gossip lanka

"බඩු බෑග් මොකුත් නෑ සර්. වෙපන් විතරයි, අපි කොහොම හරි ගේමක් ගහන්නම් සර්.." - කොටි කටේ අතරමං වුණු සෙබළ සොයුරන් සොයා මඩු වනාන්තරයට තනියම රිංගපු පැරෂුට් වීරයාගේ ඔබ නොදත් කතාව - (Photos)

සියල්ලෝම කිව්වේ එය කරන්නට අපහසු වැඩක් කියා නොවේ, කළ නොහැකි දෙයක් කියාය. සති දෙකකට ආසන්න කාලයක් පුරා සතුරු ඉලක්කයක් සොයා සතුරන්ගේම භුමියට ඇතුළු වූ විශේෂ බළකා දිගුදුර මෙහෙයුම් කුඩා කණ්ඩායමෙන් කිසිදු ආරංචියක් නොමැත.

ඔවුන් මඩුපල්ලිය පසුකර එතැනින් ඉදිරියට ආරම්භ වන කොටි ත්‍රස්තයන්ගේ පාලන කලාපයට ඇතුළු වුණි. මන්නාරමේ මෙරට ආරක්‍ෂක අංශ විසින් පාලනය කළ බල ප්‍රදේශය මඩු පල්ලියට පසුව තිබෙනා පර්යානම්කුලම් හන්දියෙන් පසු අවසන් වේ.

කොටි ත්‍රස්තයන්ගේ ඉහළ පෙළේ නිලයන් කිහිපයක් රැස්වෙන බවට ලද බුද්ධි තොරතුර ඔස්සේ වනගත වූ දිගුදුර බළකායේ කුඩා කණ්ඩායම අදාළ ඉලක්ක සපුරා ගත් බවට අවසන් පණිවුඩයද කඳවුරට ලැබී තිබිණි.

'සර් ටාගට් එක ගැහුවා. දැන් ටෙරාලා පිස්සු වැටිලා වගේ අපේ පස්සෙන් එනවා. අපි අපේ ලැගේජ් හංගපු තැනට ළංවෙන්න ට්‍රයි කළා. එතෙනට යන්න බෑ. ගියොත් අහුවෙනවා. අපි ආපස්සට පසුබසිනවා. ඕවර්...'

'කෝප්‍රල්, ටීම් එකට ආපසු එන්න පාර හොයාගන්න බඩු තියෙනවාද, ඕවර්...'

'බඩු බෑග් මොකුත් නෑ සර්. වෙපන් විතරයි. අපි කොහොම හරි පාර හොයාගන්නම්. සෙට් එකෙත් බැටරි බැහැලා. අමතර බැටරිත් අපේ ළඟ නෑ. අපි කොහොම හරි ගේමක් ගහන්නම් සර්. ඕවර්...'

මහසොහොන් බළකාය හෙවත් තුන්වැනි විශේෂ බළකායේ කුඩා කණ්ඩායම හා කඳවුර අතර සිදුවූ අවසන් පණිවුඩ හුවමාරුව එය විය. එතැන් පටන් සතියකට ආසන්න කාලයක් ගත විය. කණ්ඩායම පාලම්පිඩ්ඩි වැව පසුකර, මුතුමාරි අම්මාන් කෝවිලෙන් එපිටට වනගත වී සති දෙකකට ආසන්නය. කඳවුරම දැන් දෑස් දල්වාගෙන බලා සිටින්නේ තම සහෝදරයන් නැවත කොහෙන් හෝ මතුවේ යැයි අපේක්‍ෂාවෙනි. තවත් දිනයක්, දෙකක් ගත විය. කිසිදු තොරතුරක් නැත. අවම තරමින් ආධාරක බළඇණියක් යවන්නට හෝ සිටිනා ඉසව්වක් දන්නේද නැත.

'පේන විධියට ටීම් එකට වතුර, කෑම මොකුත් නෑ. අඩුම කිලෝමීටර් 60ක් පයින් එන්න තියෙනවා. කට්ටිය හාමත් වෙලා ඉන්නවා ඇත්තේ. සපෝට් එකට කට්ටිය යවන්නවත් ඉන්න තැනක් දන්නේ නෑ...' කඳවුරේ සිටි අණදෙන නිලධාරියා එලෙස ප්‍රකාශ කළේ තවත් විශේෂ බළකායේ මහ සොහොන් සාමාජිකයන් කිහිප දෙනකුටය. ඒ අතර සිටි එක් සාජන් මේජර්වරයකු එක්වරම හඬ අවදි කළේය.

