ජීවිතයේ පළමු වරටයි මම මේ වගේ සිදුවීමකට මුහුණ දුන්නේ - ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයන් නිසා කෙන් විලියම්සන් සංවේදී වෙයි

මේ දිනවල ශ්‍රී  ලංකාවේ තරග සංචාරයක් සඳහා සහභාගි වී සිටින නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ගේ 29 වැනි උපන්දිනය පසුගිය 8 වැනිදාට යෙදී තිබිණි. ඒ අනුව එදින ශ්‍රී  ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම සමඟින් පැවැති පුහුණු තරගයේදී ශ්‍රී  ලාංකේය ප්‍රේක්ෂකයන් එම තරගය පැවැති ක්‍රීඩාංගණයේදී සුවිශේෂී උපන්දින සුබපැතුමක් කේන් විලියම්සන් හට එක්කළ අතර තරගය නිමා වීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විලියම්සන් කියා සිටියේ එම අත්දැකීම තමන්ට කිසිදා අමතක නොවන බවයි.
එහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ නවසීලන්ත නායකයා,

“එය අතිවිශිෂ්ටයි. ක්‍රීඩාංගණය වෙත කේක් එකක් ගෙනැවිත් ඔවුන් මාව පුදුම කළා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න කැමැතියි. පන්දු රකිමින් සිටින අවස්ථාවේදී නරඹන්නන් කේක් එකක් ගෙනැවිත් මාගේ උපන්දිනයට සුබපතනවා ඇසුණා. එම නිසා ඔවුන් අසලට ගොස් හමුවීමටත් කේක් එක ඔවුන් සමඟ බෙදාගැනීමටත් කටයුතු කළා.  මගේ ජීවිතයේ පළමු වරටයි නරඹන්නන් විසින් උපන්දිනයට සුබපතා කේක් කැව්වේ.” යනුවෙන් පවසා ඇත.

තවද ශ්‍රී  ලාංකේය ප්‍රේක්ෂකයන් සම්බන්ධයෙන් ද එහිදී අදහස් දක්වා ඇති කේන් විලියම්සන් “පුහුණු තරගයක් වුවත් එය නැරැඹීම සඳහා සැලකිය යුතු ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් සහභාගි වී සිටියා. එමෙන්ම ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට කොයිතරම් ළැදිද කියා ඉන් පැහැදිලි වෙනවා. මම ගොඩක් පුදුම වුණා වගේම ලොකු සතුටක් අත්වින්දා. ශ්‍රී  ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඉතා ආදරණීයයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.
gossip lanka