අවුරුදු 3800ක් වයස කාන්තාවකට විද්‍යාඥයින් පිරිසක් පණ දුන්නු අපූරු මෙහෙයුම මෙන්න - (Photos)

අවුරුදු තුන්දහස් අටසියයකට ඉහත ජපානයේ විසූ ජෝමෝන් නමැති ජන වර්ගයට අයත් කාන්තාවකගේ ජාන අනුක්‍රමිකතාව හඳුනා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ.

ඒ මහලු ජෝමෝන් කාන්තාවට මද්‍යසාරවල අධික බලපෑම දරා ගැනීමේ ශක්තියක්ද කන්වල තෙත් කලාඳුරුද දුගඳ වහනය වූ කිහිලිද තිබී ඇති බව මෙන්ම ඇය මේදය අධික ආහාරවලට පුරුදුව සිටින්නට ඇති බවත් පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

 එම කාන්තාවගේ හිස් කබල හා තවත් සිරුරු කොටස් හොකයිඩෝහි උතුරු වෙරළේ රිබන් දූපතෙන් ඔබ්බේ බෙලිකටු කන්දරාවක් යට තිබී 1998දී සොයා ගැනුණු අතර අදාළ විශේෂඥයෝ තවමත් ඇය පිළිබඳ ගවේෂණයෙහි යෙදී සිටිති.

අවුරුදු 3550-3960 අතර කාලය තුළ ජපානයෙහි පැවැති ජෝමෝන් යුගයෙහි එම කාන්තාව ජීවත් වී ඇති අතර එම යුගය ක්‍රි.පූ. 10,500 සිට 300 දක්වා ව්‍යාප්ත වුණු නව පාෂාණ යුගයට සමාන යුගයක් වී තිබේ.

ටෝකියෝහි “ස්වභාව ධර්මය හා විද්‍යාව පිළිබඳ ජාතික කෞතුකාගාරයේ” මානව විද්‍යාඥ හිදෙකී කන්ශාවා ඔහුගේ සගයන්ද සමඟ එක්ව ජෝමෝන් කාන්තාවගේ දතකින් ගන්නා ලද ජනකාණු බන්ධනය (DNA) පසුගිය වසරේදී විශ්ලේෂණය කළේය.

මහලු වියට පත්ව මියගොස් ඇති ජෝමෝන් කාන්තාවට රැලි ගැසුණු කළුවන් කෙස් කලඹක්ද දුඹුරු ඇස් හා හිරු එළියට නිරාවරණ වීමෙන් හැදුණු ලප සහිත සමක්ද තිබිණැයි මූලික විශ්ලේෂණයෙන් අනාවරණය විය. සිරුර සූර්ය රශ්මියට දිගු වේලාවක් ලක් වීමෙන් එවැනි, ඇගේ ජාන පිළිබඳ තවත් රහස් තවදුරටත් අනාවරණය වෙමින් තිබේ යැයි ගවේෂක විද්වත්හු කියති.

විශ්ලේෂණයෙන් තවදුරටත් හෙළි වී ඇති පරිදි ජෝමෝන් ජන වර්ගය වසර 38,000ක් 18,000ක් අතර කාලයකට පෙර ආසියාවේ ප්‍රධාන භූමි ප්‍රදේශවල විසූ ජනගහනවලින් බෙදී ගොස් ඇත.

ජෝමෝන කාන්තාවගේ කන්වල තෙත් කලාඳුරු තිබෙන්නට ඇති බව ජාන විශ්ලේෂණයෙන් අනාවරණය වී ඇතත් නැඟෙනහිර ආසියානු ජනතාවගෙන් සියයට අනූ පහකගේම කන්වල තිබෙන්නේ වියළි කලාඳුරුය. කලාඳුරු වියළීමට හේතුවන ජාන සිරුරේ දුර්ගන්ධය අවම කිරීමටද හේතුවෙයි.

මේදය අධික ආහාර පහසුවෙන් දිරවීමේ ශක්තිය ඇති කරන ජාන විශේෂයක් ඉපැරැණි ජපන් කාන්තාවන් තුළ තිබුණු බව ජාන විශ්ලේෂණයෙන් අනාවරණය වීම පර්යේෂකයන්ගේද විස්මයට හේතු වී තිබේ.

උත්තර ධ්‍රැවයබද ප්‍රදේශවල වෙසෙන වත්මන් ජනතාවගෙන් සියයට හැත්තෑවකට ඒ සමානම ජාන තිබෙන නමුත් අනෙක් කිසිම ජන කොටසක් තුළ එවැනි ජාන කොහෙත්ම නැති බවත් පර්යේෂකයෝ කියති. ජෝමෝන් ජනතාව මේදය අධික ජලජ හා ගොඩබිම් සතුන්ගේ මස් බහුලව අනුභව කර ඇති බවද මෙම ජාන විශේෂයෙන් තහවුරු වන බවද ආචාර්ය කන්ශාවා ප්‍රකාශ කරයි.

