“මම ආදරය කරනවා.එයා ගැන කියන්න ගියොත් වෙන දෙයක් ලියන්න නැති වෙයි.ඔහු හරි අමුතු චරිතයක්.හැමතිස්සෙම රණ්ඩු කරනවා.ඒ හැමදේම ඇතුලේ ආදරේ තියෙනවා” - හිමායා බණ්ඩාර

දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර් එහෙමත් නැත්නම් හිමායා බණ්ඩාර කියන්නේ රසික ආදරය නොඅඬුව ලබන රංගන ශිල්පිණියක්.
මේ දවස්වල හිමායා මොකද කරන්නේ..? මොනවද අලුත්ම තොරතුරු..?
මේ ගැන අහලා බලන්න අපි හිමායාට කතා කළා.
මොනවද මේ දවස්වල කරන්නේ..?
මේ දවස්වල අලුත් ටෙලි නිර්මාණයකට දායක වෙනවා.. මට ආරාධනා හයක් හතක් ලැබුණා. මම හිතුවා මට නිර්මාණ 10 ක වැඩ කරනවට වඩා හොද නිර්මාණයක වැඩ කරන එක හොඳයි කියලා.
අනෙකුත් කලා කටයුතු කරගෙන ඉන්නවා.

දෙවැනි ඉනිමේ සොනාලි ටීචර් ගැන හුගක් අය කතා වුණා නේද..?
කතා වුණා සහ අදටත් කතා වෙනවා. මොකද මම මාස පහකින් හයකින් විතර සොනාලි ටීචර්ගේ චරිතය ඇවිත් නැහැ. නමුත් ඒ චරිතයට තියෙන ආකර්ශණය අඩුවක් නැහැ..
මම එළියට ගියත් ඒක මට හොදින් දැනනෙවා. මිනිස්සු මට කොයි තරම් ආදරෙයිද කියලා. ඉදිරියේදි සොනාලි ටීචර් දෙවැනි ඉනිම හරහා ආයෙමත් දැකගන්න ලැබෙයි.

හිමායා දැන් පෙම්වතියක් නේද…?
මම ගොඩ කල් ඉදල‌‌නේ පෙම්වතියගේ චරිතය රඟපාන්නේ.. මම කවදාවත් තනිකඩ වෙලා නෑ ජීවිතේ.. මම ආදරය කරන කෙනෙක් ඉන්නවා. ඒක එහෙම නෑ කිව්වොත් බොරුනේ.. මම එහෙම කියන්නේ නෑ ඉතිං..

කියමුද බලන්න ඒ පෙම්වතා ගැන..?
ඒ මනුස්සයා ගැන කියන්න ගියොත් ඔයාට වෙන දෙයක් ලියන්න නැති වෙයි.. හරි අමුතු චරිතයක්.. ඔහු මට ආදරෙයි.. ටිකක් නපුරුයි. හැමතිස්සෙම රණ්ඩු කරනවා..
හොදින් ඉන්න වෙලාවලුත් තියෙනවා.. ඒ හැමදේ ඇතුලෙම ආදරේ තියෙනවා.. ගෑණු ළමයෙක් විදිහට හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඒ ආදරේ.. මම හරි ආසයි ජීවතේ තේරුම් අරන් ඉන්න මිනිස්සුන්ට. පොලවේ පය ගහලා ඉන්න අයට. ඒ වගේ චරිතයක්.. හරිම හොඳයි..

අද හුඟක් කලා ක්ෂේත්‍රයේ අය විවාහ ගිවිස ගන්නවා වගේම ඉක්මනින්ම ඩිවෝස් වෙනවා.. ඇයි ඒ…?
අනේ මම දන්නේ නෑ.. ඔයා ඔය අහන දේම මම ගොඩක් කල්පනා කරනවා.. මේ මිනිස්සු වෙඩින්වලට වියදම් කරන සල්ලි අපරාදේ කියලා මම නිතරම හිතනවා.. ඒ සල්ලි මට දුන්නනම්..ඇත්තටම ඕකට හේතුව තමයි අපේ අය ජීවිතේ කැපකිරීම් කියන දේවල්වලට හුරුවෙලා නෑ..
මම හිතන්නේ විවාහ ජීවිතයක් කියන්නේ තනිකරම කැපකිරීමක්. මම මගේ අම්මගෙන් ඒක දැකලා තියෙනවා. මගේ අප්පච්චි ගොඩක් නපුරු කෙනෙක්.
මගේ අම්මා තරම් මම දැකලා නෑ ඒ හැමදේම ඉවසගෙන විවාහ ජීවිතේ ගත කරපු කෙනෙක්.
ස්වාමිපුරුෂයා සහ දරුවන් වෙනුවෙන් ‌‌‌ඒ විදිහට කැපවෙන කෙනෙක් මම දැකලා නෑ මේ ජීවිතේ.. ඒ කැපකිරීම නිසා අද ඇය සතුටින් ඉන්නනවා. විවාහය කියන්නේ මතුපිටින් සුන්දර දෙයක්. සීයට සීයක් අදහස් ගැලපෙන මිනිස්සු මේ ලෝකේ නෑ.
අපි සමහර තැන් ගලපගන්න ඕනේ.. ඒක ගොඩක් අයට තේරෙන්නේ නෑ. හරි හිතුවක්කාරයි. හිත් වෙනස්. ආදරේ කියන දේ හුගක් අයට විහිළුවක් වෙලා.
මටනම් ඇත්තටම මගේ යාළුවෙක් වුණත් අමතක කරන්න බෑ.. මම නම් පුරුදු වෙලා ඉන්නේ මිනිහෙක්ගේ නරක දකිනවට වඩා හොද දකින්න. අන්න ඒ විදිහට දකින්න තමන්ගේ හදවත හදාගත්තොත් තමන්ගේ පවුල් ජීවිතෙත් සාර්ථක කරගන්න පුළුවන්.
නළු නිළියන්ට විතරක් නෙවෙයි මේක. ඒ අය ප්‍රසිද්ධ නිසයි මාධ්‍ය හරහා මේ දේවල් ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙනවා. ඒකයි.. නමුත් සමස්ත සමාජය දිහා දැක්කම මේක ඛේදවාචකයක්. බදිනවා ඩිවෝස් වෙනවා. කොහොම පොරොම්දම් ගලපගන්නද මන්දා..

