gossip lanka

සමහර වෙලාවට අපි ආදරය කරන කෙනා අපට ආදරේ නැහැ - සෙනාලි ෆොන්සේකා

සෙනාලි ෆොන්සේකා කියන්නේ ඓතිහාසික සිනමා තිරයට කදිමට ගැලපුණු මුහුණක්. නිරන්තරයෙන්ම ටෙලිනාට්‍ය හා සිනමාවෙන් දැකගන්න නොලැබුණත් සෙනාලි මේ වෙද්දී ජනතාවගේ ආදරය දිනාගත් නිලියක්. නවක නිලියක් හැටියට රංගනයේ ස්ථාවරය හදා ගත් ඇය ගැනයි මේ.
සෙනාලි පහුගිය කාලයේ එක පාරටම අතුරුදන්ව හිටියෙ?
මම ගෙදර ගිහින් හිටියෙ.

ඒ කිව්වෙ?
එංගලන්තයෙ හිටියෙ.

ඒ කියන්නෙ ගෙදර තියෙන්නෙ එංගලන්තයෙ ද?
අම්මයි තාත්තයි ඉන්නෙ එහෙනෙ. අම්මා තාත්තා නොබලා ඉන්න බැහැනෙ. ඒ නිසා අවස්ථාවක් ලැබුණු විගස අම්මයි තාත්තයි බලන්න යනවා. එංගලන්තෙ හිටියට මම ගොඩාක්ම ආදරේ ලංකාවට. අපේ නෑදෑයෝ පවුලේ හිතවතුන් මගේ යාළුවෝ ඔක්කෝම සිටින්නෙ ලංකාවෙ.

අම්මා තාත්තා නැතුව ලංකාවේ කොහොමද දවස් ගෙවන්නෙ?
නෑදෑයින් හැමෝම වගේ මාව ආදරයෙන් බලාගන්නවා. ඒ හින්දා මට පාළුවක් දැනෙන්නෙ නැහැ. ඒ හැරත් දිනපතා අම්මා තාත්තා මට කතා කරනවා. එයාලට මම නැතුව පාළුයි කියලා කියනවා. ඒත් වැඩක් බාරගත්තොත් එහි අවසානය දක්වා කැපවීම මගේ පුරුද්දක්. විජයබා කොල්ලය චිත්‍රපටයට මම දායක වුණේ බොහෝම කැමැත්තෙන්. එය තිරගත වීමට පටන් ගත්තාම ප්‍රචාරක කටයුතුවලටත් දායක වීම අපේ යුතුකමක්.

නීලමනී චරිතය ගැන අපි කතා කරමු, එහි ඔබට වඩාත් මතකයේ රැඳි දෙබස සිහිපත් කළොත්?
අසංග මතක තියාගනු
නයනානන්දගෙන් තොර ලෝකයක දී
මා විවාහ වන්නේ
මරුවා සමග පමණයි.
ඔබ එක්ක නෙවෙයි.

එවැනි අවස්ථාවකට එනම් නයනානන්ද සහ අසංග වගේ දෙදෙනෙකුගේ ආදරයට සැබෑ ජීවිතයේ දී මැදිවෙලා නැද්ද?
ඇත්ත ජීවිතේ එහෙම වෙලා නැහැ, ආදරයේදී මම නිතර විශ්වාස කරන දෙයක් තියෙනවා. සමහර වෙලාවට අපි ආදරය කරන කෙනා අපට ආදරේ නැහැ, ඒ වගේම ජීවිතේ කිසිම විදියකට අපි නොහිතන අයත් අපට ආදරය කරනවා ඇති. ආදරය කියන්නෙ එහෙම දෙයක් තමයි.

සෙනාලි ආදරය කරන කෙනා ගැන හිතල ද තියෙන්නෙ?
අතීතයේ දී එහෙම තිබිලා තියෙනවා. ඒත් දැන් නම් නැහැ. ආදරය කරලා ආදරයෙන් පැරදිලත් තියෙනවා.

දැන්?
ආදරේ කරන කෙනා ගැන හිතලා තියෙන්නෙ.

එයා එංගලන්තෙ ද? මෙහෙ ද?
නැහැ, මම කිව්වෙ දැන් මම ආදරය මගේ ළඟට එනතුරු බලාගෙන ඉන්නවා කියලයි.