'සර්, මම ඔය රූට් එකේ කලින් ගිහින් තියෙනවා. මට නිකමට හිතෙනවා කට්ටිය යන රූට් එක. මට මඩු කැලේ පුරුදුයි. මම රිංගන්නම්. ටීම් එකට ආපහු එන්න පාර හොයාගන්න බැරිව ඇත්තේ. මම ලැහැස්තියි වගකීම ගන්න...' සාජන් මේජර්වරයාගේ තරම දන්නා අණදෙන නිලධාරියා ඔහුව එතැනින් ඉදිරියට ප්‍රශ්න කරන්නට ගියේ නැත. අවසර ලැබිණි.

සාජන් මේජර්වරයා තම මල්ලද සූදානම් කරගෙන, ඊට අමතරව කිලෝ 30ක ජලය හා ශක්තිජනක ආහාරද පුරවා ගත්තේය. නිමක් නොපෙනෙන මඩු වනාන්තරයේ, සිය නායකයකු මිය යෑමේ විපරීත කෝපයෙන් පිපිරෙමින් කොටි ත්‍රස්තයන් මඩු වනය පීරි ගාද්දී, අවම තරමින් තමා යා යුතු ඉලක්කය කුමක්දැයි හෝ නොදැන සාජන් මේජර්වරයා වනගත විය.

හේ අන් කිසිවකු නොව පසුගියදා හදිසි පැරෂුට් අනතුරෙන් මියගිය බලලත් නිලධාරි සාජන් මේජර් චම්පික කුමාරසිරිය. දින කිහිපයක් සිය සහජ ඉව ඔස්සේ මහ වනයේ දිවා රෑ දෙකේම ඇවිද ගිය චම්පිකට අවසානයේ තුන්වැනි දින රාත්‍රියේ වනයේ අතරමංව හා ජලය නොමැතිව දුර්වලව සිටි පිරිස හමුවිය.

සම පැළී, දිව වියැළී, දෑස් පවා නොපෛන තරමින් ඔත්පළව සිටි පිරිසට රාත්‍රිය පුරාම ප්‍රතිකාර කොට පසුදා ඉතාම පරෙස්සමට නැවත කඳවුර දක්වා රැගෙන එන්නට චම්පික සමත් විය. ඔහුට ඒ වෙනුවෙන් කරන උපහාරයක් ලෙස වීර වික්‍රම විභූෂණ පදක්කමද එවකට යුද හමුදාපතිවරයාගෙන් ලැබිණි. නොසිතනා මොහොතක මිය ගියේ සිය සහෝදරයන් වෙනුවෙන් එවන් කැපකිරීම් කළ සාජන් මේජර් චම්පිකය.

මේ ලිපිය ලියන්නට තොරතුරු සොයා අපි ඔහුගේ මිතුරන් සම්බන්ධ කරගත්තද සැබෑවටම ලද තොරතුරක් නැති තරම්ය. විශේෂ බළකායේ අතිශය දරුණු තත්ත්වයන්වලදී නොනැසී සිටින්නට පුහුණුව ලද මහසොහොන් බළකායේ සෙබළුන් පවා සිටියේ සිදුවූයේ කුමක්ද යන්න සිතාගත නොහැකි තැනකය.

"චම්පික සර් යුද්ධ කාලේ විශාල අවදානම් මෙහෙයුම්වලට ගිය කෙනෙක්. එයා යන කුඩා කණ්ඩායමේ යන්නත් අපි කැමැතියි. එයාට අනිත් අයට නැති අමුතු ඉවක් තිබුණා. දෙයක් වෙන්න කලින් එයා කියනවා. කියලා ඒ අනුව වැඩ කරලා ජයගත්තට පස්සේ එයා හිනා වෙවී කියනවා 'දැක්කානේ, මම උඹලට කීවානේ' කියලා.