ඔහු Live Science සඟරාවට ප්‍රකාශ කර ඇති පරිදි හොකයිඩෝ ජෝමෝන් ජනතාව ගෝන, මුව ආදී සිවුපාවුන් පමණක් නොව මූදු සිංහයන්, ඩොල්ෆින් හා සැමන් ආදී ජලජ ජීවීන්ද දඩයම් කර ඇති අතර ඔවුන් විශේෂයෙන්ම මුහුදු ජීවීන් දඩයම් කර ඇත්තේ ෆ්‍යුනාඩෝමන් මුහුදු කලාපයේයි.

ජෝමෝන් ජනතාව සමජාතික කණ්ඩායමක් වශයෙන් නොව කුඩා කණ්ඩායම් දෙකකින් හෝ තුනකින් සැදි ජන කොටසක් වශයෙන් ජපන් දූපත්වල ව්‍යාප්තව සිටින්නට ඇතැයි පර්යේෂකයෝ විශ්වාස කරති.

ජෝමෝන් කාන්තාව, වත්මන් ජපන් ජනතාවට වඩා බොහෝ වෙනස් තැනැත්තියක වී ඇති අතර ඔවුන් හා සමානකම් දක්වන ලක්ෂණද ඇය තුළ දක්නට ලැබේ යැයිද පර්යේෂකයෝ කියති. එපමණක් නොව ඔවුන් තවදුරටත් සඳහන් කරන පරිදි නැඟෙනහිර රුසියානු, කොරියන්, තායිවාන් හා පිලිපීන ජනතාවගේ ඇතැම් ලක්ෂණද ජෝමෝන් කාන්තාවගෙන් විද්‍යමානය.

නැඟෙනහිර යුරේසියාවේ ජන ව්‍යුහයේ ප්‍රතිනිර්මාණයක් පිළිබඳ අවබෝධයක් මෙම ගවේෂණයේදී අනාවරණය වුණු කරුණුවලින් ලබාගත හැකි යැයි ආචාර්ය කන්ශාවා පැවැසීය. ඒ කරුණු සියල්ලම “මානව විද්‍යා” වාර ප්‍රකාශනයෙහි පළ කිරීමට නියමිතය.

ජෝමෝන් ජනතාව

ජෝමෝන් යුගය ජපන් ඉතිහාසයේ ආදිතම යුගයයි. එය, යුරෝපයේ සහ ආසියාවේ නව පාෂාණ යුගය ආරම්භ වූ ක්‍රි.පූ. 14,500දීම ආරම්භ වී ක්‍රි.පූ. 300දී අවසන් විය. ඒ සමඟම “යායෝයි” (Yayoi) යුගය ආරම්භ විය. එම යුගයේදී නිර්මාණය කරන ලද මැටි බඳුන් විශේෂයක් පාදක කොට ගෙන “ජෝමෝන්” නාමය ව්‍යවහාරයට පැමිණ ඇති අතර සමස්ත යුගයම ඒ නමින් හැඳින්වුණු නමුත්, එහි එක් එක් කොටස්වලදී එම ජනතාව භාවිත කළ මැටි බඳුන්වල හැඩ අනුව එම කාල වකවානුද හඳුන්වන ලදී.

එය විවිධ උත්සව බොහෝ ගණනක් පැවැත්වුණු හා නව සමාජ චාරිත්‍ර විධි ආරම්භ වුණු යුගයක්ද විය. ජෝමෝන් ජනතාව බිලිඳකු මියගිය විට එම දේහය ඊට ප්‍රමාණවත් තරමට තැනුණු ජෝගුවකද වැඩිහිටියකු මියගිය විට එම දේහය වළක හෝ සිප්පිකටු ගොන්නක් යට මිහිදන් කළහ. එම මිනී වළවල් මත නොයෙක් දේ මළවුන් වෙනුවෙන් පිදූහ. මධ්‍යම හා අවසාන ජෝමෝන් යුගවලදී එම අවමංගල චාරිත්‍ර අනුගමනය කෙරිණි.

කාන්තාවන්ගේ සරු බව වර්ධනය වෙතැයි යන විශ්වාසයෙන් ජෝමෝන් ජනතාව ඔවුන්ගේ ඇතැම් මැටි බඳුන් ගැබිනි කාන්තාවන්ගේ හැඩයට නිර්මාණය කළහ. මිනිස් රූප වශයෙන් තැනුණු මැටි බඳුන් දෙකඩ කළ විට ඒවා භාවිත කළ පවුල්වල අවාසනාව හා රෝගාබාධ ආදිය එම රූප කැබලි ඔස්සේ දුරු වෙතැයිද ජෝමෝන් ජනතාව විශ්වාස කළහ.

“වැඩිහිටි” වශයෙන් සැලකුණු වයස් සීමාවට එන පිරිමින්ගේ සමහර දත් ගලවා දැමීමේ චාරිත්‍රයක්ද ජෝමෝන් ජනතාව අතර පැවතී ඇති නමුත් ඒ කුමන හේතුවක් මතද යන්න අනාවරණය කර ගැනීමට ගවේෂකයන්ට නුපුළුවන් විය.

පරිවර්තනය
ප්‍රේමචන්ද්‍ර අල්විස්
gossip lanka