gossip lanka

කුමාරි අක්කාගේ දුව කියලා රැවටුණ ඖෂානි

ඖෂානි මේ දවස්වල රංගනයෙන් කාර්යබහුල වෙලාද?

ඇත්තටම රංගන කටයුතු එක්ක ටිකක් කාර්යබහුලයි. නීල පබළු සහ සුසුමක ඉම කියන ටෙලි නිර්මාණවල කෙටි චරිත මම නිරූපණය කළා. මාව ප්‍රේක්ෂකයන්ට ප්‍රධාන චරිතයකින් තෝඩු නාට්‍යයේ අමා විදිහට මුණ ගැසෙනවා.


අමාගෙයි සැබෑ ජීවිතේ ඖෂානිගෙයි සමානකම් තියෙනවාද?

ඔව්. අමා කියන්නේ හරිම ආදරණීය චරිතයක්. සැබෑ ජීවිතේ මමත් ඒ වගේ. හැබැයි අමා තරම් මම බොලඳ නැහැ. මම මොළේ තියෙන ආදරණීය චරිතයක් කිව්වොත් හරි.

අමාගේ චරිතයෙන් ඖෂානි ප්‍රේක්ෂකයන්ව දිනාගෙනද?

ඇත්තටම “තෝඩු” නාට්‍යයේ අමාගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පිටරටවල ඉන්න අය පවා ඒ චරිතය ගැන අහනවා. ඉතින් ඒ ගැන සතුටින් ඉන්නේ.

ඔෟෂානි කුමාරි අක්කාගේ දුව කියලා මේ දවස්වල වෙනස් විදිහේ ප්‍රතිචාරත් ලැබෙන්න අරගෙන නේද?

කුවේට් කුමාරි අක්කා අපේ “තෝඩු” නාට්‍යයේ චරිතයක් කරනවා. නාට්‍යයේ  රූගත කිරීම්වලට ආපු වෙලාවේ තමයි මට ඇයව මුණගැහුණේ. එයා මගේ අම්මාගේ වයසේ. හරිම අහිංසක කෙනෙක්. පසුගිය කාලේ සමහරු එයාට බැන්නානේ. එයා කොතරම් මානසික පීඩනයකින් ඉන්න ඇතිද? කවුරු හරි අපිට මොනවා හරි කිව්වොත් අපි කොතරම් ඒ ගැන පීඩා විඳිනවද? ඉතින් එයාව දැක්ක ගමන් මම එයාව බදාගත්තා. එයයි මමයි ගොඩක් ෆිට් වුණා. ඒ වෙලාවේ අපි දෙන්නා ෆොටෝ කිහිපයක් ගත්තා. චිරාන් බුද්ධිම තමයි ඒ ඡායාරූප ගත්තේ. මම ඒ ඡායාරූප ඉන්ස්ටර්ග්‍රෑම් එකේ දැම්මම පහුවදා වෙද්දී අන්තර්ජාලය පුරා ඒ ඡායාරූප පැතිරිලා. කුමාරි අක්කා මගේ අම්මාද කියලා අහලා ගොඩක් දුරකථන ඇමතුම් එන්න ගත්තා. අන්තිමේ මට ෆෝන් එකත් විසන්ධි කරලා තියන්න වුණා. 

හැමෝටම රංගන ක්ෂේත්‍රයට එන්න බෑ. ඔෂානිට රංගන ක්ෂේත්‍රයට එන්න හැකියාව ලැබුණේ කොහොමද?

මේ කලා ක්ෂේත්‍රය ඇතුළේ පුදුමාකාර මිනිස්සු ඉන්නවා. උඩින් පෙනෙන මුහුණ වගේ නෙවෙයි මිනිසුන්ගේ ඇතුළාන්තය හරි වෙනස්. මේ එක එක විදිහේ මිනිස්සු අතරෙදි ප්‍රියන්ත ආරියදාස කියන සොඳුරු මිනිසෙක් මට මුණගැහුණා. සිංහ එන්ටර්ටේන්මන්ට් එකට එතුමා තමයි මාව හඳුන්වා දුන්නේ. රංගන ක්ෂේත්‍රයට එන්න හීන දකින අය ඉන්නවානේ. මමත් එහෙමයි. මගේ වාසනාවට මේ ක්ෂේත්‍රයට එද්දී මට හොඳ මනුස්සයෙක්ව මුණගැසුණා. ඔහු මගේ දක්ෂතාව හඳුනාගෙන තාත්තා කෙනෙක් වගේ හරි පාර පෙන්නලා දුන්නා. ඔහු තමයි මාව ලලිත් වසන්ත මහත්තයාට හඳුන්වලා දුන්නේ. ඒ හරහා තමයි රංගන ගමන පටන් ගත්තේ.