මේ කියනා ඉව කොතරම් දරුණුද කියන්නට චම්පිකගේ අවසන් මොහොතද සාක්‍ෂියකි. අනතුර සිදුවූ දිනයේ එළැඹෙන දියකාවා මෙහෙයුම් සංදර්ශනය වෙනුවෙන් උහන ගුවන් හමුදා කඳවුරේ පුහුණුවීම් සිදුවුණි. එදින පුහුණුව ලැබූ පැරෂුට් කණ්ඩායමේ පුහුණුකරු වූයේද චම්පිකය. සිදුවන්නට ගිය විනාශය චම්පික දැන සිටියාදෝයි සැක සිතෙන්නේ පැරා කණ්ඩායමේ ජේ‍යෂ්ඨ උපදේශක මේජර් යූ.ආර්.අයි. පෙරේරා කියනා මේ කතාව නිසාවෙනි.

'සාජන් මේජර් කුමාරසිරි අවුරුදු 12ක කාලයක පටන් අපි දන්නවා. අපේ පැරා කණ්ඩායමේ අත්දැකීම් බහුලව ඇති සාමාජිකයෙක්. අද සිදුවූ අත්වැරැදීමකින් ඔහුගේ ජීවිතය නැතිවුණා. මේක සිදුවුණේ සුළු අත්වැරැදීමකින්. මේක අපේ පැරා කණ්ඩායමට ලොකු පාඩුවක්. එදා දවසේ එයා තමයි අපිට උපදෙස් දුන්නේ. ගුවන් යානයට නඟින්න කලින් යම් ආකාරයකින් පැරෂුට් දෙකක් පැටලුණොත් මේ විදියට කරන්න කියලා උපදෙස් දුන්නා. එතැන පුහුණුවට සිටියේ අත්දැකීම් තියෙන විශේෂ බළකායේ හා කොමාන්ඩෝ බළකායේ පිරිස්. සාමාන්‍යයෙන් ඔය උපදෙස නිතරම දෙන්නේ නෑ. ඒත් චම්පික එදා දුන්නා. පසුව අපි ගුවන් යානයට නැග්ගා. අපි කවදාවත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා...'

ඒ චම්පිකගේ ඉවය.

පැරෂුට් පැනීම් හා චම්පික ගැන කියන්න ඇති දෑ කොතරම්ද කිවහොත්, චම්පික ජීවතුන් අතර සිටියේ නම්, ලංකාවේ ජීවතුන් අතර සිටිනා රණ ශූරයන්ගෙන් පැරෂුට් හා සම්බන්ධ කතා වැඩි ප්‍රමාණයක් ඇත්තේ චම්පිකගේ නමටය. වඩාත් සරලව කිවහොත් යුද හමුදා විශේෂ බළකායේ මෙතෙක් ඉතිහාසයේ වැඩිම පැරෂුට් පිමි ප්‍රමාණයක් පැන ඇති පුද්ගලයා වන්නේ චම්පිකය. එසේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් පුහුණු විශාල ප්‍රමාණයක් ලද නිලධාරියා වන්නේත් චම්පිකය.

අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ නිදහස් ආරෙන් චම්පික සමඟ පිම්මට පැන්නේ ශ්‍රී ලංකා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් හර්ෂ සුදේශ්ය. චම්පික හා වචනයක් හෝ අවසන් වශයෙන් කතා කළේද ඔහුය.

'අපි 14 වැනි දින උදේ ඉඳන් උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීම් සිදුකළා. අපේ ප්‍රධාන පුහුණුකරු වුණේ සාජන් මේජර් චම්පික කුමාරසිරි සර්. එදා අඩි 10,000ක් උඩ ඉඳන් මට කලින් හතර දෙනෙක් පැන්නා. මම ඊළඟට පැන්නා. මට පිටිපස්සෙන් පැන්නේ චම්පික සර්. අපි ගියේ සී.ආර්.ඩබ්ලිව්. ඉවෙන්ට් එක කරන්න. ටික වේලාවකදී සර් මට කිව්වා ටු කවුන්ට් පැරෂුට් එක ඕපන් කරන්න කියලා. සර් වන් කවුන්ට් පැරෂුට් එක ඕපන් කරනවා කිව්වා. මම පැරෂුට් එක ඕපන් කරා. ඒක ඕපන් කරාට පස්සේ මට පෙණුනා මගේ වම් පැත්තේ දිසාවෙන් සර්ගේ පැරෂුට් එකත් එක්ක සර් මගේ පැත්තට එනවා. මගේ ඇඟ අස්සට ඇවිත් පැරෂුට් ලණු අස්සෙන් එළියටම ගියා. සර් කිව්වා සුදේශ් බය නැතිව හිටපන් මම මොනවා හරි කියන්නම් කියලා. ඒ කිව්වා විතරයි සර්ගේ කැනපියර් එක මගේ බෙල්ලේ එතෙන්න ගත්තා. මට සර් පේන්නේ නැහැ. සර් පිටිපස්සේ හිටියේ.

