gossip lanka

පොලිසියෙන් දෙන තාවකාලික රියැදුරු බලපත් පොලිසියේ දෙදෙනකුටම හොරෙන් විකුණපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

තාවකාලික රියැදුරු බලපත්‍ර තොගයක් සොරාගෙන එහි බලපත්‍ර මුදලට විකුණූ­ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු පෙරේදා  (21දා) අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව පොලිසියේ සාමාන්‍ය රාජකාරියෙහි යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකි. මොරටුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකවරයා තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු සමඟ මොරටුව රාවතාවත්ත හන්දියේ අධිපැය රාජකාරියෙහි යෙදී සිටියදී පැමිණි යතුරුපැදිකරුවකුගේ බලපත්‍ර පරීක්ෂා කිරීමේදී මොරටුව පොලිසියේ රථවාහන අංශයේ සිට වෙනත් පොලිසියකට ඉකුත් ජනවාරි මාසයේදී ස්ථානමාරු ලද පොලිස් කොස්තාපල්වරයකුගේ නමක් එම පුද්ගලයා සතුව තිබූ තාවකාලික රියැදුරු බලපත්‍රයේ සඳහන්ව තිබීම පිළිබඳ ඇති වූ සැකය මත සිදුකළ මූලික විමර්ශනයේදී මෙම සොරකම පිළිබඳ හෙළි වූ බව පොලිසිය පවසනවා.

යතුරුපැදිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර මත්පැන් පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් පොලිසියට හසුවීමෙන් පසු තෙමසක කාලයකට රියැදුරු බලපත්‍රය අධිකරණය මඟින් අත්හිටුවා තිබූ බව පොලිසිය කියයි.

ඒ හේතුවෙන් දන්නා හඳුනන අයකු මාර්ගයෙන් රුපියල් පන්දහසක මුදලක් ගෙවා මොරටුව පොලිසියේ කොස්තාපල්වරයකුගෙන් තාවකාලික රිය බලපත්‍රය මිලදී ගත් බව පවසා තිබෙනවා.

එම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී රියැදුරු බලපත්‍රයක් රඳවාගෙන පොලිස් නිලධාරියකු විසින් නිකුත් කරන තාවකාලික රියැදුරු බලපත්‍ර අඩංගු අලුත්ම පොතක් තවත් කොස්තාපල්වරයකුගේ සහායෙන් පාලන අංශයෙන් සොරාගත් බවට අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

ඒ අනුව එම කොස්තාපල්වරයා ද අත්අඩංගුවට ගත් පොලිසිය එම පොත භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා බලපත්‍ර පනහක් අඩංගු එම පොතින් තාවකාලික බලපත්‍ර එකොළහක් විවිධ පුද්ගලයන්ට විකුණා තිබූ බවට වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරුන්  දෙදෙනා මැටියමුල්ල, පයාගල හා දියතලාව පදිංචිකරුවන්ය.

සැකකරුවන් දෙදෙනා මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ - එම්.සී. පෙරේරා
gossip lanka