තෝඩු ඖෂානිට හොඳ ආරම්භයක්ද?

ඔව්. හොඳ ආරම්භයක්. තෝඩු ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් මට කරන්න ලැබුණා. ඒ හරහා මට ආදරය කරන පිරිසක් හැදිලා ඉන්නවා. ITN නාළිකාවෙන් තමයි තෝඩු නාට්‍යය  විකාශය වෙන්නේ. ඉතින් ඒ වගේ නිර්මාණයක හොඳ චරිතයක් කරන්න ලැබීම ගැන සතුටු වෙනවා.

සමහර අම්මලා, තාත්තලා තමන්ගේ දරුවා රංගන ක්ෂේත්‍රයට එනවට කැමැති නැහැ. ඖෂානි රංගන ක්ෂේත්‍රයට එනවාට අම්මා, තාත්තා කැමැති වුණාද?

මගේ අම්මයි තාත්තයි පටු අදහස් තියෙන අය නෙවෙයි. අද පවතින සමාජයට අනුව එයාලා ඒ දේවල් ගැන හිතනවා. ඒ නිසා මම රංගන ක්ෂේත්‍රයට එනවට අම්මා තාත්තා අකැමැති වුණේ නැහැ. හැබැයි අම්මයි තාත්තයි හිතනවා කලාව වෘත්තීය වශයෙන් කරන්න ගැළපෙන්නේ නෑ කියලා. රංගනය වෘත්තීය වශයෙන් කරන්න ගියොත් තමයි නොමඟ යන්නේ. රංගනය වෘත්තීය විදියට කරන්න මටත් අදහසක් නැහැ. බලමු ඉදිරියේදී.

දැන් රංගනයට සම්බන්ධ වෙන්න ලැබෙන ආරාධනා ජයද?

ගොඩක් ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා. ඒ ලැබෙන හැම දෙයක්ම බදාගෙන කරන්නත් අමාරුයි. මොකද මම උපාධියක් වෙනුවෙන් හැදෑරීම් කරනවා. ඒ නිසා නිර්මාණ ගොඩකට කාලය වෙන් කරන්න අමාරුයි. තෝඩු නාට්‍යය වෙනුවෙන් තමයි මේ දවස්වල ප්‍රධාන තැනක් දීලා තියෙන්නේ.

කලා ක්ෂේත්‍රය ඇතුළේ හොඳ පැවැත්මක් තියාගන්න ඔෟෂානිට පුළුවන් වෙයිද?

මේ ක්ෂේත්‍රයේ නරක කෙනෙක් බිහි වෙනවා නම් ඒ බිහි වෙන්නේ තමන්ගේ නරක දේවල්වලින්. මේ ක්ෂේත්‍රය ගොඩක් හොඳ ක්ෂේත්‍රයක්. මේ ක්ෂේත්‍රය නරක් කරගෙන තියෙන්නේ තම තමන්මයි. තමන් හොඳ නම් හොඳ දේවල් තෝරාගෙන ආත්ම විශ්වාසයකින් මේ ගමන යන්න පුළුවන්. මම මේ ක්ෂේත්‍රයේ ලොකු කාලයක් රැඳිලා ඉන්න බලාපොරොත්තුවක් නෑ. ඉන්න කාලයේ හොඳ දේවල් තෝරාගෙන හොඳ ගමනක් යන්න තමයි උත්සාහ කරන්නේ.

ඒ කියන්නේ රංගන ක්ෂේත්‍රය ඖෂානිගේ ජීවිතේ තාවකාලික නැවතුමක්ද?

ඔව්.

ඇයි ඒ?

මගේ අධ්‍යාපන කටයුතු ගැනත් මම හිතන්න ඕනේ. ඒ වගේම මේ ක්ෂේත්‍රය විවිධාකාර මිනිස්සු ඉන්න තැනක්. ඉතින් ලොකු කැමැත්තක් නැහැ දිගටම රැඳෙන්න ඕන කියලා. කොහොම වුණත් මගේ මවුපියන්ගේ කැමැත්ත මත තමයි මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ.

ඖෂානි රංගන ක්ෂේත්‍රයට එන්න හීන දැකපු කෙනෙක්නේ. ඒ හීනය හැබෑ කරගෙන අතහැරලා දාන්න පුළුවන්ද?