අද හුගක් මියුසික් වීඩියෝ එහෙමත් නැත්නම් Photo ෂූට් හිට් කරගන්න නිරුවත පාවිච්චි කරනවා නේද..?
අනේ මම දන්නේ නෑ.. මම ආසා නැති දෙයක් ඕක.. මම මේ දේ කියන්න ගිහින් මට හුගක් අය බැනලත් තිබ්බා..
මම කතා කරන විලාශය සමහර අයට තේරුම් ගන්න අමාරුයි.. මම කතා කරන විදිහ තේරුම් ගන්න පුළුවන් ඒ දේවල් ඉගෙන ගත්ත අයට..
ලෝකේ පුරාම අපි දැකලා තියෙනවා කලාකරුවෝ ඉන්නවා චිත්‍ර අදින්න ගියාම ගැහැණියක් නිරුවත් කරලා ඒ ගැහැණියව අදින්න දෙනවා..
ඒ ගැහැණිය රස්සාව විදිහට නිරුවත් වෙනවා.. නිරුවත මාර්කට් කරන්න ඕනේ නෑ.. හැබැයි කලාව කියන දේ ඇතුලේ නිරුවත කියන දේ පාවිච්චි කරන්න වෙනවා..
ඒක තම තමන්ගේ පෞද්ගලික කැමැත්ත මත ස්වභාවය මත එහෙම වියයුතුයි..
නමුත් කලාව කියන්නේ නිරුවත නෙවෙයි හැබැයි..
මම පෞද්ගලිකව ඒකට අකමැති වෙන්න පුළුවන් නමුත් ඒක අටුවාටීකා කියන්න තරම් දෙයක් නෙවෙයි මේ ලෝකේ යන විදිහත් එක්ක.
ලංකාවේ බොහෝ කෙනෙක් මේකට විරුද්ධයි.. ඒකට මට කියන්න දේකුත් නෑ.. අදහස් දක්වන්නත් බෑ ඒක. එක එක අයගේ කැමැත්ත. කලාව කියන දේ පෙන්වන්න නිරුවත අවශ්‍ය නෑ.

ඔබ වැඩිපුරම රඟපාන්න කැමති නළුවා ගැන කිව්වොත්..?
මට ආසයි ජැක්සන් ඇන්තනී එක්ක රඟපාන්න තියෙනවානම්.. මම ආසයි ඔහුගේ රංගන හැකියාව බලාගෙන ඉන්න.. ඔහු  රංගනයට අවතීර්ණ වෙන්නේ කොහොමද පිටපත කියවන්නේ කොහොමද..? අනිත් අය එක්ක කොහොමද කතා කරන්නේ කියන දේ දැනගන්න මට උණක් තියෙනවා. හැබැයි මට අවස්ථාවක් ලැබිලා නැහැ. ඔහු පරිපූර්ණ කෙනෙක්.

