gossip lanka

හිස්බුල්ලාගේ ෂරියා ගිණුමේ කෝටි 443ක් පිට පිටම ඇදලා - කොටස් වෙළෙඳපොළේ ආයෝජන ගැනත් සැකයක් !

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ ‘බැටික්ලෝ කැම්පස් කොලේජ්’ (පෞද්ගලික) සමාගමට අයත් ගිණුමට 2016 වසරේ සිට මේ දක්වා රුපියල් හාරසිය හතළිස් තුන් කෝටි හැට දෙලක්ෂ අසූ දෙදහස් හාරසිය විසිහයයි ශත හැත්තෑවක (4,436,282,426.71) මුදල් ප්‍රමාණයක් බැර වී ඇති අතර එයින් 3,640,939,488.72 මුදලක් අවස්ථා දෙකකදී සෞදි අරාබියේ Inheritance Ali Abdulla Aljuffalijiddah නමැති ආයතනය විසින් බැර කර ඇති බවත් මෙම සියලු මුදලින් රුපියල් තිස්හයදහස් දෙසිය හතළිස් අටයි ශත හතළිස් අටක ශේෂයක් මේ වනවිට එම ගිණුමේ ඉතිරි කර රුපියල් 4,436,246,122.24ක මුදලක් අවස්ථා අටසිය විසි අටකදී ගිණුමෙන් ලබාගෙන ඇති බවත් මෙලෙස මෙම මුදල් ලැබී ඇති ආකාරය හා වියදම් කර ඇති ආකාරය පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ පෙරේදා (26දා) ප්‍රකාශ කළේය.


එමෙන්ම බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්, බැටික්ලෝ කැම්පස් කොලේජ් ප්‍රයිවට් ලිමිටඩ්, මලික් අබ්දුල්ලා යුනිවර්සිටි ප්‍රයිවට් ලිමිටඩ්, යුනිවර්සිටි කොලේජ් බැටික්ලෝ හා ශ්‍රී  ලංකා හීරා පදනම යන ආයතන නමින් සැකකටයුතු ලෙස ගිණුම් පවත්වාගෙන යන බවට ශ්‍රී  ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2019.07.22 දින වාර්තා එවා ඇති බවත් ඒ අනුව විමර්ශන සිදු කරන බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව බැංකු 13ක වාර්තා ලබා ගැනීම සඳහා නියෝගයන් නිකුත් කරන මෙන්ද මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉකුත් අධිකරණ නියෝග මත බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ කොල්ලුපිටිය ලංකා බැංකුවේ අධිශේ‍ර්ණි ශාඛාවේ අංක 78445137 දරන ගිණුමට අදාළව ගිණුම් ප්‍රකාශ, හර හා බැරපත්, චෙක්පත්, මැන්ඩේට් පත්‍ර, අස්සන් කාඩ්පත් හා ගනුදෙනු කිරීමට බලය පවරා ඇති පුද්ගලයන් සම්බන්ධ තොරතුරු ලබාගත් බවත් එම විමර්ශනයන්ට අනුව මෙම ගිණුම 2016.01.04 දින බැටික්ලෝ කැම්පස් කොලේජ් (පෞද්ගලික) සමාගම විසින් ශ්‍රී  ලංකා රුපියල් මඟින් ගනුදෙනු කරන ජංගම ගිණුමක් ලෙස ආරම්භ කර ඇති බවත් එම ගිණුම ආරම්භ කිරීම සඳහා එම සමාගම වෙනුවෙන් එහි සභාපති එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, අධ්‍යක්ෂ මොහොමඩ් හිරාඩ් හිස්බුල්ලා හා එම සමාගමේ ලේකම්වරුන්ද සම්බන්ධ වී ඇති බැව් හෙළි වූ බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

මෙම සමාගමේ වර්තමාන අධ්‍යක්ෂවරු වන මොහොමඩ් හිස්බුල්ලා අහමඩ් හිරාත් හිස්බුල්ලා, මොහොමඩ් සහබ්දීන් මොහොමඩ් අක්‍රම් හා අහමඩ් මුෆ්රි යන අයගේ පමණක් කොළඹ කොටස් හුවමාරුවේ ඛ්ච්ඉ ගිණුම් පවත්වාගෙන යන බව අනාවරණය වී ඇති බවත් මොවුන් කොළඹ කොටස් හුවමාරුවේ ආයෝජන කටයුතු සඳහා යොදවාගෙන ඇති මුදල් සපයාගෙන ඇති ආකාරය හා එම මුදල් ලබාගත් ආකාරය පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ශ්‍රී  ලංකා මහවැලි අධිකාරියේ මඩකළපුව පූනානි ජයන්තියාය ග්‍රාමයේ පිහිටි අක්කර 35ක ඉඩමක් අංක 10/18, ලේක් ඩ්‍රයිව්, කොළඹ 08 ලිපිනයේ පවත්වාගෙන යන “ශ්‍රී  ලංකා හීරා පදනම” වෙත ලබාදී ඇති බවත් පසුව එම ඉඩම බැටික්ලෝ කැම්පස් ආයතනය වෙත ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවත් ඒ අනුව මෙම ඉඩම බැහැර කිරීම සම්බන්ධව ඇති පාර්ශ්වකරුවන් වන මහවැලි අධිකාරියේ මහවැලි කලාපයේ නේවාසික කළමනාකරු සමන්ත තුෂාර, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ දික්වැල්ල ආරච්චිගේ අසන්ත උදය කුමාර, ශ්‍රී  ලංකා මහවැලි අධිකාරියේ ව්‍යාපෘති සංවර්ධන නිලධාරි හේරත්වාසල මුදියන්සේලාගේ වසන්ති රම්‍යලතා යන අයගෙන් ලබාගත් ප්‍රකාශ අනුව බොහෝ තොරතුරු හෙළිවූ බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දැක්වීය.

