gossip lanka

කරන් ජෝහාර්ගේ මත් සාදය ඉන්දියාව කලඹයි - (Photos)

නිවසේ පවත්වන ලද සාදයක් දීපව්‍යාප්ත විවාදයකට තුඩු දෙන හේතුවක් වෙනු ඇතැයි කරන් ජෝහාර් කිසි දිනෙක සිතන්නට නැත. හින්දි සිනමාවේ මුල් පෙළේ නළුනිළියන් වන දීපිකා පදුකෝන්, රන්බීර් කපූර්, විකී කෞශාල්, ෂාහිඞ් කපූර්, මලයිකා අරෝරා, අර්ජුන් කපූර් ඇතුළු බොහෝ දෙනෙක් එයට සහභාගි වූහ. ඔවුන්ගේ වීඩියෝවක් කරන් ජෝහාර් විසින් අන්තර්ජාලයට මුදා හරිනු ලැබ තිබිණි. එහි වූයේ ඔවුන්ගේ විනෝදකාමී හැසිරීම්ය. ඔවුන්ගේ රසිකයන් එම වීඩියෝව උපුටාගෙන ඔවුන්ගේ සමාජ වෙබ් අඩවිවල ද පළ කර තිබිණි.

එය නැරඹූ දේශපාලනඥයෙකු වන මන්ජින්දර් සිං සිර්සා බෙහෙවින් කලබල වී තිබිණි. මතින් රට මුදවා ගැනීමට දැඩිව අවධානය යොමු කරන දේශපාලනඥයෙකු ලෙස ප්‍රකට ඔහු කියා තිබුණේ මේ වීඩියෝවේ දැක්වුණ හැම නළුවෙක් නිළියක්ම මත් ද්‍රව්‍ය රැගෙන තිබූ බවය. ඔවුන් සියලූ දෙනාම සිටියේ මත් ස්වභාවයෙන් බැව් ඔහු අවධාරණය කරයි. තමා මෙයට එරෙහිව හඩ නගන බව ද ඔහු කියා තිබේ. තවත් දේශපාලනඥයෙකු වන මිලින්ද් ඩියෝරා පවසන්නේ මේ සාදයේ මත් ද්‍රව්‍ය භාවිතයක් සිදු නොවූ බවය.

‘‘මගේ බිරිදත් මේ සාදයට සහභාගි වුණා.. ඒකෙදි කිසිම කෙනෙක් මත් ද්‍රව්‍ය භාවිතා කරලා තිබුණෙ නෑ.. බොරු පතුරුවලා මිනිස්සුන්ගෙ කීර්ති නාමයට හානි කරන්න එපා..’’ ඔහු කියා තිබේ.

‘‘තමන්ගෙ ගෙදර තමන් මොනවා කර ගත්තත් කාටවත් මොකද? දේශපාලනඥයන්ට ඒවට අත දාන්න අයිතියක් නෑ..’’

සමහරු කියන්නේ එලෙසය.

‘‘එයාලා ප්‍රසිද්ධ අය.. තරු කියලා එයාලට කියන්නෙ අනිත් අයට ඉහළින් වැජඹෙන හින්දා.. ඒ අය ආදර්ශමත් වෙන්න ඕන..’’

සිර්සා පවසයි.

මින් නොනැවතුණ ඔහු විවෘත ලිපියක් ද අන්තර්ජාලයට එක් කර තිබේ.

‘‘අපේ රටේ මිනිසුන් තුළ ක්‍රිකට් සහ චිත්‍රපටි කෙරෙහි පුදුමාකාර බැදීමක් තියෙනවා.. සචින් තෙන්ඩුල්කාර්ට මිනිස්සු වන්දනාමාන කරනවා.. ඊට වැඩිය දහ ගුණයක් ඔවුන් රජිනිකාන්ත් වගේ නළුනිළියන් අදහනවා.. මිනිස්සුන්ගෙ නිරන්තර ආදරයට හා අවධානයට පාත්‍ර වෙනවා විතරක් නෙමෙයි ජාතික උත්සවවලදී පවා ඔවුන්ට ඉදිරි පෙළ අසුන් ගන්නට ඉඩ ලැබෙනවා.. පිටරටකට ගියාට පස්සෙ ඉන්දියාවේ නිල නොලත් තානාපතියන් වෙන්නෙ මේ නළු නිළියො.. ඔවුන්ගේ කොණ්ඩා මෝස්තර, ඇඳුම් මෝස්තර හැම දෙයක්ම ජනතාව අතරට යනවා.. සිනමා ලෝලීන් තමන්ගෙ දරුවන්ට නළිනිළියන්ගෙ නම් තියන්නෙ ඔවුන් කෙරෙහි තියෙන බැඳීම හින්දා.. ඉතින් මොවුන් මේ විදියට හැසිරෙනකොට ළමා පරපුර ඒවා අනුගමනය නොකරයි කියලා හිතනව ද..? අපි මතින් රට මුදා ගන්න උත්සාහ කරනකොට ඒකට උදව් කරනවා වෙනුවට ඔවුන් මිත්‍ර සාදවල වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරලා වැරදි ආදර්ශයක් දෙනවා.. මේ වීඩියෝව දැකපු වෙලාවෙ ඉඳලම මට පුදුම කේන්තියක් තියෙන්නෙ..’’ සිර්සා කියා තිබිණි.

එම චෝදනාවලට එරෙහිව කරන් ජෝහාර් හෝ සාදයට සහභාගි වූ නළුනිළියන් කිසිම අදහසක් දක්වා තිබුණේ නැත. එහෙත් මේ මෑතක පැවති මාධ්‍ය හමුවකදී කරන් ජෝහාර් සිය නිහැ`ඩියාව බිඳ දැමුවේය.

‘‘මේවා පදනම් විරහිත චෝදනා.. සාදයකට සහභාගි වෙන අය තැන්පත්ව ඉන්නවා කියන්නෙ මත් ද්‍රව්‍ය පාවිච්චි කළා කියන එක ද..? ඔවුන්ට තමන්ගෙ නහය කසන්න, සාක්කුවට අත දාලා තමන්ගෙ ෆෝන් එක ගන්න තහනම් ද..? ඇත්තටම මට නම් මේක දැනෙන්නෙ විහිළුවක් වගේ.. මේ අය මත් ද්‍රව්‍ය පාවිච්චි කරලා හිටියානම් මම මේ වීඩියෝව එළියට දාන්න තරමට මෝඩ ද..? ඔය වීඩියෝ එක ගන්න විනාඩි පහකට විතර ඉස්සර මගේ අම්මත් සාදයේ හිටියා.. ඇත්තටම ඒක පවුල් සාදයක්.. ඒත් මීට පස්සෙ නම් ගෙදර සාදයක් පවත්වන්න ඉස්සර වෙලත් මට දෙසැරයක් හිතන්න වෙයි..’’ කරන් කියන්නේය.
gossip lanka