව්වා, මහත්තයා නැති වෙලා කියලා. ඒ වෙලාවේ මට ලොකු අසරණකමක් දැනුණා. මහත්තයාගේ මූණවත් බලන්න ලැබුණේ නැහැ. සීල් කරපු පෙට්ටියක තමයි එයා ගෙදර අාවේ. එදා පාස්කු පූජාවට හරිම සතුටෙන් හිනාවෙලා පල්ලියට ගිය මූණ තමයි මගේ හිතේ හැමදාම ජීවත් වෙන්නේ. දවස් ගාණක්ම මම කෑ ගහලා ඇඬුවා. හිතේ දුක තුනී වෙනකම්ම කළේ අඬපු එක. ඇයි මාවයි දරුවයි විතරක් ඉතිරි වුණේ කියලා මම නිතරම කල්පනා කළා. මගේ මහත්තයා හරිම ගුණයහපත්. මට හරිම ආදරෙයි. මාව ගොඩක් පරිස්සම් කළා..."

"මගේ මහත්තයා බෝම්බ පුපුරන්න සතියකට කලින් දවසක් කිව්වා, ‘ලැබෙන්න ඉන්න දරුවා පුතෙක් වුණ එකට ගොඩක් සතුටුයි. ඔයා බය වෙන්න එපා, මම හදිස්සියේ හරි හෙට මැරුණත් ඔයාව අපේ පුතා මම වගේම ආදරෙන් බලා ගනිවි’ කියලා. ‘මම මැරුණොත් ඔයාව තනි වෙන්නේ නැහැ. කට්ටිය ඔයාට උදව් කරාවි’ කියලාත් කිව්වා. මට දුක හිතිලා එදා මම ඇඬුවා. විහිළුවට කිව්වේ කියලා එදා එයා මාව ගොඩක් සැනසුවා. මෙච්චර කාලෙකට එයා කවදාවත් එහෙම දෙයක් මාත් එක්ක කතා කරලා නැහැ. නැතිවෙන්න කලින් සතියේ එයාට මොකක් හරි අනතුරක ඉවක් දැනුණාද කියලත් මට වෙලාවකට හිතෙනවා. එයා මැරෙන්න සතියකට කලින් කියපු දේ අද මම ඒ විදිහටම අත්විඳිනවා සදහටම..."

"මම අවුරුදු අටක්ම කොළඹ පෞද්ගලික රෝහලක හෙදියක් විදිහට සේවය කලා. මගේ මහත්තයා ස්ටෙවන් එක්ක මම යාළු වුණේ කොළඹ වැඩ කරන කාලේ. එයා කළේ රියැදුරු රැකියාව. මහත්තයා කොළඹ වුණාට මගේ ගම ත්‍රිකුණාමලේ මූතූර්වල. වසර 7ක් අපි ආදරේ කළා. ඒත් මගේ මහත්තයාගේ ගෙදරින් අපේ ආදර සම්බන්ධයට කැමති වුණේ නැහැ. විවාහ වෙන්න අවසරක් ලැබුණෙම නැහැ. මගේ ගෙදරින් ආශිර්වාදය ලැබුණ නිසා අපි දෙන්නගේ කැමැත්තෙන් විවාහ වුණා. අවුරුදු අටක් යාළු වෙලා ඉඳලා විවාහ වෙලා මාස එකොළහයි මහත්තයා නැති වෙන කොට..."

"අපේ විවාහයට මහත්තයාගේ ගෙදරින් කැමති නැති නිසා විවාහ වුණාට පස්සේ මමයි මහත්තයි දෙන්නම රැකියාවෙන් අයින් වෙලා මගේ ගමට (මූතූර්) ගියා. ගිහිල්ලා මාස තුනකින් නැවත මහත්තයා කොළඹ හිටපු රැකියාවටම ආවා..."

"ඒ ඉන්න අතුරතුර මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කිව්වම මහත්තයා​ගෙ ගෙදරින් මාව එක්කගෙන එන්න කියලා තිබුණා. බබා ලැබෙන්න මාස 7ක් කියලා. පහුගිය අප්‍රේල් මාසේ මුල තමයි කසාද බැන්දට පස්සේ මුලින්ම මගේ මහත්තයාගේ ගෙදර ආවේ. මගේ මහත්තයාට ලොකු උවමනාවක් තිබුණා පාස්කු මංගල්‍යයට මේ පාර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි පල්ලියට යන්න. එයා ජීවිතේ ගත්ත තීරණවලදී කොච්චිකඩේ පල්ලියට ගිහිල්ලා ආශිර්වාද ගන්න හරිම කැමැතියි. කොච්චිකඩේ පල්ලියේ අනුහස් එයා ගොඩාක් විශ්වාස කළා. අපි දෙන්නා යාළු වෙලා හිටපු කාලෙත් නිතර කොච්චිකඩේ පල්ලියට ආවා ආශිර්වාද ගන්න.. මට දරුවා ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්තමත් මහත්තයා මුලින්ම බාර වුණේ කොච්චිකඩේ පල්ලියට. දරුවා ලැබෙන්න ළඟ නිසා මේ පාර පාස්කු මංගල්‍යයට කොච්චිකඩේ පල්ලියට ගියේ දරුවට ආශිර්වාද ලබා ගන්න..."