'ටික වේලාවකට පස්සේ මගේ කැනපියර් එක ටිකෙන් ටික රිලීස් වුණා. ලයින් දෙක තුනක් හිරවෙලා මගේ අත්දෙක බෙල්ලටම තිබ්බ හින්දා මගේ බෙල්ල හිර වුණේ නැහැ. මම දැක්කා සර් මගේ වම් පැත්තට එනවා. මම සර් සර් කියලා කතා කරා. සර් මොනවත් කතා කරන්නේ නැහැ. සර් කතා කරන්නේ නැති නිසා මට ගන්න තිබුණ එකම තීරණය තමයි බෙල්ල හිර වී තියෙන ලණුව කපන එක. මගේ අත්දෙකවත් ගලවන්න බැහැ. ඒ අවස්ථාවේදී සර් දකුණු පැත්තට ගිහින් තිබුණා. මගේ එක අතක් අරගෙන මගේ පපුවේ තිබුණු හදිසි අවශ්‍යතාවයට ගන්නා පිහිය අරගෙන මගේ බෙල්ලේ හිරවෙලා තිබුණ ලණු දෙක කැපුවා. ඊට පස්සේ සර් පැරෂුට් එකත් එක්ක ගැලවිලා ගියා මට පෙනුණා. උඩදී සර්ගේ පැරෂුට් එක ඕපන් වෙලා තිබුණේ. හැබැයි පස්සේ එතීම නිසා පස්සේ පැරෂුට් එක පැත්තක් ඇකිළිලා වගේ තිබුණා. උඩදී සර් මට කතා කරේ සුදේශ් බය නැතිව හිටපන් කියලා විතරයි. ඊට පස්සේ එක වචනයක්වත් කතා කළේ නැහැ. විනාඩි එකහමාරක කාලයක් අපි පැරෂුට් එකේ පැටලිලා හිටියා. සර් කතා කරපු නැති නිසා මට කරන්න තිබුණ එකම විකල්පය තමයි මගේ බෙල්ල හිරවෙලා තිබුණ ලණු ටික කපලා දාන එක.'

දෛවය කොතරම් පුදුමාකාරද යන්නට චම්පිකගේ අවාසනාවන්ත මරණය අපූරු උදාහරණයකි. ඊට හේතුවක් වේ. උහනදී චම්පික මිය යන්නේ අඩි 10,000ක් ඉහළ අහසේදී කරනා පැනීමක් අතර තුර සිදුවූ අත්වැරැදීමකිනි. අත්වැරැදීම චම්පිකගේද, වෙනත් අයකුගේද යන්න දැනට කියන්නට අවස්ථාවක් නැත. කෙසේ හෝ චම්පික දැනට හරියටම සතියකට පෙර ඉරිදා සිළුමිණ පුවත්පතට කියා තිබූ මේ ප්‍රකාශය ඔබ කියවා බැලිය යුතුය. මේ චම්පික ලද එක්තරා විදෙස් පුහුණුවක් ගැන ඔහු කියූ කතාවකි.

"යුරෝපයේදී අපි එක්කෙනෙක් පිමි 16ක් පැන්නා. මුලින්ම පැන්නේ ලෝකයේ වැඩි පිරිසක් බේස් ජම්ප් පළමු පිම්ම පැනීමට යන කේ‍රායේෂියාවේ කන්ෆනාර්හි අධිවේගී මාර්ගයක තිබෙන පාලමක සිට අඩි 350ක් යටින් තිබෙන හෙලකට. ඒ පිම්මේදී හිතන්න දෙයක් නෑ ඇසිපිය ගහන සැණින් බිම. අමුතුම අත්දැකීමක්. ඊට පස්සේ අපිව රැගෙන ගියා ඉතාලියේ කඳුකර ප්‍රදේශයක් වන 'ආර්කෝ' නමැති පළාතේ කන්දකට. තනිකරම ගල්තලාවක්. එතැන උස අඩි 2500ක් පමණ. අප පැන්නේ ගල්තලාවක් මතට. එතැන අපේ රටේ ලෝකාන්තය වගේ ඉමක් කොනක් නොපෙනෙන තැනක්."