අපේ ජීවිතවල හීන ගොඩක් තියෙනවා. සමහර හීන අපිට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන් ඒවාට පැවැත්මක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්වලින් අපිට අෑත් වෙන්න සිද්ධ වෙනවා. මේ ක්ෂේත්‍රය කර්කශයි. අමාරුයි මේ ක්ෂේත්‍රයේ ඉන්න. ඉස්සරහට මේ තත්ත්වය වෙනස් වෙයිද දන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් බොහොම සරල කෙනෙක්. මම වගේ සරල කෙනෙක්ට මේ වගේ ක්ෂේත්‍රයක් ගැළපෙනවද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. මේ හිටපු පොඩි කාලෙට දැකපු දේවල් හරි අමුතුයි වගේ. ඉදිරියට මේ තීරණ වෙනස් වෙයිද දන්නේ නැහැ ඉතින්.

ක්ෂේත්‍රය ඇතුළේ ආරක්ෂාව හදාගන්න ඖෂානිත් අම්මව සෙවණැල්ල කරගෙන ඉන්න කෙනෙක්ද?

මම තනියෙන් කොහෙවත් ගිහින් නැහැ. අම්මි එක්ක තමයි හැම තැනම යන්නේ. කොහේ ගියත් සෙවණැල්ල වගේ මාව ආරක්ෂා කරන්නේ මගේ අම්මා.

රංගනයේදී ඖෂානි කියන්නෙත් ප්‍රධාන චරිතම බලාපොරොත්තු වෙන කෙනෙක්ද?

එහෙම නැහැ. හොඳ චරිතයක් නම් මම ඒ චරිතය භාරගන්නවා. මම එක රාමුවක ඉන්න කැමැති නැහැ. විවිධ විවිධ චරිත කරන්න කැමැතියි. සමහර වෙලාවට ප්‍රධාන චරිතයකටත් වඩා සුළු චරිතයකින් ප්‍රේක්ෂකයන්ට ළං වෙන්න පුළුවන්. තමන්ගේ දක්ෂතාව. හැකියාව තුළින් තමන්ට ලැබෙන චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතරට යන්න උත්සාහ කරන්න ඕන. මම මුලින් පොඩි චරිත කළා. මගේ දක්ෂතාව දැකපු නිසා තමයි සිංහ එන්ටර්ටේන්මන්ට් ආයතනය මට ප්‍රධාන චරිත නිරූපණයකට අවස්ථාව දුන්නේ.

පුංචි තිරයෙන් එළියට පැනලා සිනමාවට ඖෂානිව ගළපා ගන්න අදහසක් නැද්ද?

චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. තාම එයට සම්බන්ධ වෙනවද නැද්ද කියලා තීරණය කළේ නැහැ. අම්මිගෙනුයි තාත්තිගෙනුයි අහලා තීරණයක් ගන්නවා.

 ඖෂානිටත් රංගනය ඇතුළේ සීමා තියෙනවද?

මට තාම අවුරුදු 17යි. තාම මම පොඩි ළමයෙක්. මගේ සීමාව ඇතුළේ තමයි මම රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්නේ. මට තියෙන්නේ මම හදාගත්ත සීමාවක්. රංගනයේදී විතරක් නෙවෙයි මොන දේ කළත් තමන්ට තමන්ගේම වුණ සීමාවක් තියෙන්න ඕන.

ආදරය සම්බන්ධයෙන් ඔබ ඉන්නේ මොන වගේ අදහසකද?

ආදරය කියන දේ විවිධ විදියට අපේ ජීවිතවලට ලැබෙනවා. ඒක බුද්ධියෙන් තෝරාගෙන විඳින්න ඕන දෙයක්. හැඟීම්වලට වහල් වෙලා හිටියොත් පැවැත්මක් නැහැ.

ඖෂානි දැන් පෙම්වතියක්ද?

ඔව්. මම පෙම්වතියක්.

ඔහු ගැන කියන්න කැමැතිද?

එයා ක්ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි. ඒක විතරක් දැනට කියන්නම්.

මොනවද ඉදිරි සැලසුම්?

ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් තියෙනවා. තාත්තාගේ බිස්නස් එක කරගෙන යන්නත් අදහසක් තියෙනවා. මම බෞද්ධයෙක්. ඒ නිසා ඉදිරියටත් පින් දහම් වැඩවලට එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
gossip lanka