ශෙරීන්ගේ ඉදිරිය ගැන ශෙරීන්ට මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ?
"මම විවාහයෙන් පස්සේ රැකියාවෙන් ඉවත්වෙලා හිටපු නිසා ගෙදර වියදම, අනෙකුත් අවශ්‍යතා සියලු දේ කළේ මගේ සැමියාගේ වැටුපෙන්. ජීවිතේ වැටෙන්න පුළුවන් අන්තයටම අපි දැන් වැටිලා ඉන්නේ. මගේ මහත්තයාට එයාගේ පුංචි පුතාගේ මූණවත් දකින්න ලැබුණේ නැහැ. පුතා වෙනුවෙන් මම ආයේ ඔළුව උස්සන්න ඕනෑ. මගේ මහත්තයා කොහේ හරි ඉඳගෙන ඒකට මට ශක්තිය වෙනවා කියන විශ්වාසය මට දැනෙනවා. මහත්තයාගේ අම්මලා මාවයි පුතාවයි බලන්න නිතරම වගේ මූතූර් එනවා. පුතාට අවුරුද්දක් වුණාට පස්සේ මගේ අම්මත් එක්ක නැවත කොළඹට එන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ අයට පුළුවන් උපරිමයෙන් අපට සලකනවා. ඒ වෙනුවෙන් මට බිෂොප් හවුස් එකේ සෙත්සරණ කාර්ය මණ්ඩලය පිං දෙනවා. පුතාට අවුරුද්දක් වුණාම මම නැවත කොළඹ වැඩ කරපු හොස්පිටල් එකේම රැකියාවට යන්න බලාපොරොත්තු වෙනවා. දැනට මම මොනවද කරන්න ඕනෑ කියලා මට මුකුත් හිතාගන්න බැහැ. දරුවව ලොකු මහත් කරගන්න මට මේ වෙලාවේ උදව් අවශ්‍යයි..."

ආණ්ඩුවෙන් දෙනවා කියපු වන්දි මුදල ලැබුණද?
"ආණ්ඩුවෙන් නැති වුණ අයට දෙනවා කියලා කියපු වන්දි මුදලක් කියලා රුපියලක්වත් මට ලැබුණේ නැහැ. මහත්තයා නැති වුණ වෙලාවේ ග්‍රාමසේවක ඇවිල්ලා මරණේ වැඩ කරන්න කියලා ලක්ෂයක් දුන්නා. ඒක මම ඒ වෙලාවෙම මරණේ වැඩවලට ගන්න මහත්තයාගේ අම්මට දුන්නා. මැරුණු කෙනෙක් වෙනුවෙන් ලක්ෂ 10ක වන්දි මුදලක් දෙනවා කිව්වට මට ලැබුණේ ග්‍රාමසේවක ගෙනත් දීපු ලක්ෂයක මුදල විතරයි. එදා ඉඳලා අද වෙනක්ම මගෙයි දරුවගෙයි අවශ්‍යතා අඩුපාඩු අසනීපවලට බෙ​ෙහත් සියලුම දේ සොයලා බලන්නේ බිෂොප් හවුස් එකෙන් විතරයි. දැන් මාවයි දරුවවයි බලාගන්න ඉන්නේ මගේ අම්මා විතරයි. ඇත්තටම මට දැනට නම් ලොකු වියදමක් යන්නේ නැහැ. දරුවා ටික ටික ලොකු වෙන කොට තමයි ආර්ථික ප්‍රශ්නවලට මූණ දෙන්න වෙන්නේ. මම වැඩ කරපු හොස්පිටල් එකෙනුත් මට ගොඩක් උදව් කළා..."

"උදව් කරපු හැමදෙනාටම ගොඩක් පිං. අපට එක පාරටම ඔළුව උස්සන්න අමාරුයි. මනස හදාගෙන නැවත ඉඳපු තත්ත්වයටම නැතත් සාමාන්‍ය තත්ත්වයකට හරි එන්න අපට ටික කාලයක් යාවි. එතකම් අපට ශක්තියක් වෙන්න කියලා මම ඉල්ලනවා. ජාති ආගම් භේදයකින් තොරව අපට ගොඩක් අය උදව් කළා. මම කතෝලික වුණත් සිංහල බෞද්ධ රටක ඉපදීම ගැන ආඩම්බරයි. අපට ආගම් ප්‍රශ්න නැහැ. කිසිම කෙනෙක් එක්ක වෛර බඳින්නෙත් නැහැ. ඒත් ජීවිත පූජා කරපු අය වෙනුවෙන් සාධාරණයක් විතරයි අපි බලාපොරොත්තු වෙන්නේ...."

ත්‍රස්ත ප්‍රහාරයෙන් මව්පියන්ට දිවි අහිමිව මේ ලෝකේ තනි වුණ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ දරුවන්ට උදව් කරන්න දෙස් විදෙස් ඕනෑම කෙනෙකුට හැකියාව තියෙනවා. මේ දරුවන්ගේ ජීවිතවලට ශක්තියක් වෙන්න දයානුකම්පිත හදවත් ඇති අය අපට කතා කරන්න පුළුවන්. මේ ඔවුන්ට ඔබේ ශක්තිය අවශ්‍යම මොහොතක්.

නදීශා අතුකෝරළ
gossip lanka