ඒ අනුව හිස්බුල්ලා මහතාගේ බැටික්ලෝ කැම්පස් ආයතනය ස්ථාපිත කර ඇති ඉඩම සම්බන්ධ බදු ගිවිසුම 2013 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම බදු ගිවිසුම ජනාධිපතිවරයා විසින් 2018 වර්ෂයේදී අස්සන් කොට ඇතැයිද සිදු කළ විමර්ශනවලදී හෙළි වූ බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

එමෙන්ම ශ්‍රී  ලංකා හිර්ජා පදනම පිළිබඳ සමාජසේවා දෙපාර්තමේන්තුවේ විමර්ශනයන් සිදුකළ බවත් එම පදනමේ ලියාපදිංචිය තහවුරු කිරීමට මුදල් අයැදුම්පත්‍රය සමඟ ගොනුව ඉදිරිපත් කිරීමට සමාජසේවා දෙපාර්තමේන්තුව මේ වන තෙක් අපොහොසත් වී ඇති බවත් ඒ පිළිබඳ වැඩිදුරටත් විමර්ශනයක් සිදුකරන බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

අංක 10/18 ලේක් ඩ්‍රයිව්, කොළඹ 08 ලිපිනයෙහි පවත්වාගෙන යන 2015.07.14 සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ර්ථීඍ 106989 යටතේ ලියාපදිංචි කර ඇති ‘බැටික්ලෝ කැම්පස් කොලේජ් ප්‍රයිවඩ් ලිමිටඩ් සමාගම’ සම්බන්ධ විමර්ශනයක් සිදුකර ඇති අතර එහි අරමුණු ලෙස තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් සහිත ඩිප්ලෝමා මට්ටමේ කාර්මිකයන් බිහිකිරීම, එය රජයේ හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ විද්‍යාලයක් ලෙස පිහිටුවීම හා ප්‍රාථමික හා ද්විතික අධ්‍යාපනය ලබා නොදීම යන කරුණු අනාවරණය වී ඇති බවත් පසුව “බැටික්ලෝ කැම්පස් කොලේජ් ප්‍රයිවට් ලිමිටඩ්” ආයතනය බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ලෙස වෙනස් කර එහි ව්‍යවස්ථාවද වෙනස් කරගෙන ඇති බවත් ඒ අනුව එහි අරමුණු දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම ලෙස එක්කරගෙන ඇති බවත් සිදුකළ විමර්ශනයන්වලදී හෙළිවූ බවත් දක්වමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු දැක්වීය.

එමෙන්ම අංක 10/18 ලේක් ඩ්‍රයිව්, කොළඹ 08 ලිපිනයේ පවත්වාගෙන යනු ලබන මෙම සමාගම පිළිබඳ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ තොරතුරු පරීක්ෂා කළ බවත් එහිදී 2014.12.10 එම සමාගම ට්ඒ 2991 යටතේ ලියාපදිංචි කර ඇති බවත් එම සමාගම සීමිත සමාගමක් බවත් එහි ව්‍යවස්ථා අරමුණු ලෙස තරුණ හා නිපුණතා කටයුතු අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව වෘත්තීය පුහුණු හා තාක්ෂණ ආයතනය ස්ථාපිත කිරීම, දුප්පත් හා විවිධ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට හා දරුවන්ට උදවු කිරීම, දුප්පත් හා අඩු ආදායම්ලාභී අවශ්‍යතා ඇති ළමයින්ගේ හා තරුණයන් සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණුව නඟාසිටුවීම, දුප්පත් හා අඩු ආදායම්ලාභී පුද්ගලයන්ගේ පානීය ජලය, සනීපාරක්ෂාව, සෞඛ්‍ය පහසුකම් සඳහා මැදිහත් වීම,  ජනතාවගේ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා උදවු කිරීම, ජාතික ආපදා හා සිවිල් ගැටුම්වලදී උදවු හා පුනරුත්ථාපන කටයුතු සඳහා ක්‍රියාකාරීව මැදිහත්වීම දක්වා ඇති බවට අනාවරණය වූ බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළේය.

සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය බැංකු 13 වෙත වාර්තා ලබා ගැනීම සඳහා නියෝග නිකුත් කළ අතර සියලුම විමර්ශනයන් සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද මූල්‍ය බුද්ධි ඒකකයට නියෝග කළාය.

හංසි නානායක්කාර
මව්බිම
gossip lanka