ශ්‍රී ලංකාවෙන් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු සොයා පිලිපීනයෙන් මෙහෙයුම්

ශ්‍රී ලංකාවේ සිට පැමිණි ත්‍රස්තවාදීන් යුවළක් පිලිපීනයට ඇතුළු වී ඇති බව එරට ආරක්ෂක අංශ වාර්තා කරනවා.

මොවුන් බෝම්බ සෑදීම සහ එරට කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තයින් පුහුණු කිරීම සඳහා පිලිපීනයට පැමිණ ඇති බවයි ස්ට්‍රේට්ස් ටයිම්ස් වාර්තා කළේ.


පිලිපීනයේ - මැනිලා ගුවන්තොටුපල ආගමන විගමන වාර්තාවලට අනුව මෙම ත්‍රස්තවාදීන් දෙදෙනා මාර්ක් කෙවින් සැම්හූන් සහ වික්ටෝරියා සොෆියා ස්ටෝ ඩොමින්ගෝ ලෙස හඳුනාගෙන තිබෙන අතර, ඔවුන් දෙදෙනා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු ලෙස ලැයිස්තුගත කර ඇති බව සඳහන්.

ඉකුත් අප්‍රේල් 21 වනදා මෙරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් දියත් කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ මාර්ක් කෙවින් සැම්හූන් සමීප සබඳතා පවත්වා ඇති බවත්, ඔහුගේ පිලිපීන ජාතික මව ඩුබායිහි ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන බවට මේ වනවිට කරුණු අනාවරණ වී තිබෙනවා.

මාර්ක් කෙවින් සැම්හූන් සහ වික්ටෝරියා සොෆියා අතර සමීප සබඳතාව පිළිබද වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පිලිපීන ආරංචි මාර්ග සඳහන් කළේ.

පිලිපීන සහ ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර දරණ ඇය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පිලිපීනයට ගොස් ඇති අතර, සැම්හූන් පැමිණ ඇත්තේ මේ වසරේ ජුනි මාසයේදියි.

ඉස්ලාමීය අන්තවාදීන් විසින් පිලිපීනයේ - මැනිලා අගනුවර ඇතුළු ලූසොන් දිවයිනේ ජනාකීර්ණ නගර රැසක් ඉලක්ක කර ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බවටයි එරට ආරක්ෂක අංශ අනාවරණ කරගෙන ඇත්තේ.

මොවුන් දෙදෙනා සොයා පිලිපීන ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.
gossip lanka