මේ ප්‍රකාශය කර ඇත්තේ මියගිය චම්පිකමය. ඔහුට අනුව අඩි 350කින් පැන, පැරෂුටය කළමනාකරණය කරගත් චම්පික මිය යන්නේ අඩි 10,000ක ඉහළින් පනිනා අතරේය. අඩි 350කින් පනිනා චම්පිකට පැරෂුටය කළමනාකරණය කරගන්නට ඇත්තේ තත්පර ගණනකි. අඩි 10,000කින් පනිනා චම්පිකට අවම තරමින් විනාඩි දෙකකට වැඩි කාලයක් ඒ වෙනුවෙන් ලැබේ. ඒ චම්පිකගේ දෛවයයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ නොලැබීමයි.

කේ.එච්.කේ. චම්පික කුමාරසිරි උපත ලබන්නේ 1977 වසරේදීය. 1995 වසරේදී හත් වැනි විජයබා පාබළ රෙජිමේන්තුවට සම්බන්ධ වන චම්පික ඉන් නතර වන්නේ නැත. මාස කිහිපයක් තුළ යුද හමුදා විශේෂ බළකාය පුහුණු පාඨමාලා අංක 18ට සම්බන්ධ වන්නටද චම්පික ඉදිරියට පැමිණේ. එම පුහුණුව සාර්ථකව නිම කරන චම්පික එතැනින් නතර වන්නේද නැත. ඔහු ඉන් අනතුරුව යුද හමුදා විශේෂ බළකායේ දිගුදුර මෙහෙයුම් විශේෂ පාඨමාලාවටද එකතු වේ.

එය ඉතාම සාර්ථකව අවසන් කරනා චම්පික 1997 වසරේදී රටම දන්නා මහසොහොන් බළකාය හෙවත්, තුන් වැනි විශේෂ බළකායට සම්බන්ධ වන්නේ කෙටි කාලයක් තුළ පුහුණුවෙන් අගතැන් වූ අයකු ලෙසිනි. කඹුරුපිටිය, පුහුල්වැල්ලේ තම නිවෙසේ උඩුබැලිව අභිමානයෙන් නිදාසිටින චම්පිකගේ නිල ඇඳුම බියඋපදවනසුලු යැයි කිවහොත් වැරැදි නැත.

චම්පිකගේ නිල ඇඳුමේ කමිස අත පැහැදිලිව පෙනෙනා ලෙස ගත් ඡායාරූපය දෙස බලන්නට පාඨක ඔබට මොහොතකට ආරාධනා කරන්නෙමු. එහි සටහන්ව ඇති චම්පිකගේ සාර්ථකව අවසන් කළ පාඨාමාලව බැජ් ප්‍රමාණය රටක මෙවන් පුහුණු සෙබළෙක් සිටීමේ ආඩම්බරය මෙන්ම, සතුරන්ට බියද ඇති කරනු නිසැකය. මෙතරම් පාඨමාලා ප්‍රමාණයක් අවසන් කළ යුද ශූරයන් රටටම ඇත්තේ අතිශය.... අතිශය... සුළු ප්‍රමාණයකි.

චම්පික ගැන කියැවෙනා සෑම තැනකම නිතරම රැව් දුන්නේ "බේස් ජම්ප්" කරන්නට හැකියාවැති මෙරට සිටිනා තිදෙනාගෙන් එක් අයකු ලෙසය. චම්පික ඊට එහා ගොස් වටිනා අයකු වන්නේ යුද හමුදා විරුවෙක් භූමියේ ලද හැකි සෑම ආකාරයක පුහුණුවලින් සන්නද්ධව සිටි කිහිපදෙනාගෙන් කෙනෙක් ලෙස චම්පිකගේ නම ලියවී ඇති බැවිනි.