අද මිනිස්සුන්ගේ මනුස්සකම නැතිවෙලා ගිහින්.. සල්ලි පස්සේ දුවන මිනිස්සු ටිකක් බිහිවෙලා ඉන්නේ.. ඔබ ඒ ගැන දකින්නේ කොහොමද..?
මේ සමාජයම තුවාලයක් වෙලා. ඒ තුවාලෙන් ඕජස් ගලනවා. ඕජස්වලට රහවැටිලා තමයි මිනිස්සු ඉන්නේ. අපේ මිනිස්සු හරි කැමතියි මිනිස්සුන්ට අපහස කරලා හිනාවෙන්න..
අපේ මිනිස්සු කැමතියි තව කාටහරි හිනාවෙන්න.. මම මේ ළඟදි දැක්ක අර කුමාරි අක්කගේ වම්බටු ඩාන්ස් එක බලන්න කියලා දාලා තියෙනවා..
මිනිස්සු ඒ කුණුවලට හරි කැමතියි. අපේ අයට වෙන ඔසුවක් නෑ..
මම මේ සමාජය ඇතුලේ දකිනවා යූටියුබ් කරන අයට ලොකු වගකීමක් තියෙනවා.
ඉදිරි පරම්පරාව වෙනුවෙන් දෙයක් කරන්න.. ළමයින්ට හැදෙන්න දෙයක් කරන්න පුළුවන්නම් ඒක ලොකු දෙයක්.
සමාජය යහමගට ගන්න තරුණ පරම්පරාව ඉදිරිපත් විය යුතුයි. මටනම් අත්තටම කණගාටුයි අපේ මිනිස්සු හැසිරෙන විදිහ දැක්කම..

නිර්මාණයකට දායක වෙන්න කළින් ඔබ බලන්නේ මොන වගේ දේවල්ද.?
ආ…. මම ඇත්තටම දැන්නම් හරි සැලකිලිමත් වෙනවා.. එකක් මම බලනවා මොකක්ද සමාජයට දෙන්න පුළුවන් පණිවුඩය කිියලා..
මම රගපාන්නේ කොහොමද හැසිරීම් කොහොමද මම අදින ඇදුම් මොනවද ඒවා විනිශ්චය කරන කොට්ඨාසයක් ඉන්නවා..
මම මගේ අම්මගෙන් සහෝදරයෝ යාළුවෝ පෙම්වතා රසවිදින කෝනයක් තියෙනවා..
ඒ හැමදේම මම දැන් සැලකිලිමත් වෙනවා. නිර්මාණයක් කරලා මට මගේ අයව නැතිකරගන්න ඕනේ නෑ..
ඉතිං මට ඒලෝකේ වටිනවා.. ඉතිං මම ඒ හැමදේම ගැහ හිතලයි නිර්මාණයක් තෝරගන්නේ.

ජීවිතේ වැඩියෙන්ම දුක් වුණු දවස දවද්ද..?
දුක් වුණු දවස… මේ ළඟදි අපේ ගෙදර හිටියා පූසියෙක්.. එයා පැටව් දාලා තිබුණා.. එයාලා කිරි බොනවා.. මම ඒ දිහා බලාගෙන සතුටුවුණා.. මම ආයෙත් කොළඹ ආවා.. මම ගෙදරට කෝල් එකක් ගත්තා එතකොට අක්කා අඩාගෙන කතා කළේ.. එයා ලේසියෙන් අඩන කෙනෙක් නෙවෙයි. අපේ පැත්තේ කොටියෙක් ඉන්නවා.. ඒ කොටියා අර පූස් පැටව් හතර දෙනාම කාලා ගිහින්.. මම ඒකට ඇඩුවා දවස් හතරක් විතර. මම හිතන්නේ මම මෑත කාලේ වැඩියෙන්ම දුක්වුණු අවස්ථාව ඒක.

ප්‍රශ්නයක් කරදරයක් ආවම ඉස්සෙල්ලම මතක් වෙන්නේ කවුද..?
අම්මා… දුකක් වේදනාවක් ආව ගමන්ම මට මතක් වෙන්නේ අම්මා.. මාව රිද්දලා නැති අඩලා නැති මට ගරහලා නැති කෙනෙක් ඉන්නවානම් ඒ අම්මා කියලයි මට මතක් වෙන්නේ.

වත්මන් දේශපාලන තත්ත්වය ගැන මොකද හිතන්නේ..? කාටද ඉදිරියේදී සහය දෙන්නේ…?

සහය දෙන්න සුදුස්සෙක් නෑ මටනම්.. මොකද හැමෝම බල තන්හාකාරයෝ.. එක්කෙනෙක් නෙවෙයි 225 ම තමන්ගේ බලය රැකගන්න හදන්නේ..
කිසිම බයක් නැතිව මම කියනවා.. අපිත් බදු ගෙවනවා ඒ අයට ඡන්දය දීලා තියෙනවා. අපේ දේවල්වලින් ඒ මිනිස්සු ඉන්නේ.. අපේම ඡන්දෙන් ගිහින් අපිටම කොකා පෙන්වනවා. මට මූණට හම්බවුණත් මම කියනවා කියන්න ඕන දේවල් ටික.

මොනවද ජීවිතේ ඉදිරි බලාපොරොත්තු..?
පොඩි පොඩි බලාපොරොත්තු එනවා යනවා.. බලාපොරොත්තු කියන්නේ ඉතිං සිතුවිලිනේ.. විවාහ වෙන්න ඕනේ. හොද මනුස්සයෙක් විදිහට ඉන්න තමයි ඕනේ..
gossip lanka