මේ චිත්‍රපටය රූගත කිරීම් සිදුකළ අවස්ථාවල දී මතකයේ රැඳි සිදුවීම් සිහිපත් කළොත්?
සෑම දර්ශනයක්ම වගේ මතකයේ රැඳිලා තියෙනවා. ඒ අතරින් අශ්වයා පිටින් වැටිලා මගේ කොන්දේ ආබාධයකට මුහුණ දුන්නා. ඒ වෙලාවෙ අපරාදෙ කියන්න බැහැ සුනිල් සර් ඇතුළු මේ චිත්‍රපටයේ සියලූම දෙනා මාව බලාගත්තෙ හරිම පරිස්සමට. සුනිල් සර් වෙලාවකට පියෙක් වගෙයි, තවත් වෙලාවකට ගුරුවරයෙක් වගෙයි. සර්ගෙන් බැනුම් අහපු අවස්ථාත් තියෙනවා. ළමයි දඟ වැඩ කරන කොට තාත්තා බනිනවනෙ. ඒ වගේ තමයි. එදා මම මේ චිත්‍රපටයෙ රූගත කිරීම්වලට කොච්චර ආසාවෙන් හිටිය ද කිව්වොත්, කොන්දෙ අමාරුව තිබියදීත් රූගත කිරීම්වලට එදාම දායක වුණා. ඒ අවස්ථාව මට අමතක වෙන්නෙ නැහැ.

නීලමනී සමග ගැටෙන චරිත ගැනත් කිව්වොත්?
නීලමනිගෙ මව ලෙස රඟපාන්නෙ ප්‍රීති රන්දෙනිය මහත්මියයි. ඇය සමග එලෙසින් රඟපෑමට ලැබීම ලොකු වාසනාවක්. ඇත්තටම මවකගෙ මෙන් ආදරයක් මට ඇයගෙන් ලැබුණෙ. ඇයගෙ ඒ ආදරය මට දැනුණා. ඒ වගේම හේමාල් සහ අශාන් ඩයස් එක්ක රඟපෑමට ලැබීමත් මම ලැබූ ලොකු වාසනාවක්.

කොහොමද අද නීලමනීට ලැබෙන ආදරය?
විජයබා කොල්ලයේ නීලමනී වීම නිසා අද මම සිටින්නෙ හරිම සතුටින්. නීලමනී වීම නිසා ලැබෙන ආදරය හරිම ඉහළයි. අපේ කලා ලෝකයේ දැවැන්තයින් වෙතින් ලැබෙන ප්‍රතිචාර හරිම ඉහළයි. නීලමනී චරිතයේ විවිධ හැඩතල තියෙනවා. ඒ චරිතය හරහා දෙයක් කරන්නට ලැබීම ගැන හරි සතුටුයි. මේ ලැබුණු සහ ලැබෙන ප්‍රතිචාර අතරින් මට සුවිශේෂී වූ ප්‍රතිචාර 3ක් තියෙනවා. පළවැනි එක මගේ ලොකු නැන්දා මාලිනි ෆොන්සේකා නැන්දාගෙන් ලැබුණු ප්‍රතිචාරය. චිත්‍රපටයේ ආරම්භක දිනයේ දී එය නරඹා මා අසලට පැමිණි ඇයගේ ඇස්වල සතුටු කඳුළු පිරී තිබෙනු දුටුවා. එය මට ගෙනදුන්නේ මහා ශක්තියක්. අවස්ථාවට අනුව හොඳට රඟපාලා තියෙනවා කියලා නැන්දා මට කිව්වා. ඊළඟට රවින්ද්‍ර රන්දෙනිය මහතාගෙන් ලැබුණු ප්‍රතිචාරයත් මට ඉතා අගනේයි. එදා විජයබා කොල්ලය චිත්‍රපටය නිර්මාණය වෙන්න තිබුණත්, එය නිර්මාණය වෙලා නැහැ. එදා එහි රඟපෑමට ඉඳලා තියෙන්නෙ, මාලිනි නැන්දා, රවීන්ද්‍ර මහතා සහ විජය මහතා කියලත් මට දැනගන්න ලැබුණා. එදා ඔවුනට නොලැබුණු ඒ අවස්ථාව අද දැකගන්න ලැබීම සතුටක් කියලත් රවීන්ද්‍ර මහතා කිව්වා. ඊළඟට ජැක්සන් ඇන්තනි මහතාගෙන් ලැබුණු ප්‍රතිචාරයත් මට ගොඩාක් වටිනවා. එතුමාට දැනුණ දේ මට කිව්වා. මේ සියලූ ප්‍රතිචාර එක්ක අද දවසේ කාලය ගත කරන්නේ හරිම සතුටින්.

 සඳුන් ගමගේ
gossip lanka