විශේෂ බළකා පුහුණුව, පැරෂුට් පුහුණුව, දිගුදුර විහිදුම් බළකා පුහුණුව ආදී ලෙස ගොස් ස්නයිපර් වෙඩික්කරුවෙක් ලෙස පවා චම්පික පුහුණුව ලබා තිබේ. මුලින් කී පරිදි වීරවික්‍රම විභූෂණ පදක්කමට අමතරව, පූර්ණ භූමි, දීර්ඝ සේවා, රණවික්‍රම හා රණශූර ගෞරව පදක්කම්ද චම්පිකගේ නමින් වෙන් වී ඇත.

චම්පික ශ්‍රී ලංකා මාතාව ආරක්ෂා කරනු පිණිස යුද බිමට එන්නේ ඔබත් මමත් හොඳින් දන්නා ප්‍රභාකරන් අවසන් ගමන් යැවූ 2009යේ ජයගත් යුද්ධයේදී නොවේ. වර්තමාන පරම්පරාව නමින් පමණක් අසා ඇති රිවිරැස මෙහෙයුමේද ඔහු විය. එතැන් පටන් සිය අසමසම පුහුණුවෙන් ඔහු උතුරු මානුෂීය මෙහෙයුමේ පටන් ප්‍රභාකරන්ගේ අවසානය සනිටුහන් වූ නැඟෙනහිර මානුෂීය මෙහෙයුම දක්වා විවිධාකාරයෙන් මවුබිම වෙනුවෙන් යුද පිටියේ ජය දද නන්වා තිබේ.

චම්පික එහිදී ලබාදුන් දායකත්වයේ තරම කියන්නට එක් උදාහරණයක් පමණක් ලියන්නෙමු. ඔහුගේ මෙහෙයුම් පිළිබඳ අසා සොයා ගන්නට යුද හමුදාවේ ඉහළ මට්ටමේ නිලයක් අපි සම්බන්ධ කරගත්තෙමු. චම්පිකගේ මෙහෙයුම් ගැන ඇසූ පැනයට ඔහු දුන්නේ මෙවන් පිළිතුරකි.

"ඒ කොල්ලා කළ දේවල් ලියන්න ගියොත් පත්තර තුන හතරක් ඕන වේවි. හැබැයි එයා මැදිහත් වුණු මෙහෙයුම් අදටත් අතිශය රහසිගතයි. කුමාරසිරි දිගුදුර මෙහෙයුම් විධියට කළේ විශේෂ බළකාය ලබාදුන් සුවිශේෂීම ඉල්ලක. ඒවා විතරක් කියන්න බෑ. වෙන ඕන දෙයක් අහන්න..."

චම්පික යනු එවැන්නෙකි.

මේ සියල්ල මැද හයිටියේ හා ලෙබනනයේ පිළිවෙළින් මාස හයක් හා අවුරුද්දක් ලෙස සාම සාධක හමුදා ක්‍රියාකාරිත්වයේ ඔහු යෙදී තිබේ. ඔස්ටි්‍රයාව, කේ‍රායේෂියාව, ස්ලෝවැකියාව හා ඉතාලියේ විශේෂ පැරෂුට් පුහුණුවද ඔහු ලබා තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හම්බාවා පිම්ම පැරෂුට් පුහුණුවද ලද චම්පික ඉන්දියාවේ අතිශය දුෂ්කර ඉසව්වලදී කඳු තරණය කිරීමේ පාඨමාලාවද සාර්ථකව අවසන් කළ අයෙකි.

චම්පික සිය පැරෂුට් කතාව ලියන්නේ 2007 වසරෙන් පසුවය. එතැන් පටන් මෙතෙක් ගත වූ අවුරුදු 12ක කාලය පුරාවට චම්පික පැරෂුට් පිමි 900කට ආසන්න සංඛ්‍යාවක් පැන ඇති බව කියැවේ. එහෙව් චම්පික දැන් ආපසු එන්නේ නැත. සියල්ලෝම ආපසු නොයෙන්නට ගමන් යති. ඒ ලෝක දහමයි. මියයන තෙක්ම රට නොදන්නා චම්පික, අපිට ඇති කනගාටුව නම්, ඔබ ඒ ගමන ගිය ආකාරයයි. ඔබට නිවන් සුව....!

ප්‍රසාද් අබේවික්‍රම
gossip lanka