අජිත් අයියා මට අශිර්වාදයක් - ජනප්‍රිය ගායිකා කේ. සුජීවා

සංගීත ලෝලීන් අමන්දානන්දයට පත්කළ මේ ගීතය ඔබ අසා ඇතුවාට සැකයක් නැත. ප්‍රසංග වේදිකාවේ මේ ගීතය ගැයෙනා විට වේදිකාව අබියස ප්‍රසංගය නරඹන රසිකයන්ගේ දෙපා රිද්මයට නැටවුණේ නිරායාසයෙන්මය. මේ ගීතයේ හිමිකාරිනිය අපි කවුරුත් දන්නා අසාමාන්‍ය කටහඬක උරුමක්කාරිය වූ ගායිකා කේ සුජීවා ය.
කොහොමද ජීවිතේ...

ඇයි මේ නිහඬතාවය

ජීවිතේ හැල හැප්පීම් ගොඩාක් සිද්ධ වුණා. වෙලාවකට මට හිතෙනවා මේ හැම සිදුවීමක්ම මගේ ජීවිතයට ආශිර්වාදයක් වුණා කියලා. කල් ගිහින් හරි මම ජීවිතය තේරුම් ගත්තා. මම දැන් වචනයෙන් කියන්න බැරි තරම් සතුටකින් ජීවිතය ගෙවනවා. ඉඟි මරණ ගීතයට පස්සෙ මම ගායනා කළ ‘අරවින්ද යාය’ සහ ‘නිල් දෙනුවන්’ ගීත දෙකම රසිකයන් ආදරයෙන් වැලඳ ගත්තා. අප්‍රේල් මාසයේ අපේ රටේ ඇතිවුණු අමිහිරි සිදුවීම් මාලාව හින්දා ප්‍රසංග වේදිකාවට මරු පහරක් එල්ල වුණා. ඒ සිදුවීම හරහා අපිට වැඩ අඩුවුණා. කොටින්ම කියනව නම් සතියකට සංදර්ශන ගණනාවකට සහභාගි වූ මම අද වන තුරු කිසිම සංදර්ශනයකට සහභාගි වුණේ නැහැ. ඒක මට විතරක් නෙමෙයි මේ ක්ෂේත්‍රයේ හැමෝටම මුහුණ දෙන්න වුණු ප්‍රශ්නයක්.

මේ කාර්යබහුල ජීවිතයේ රුව රැක ගැනීමේ රහස කුමක්ද?

මගේ ජීවිතයේ ලොකු ටාගට් නැහැ. හිත ගොඩාක් සැහැල්ලුවෙන් තියා ගන්නවා. ටාගට් තිබුණට ඒක හිතේ තද කරගෙන ජීවිතය අමාරුවෙන් දුවන්නේ නැහැ. හම්බ කරන මුදල්වලින් කොටසක් මම පින් දහම්වලට යොදවනවා. විවේකය තියෙන වෙලාවට හොඳට නිදා ගන්නවා. හොඳට කනවා බොනවා. පලතුරු වර්ග ගොඩාක් මගේ ආහාර වේලට එකතු කර ගන්නවා. මගේ අලුත් ජීවිතය පටන් අරන් දැනට අවුරුදු 5ක් වෙනවා. පොඩි දුව රෝස් තවම පාසල් යනවා. එයාට අවුරුදු 12යි. අයියයි මමයි කිසිම දවසක උඹ බං බොලං කියලවත් දෙන්නට දෙන්නා කතා කරලා නැහැ.

කවුද මේ අයියා?

ජනප්‍රිය ගායක අජිත් මුතුකුමාරණ. එයා තමයි පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ හිමිකරුවා. අජිත් අයියා මගේ ජීවිතයට සම්බන්ධ වෙලා දැනට අවුරුදු 5ක් වෙනවා.

මොනවද අජිත් ගැන

ඔයාට කියන්න තියෙන්නෙ?

ඇත්තටම මම කුඩා කාලේ ඉඳලා ආගමට දහමට ලැදියි. විවේකයක් කියලා ලැ‌ෙබන හැම වෙලාවෙම අපි හතරදෙනා ට්‍රිප් එකක් කියලා යන්නේ දළදා මාළිගාවට, අනුරාධපුරේට, කතරගමට. එහෙමත් නැත්නම් කොහේ හරි පන්සලකට. අජිත් අයියා මගේ ජීවිතයට ලැබුණු එක මම හිතන්නේ මම කරන මේ පින් දහම්වල අතුරු ඵලයක් කියලා. බුදුන් වහන්සේ හරි දෙවියන් වහන්සේ හරි මගේ ජීවිතයට දුන්න ලොකුම ආශිර්වාදය තමයි අජිත් අයියා. උපතින්ම මම දමිළ හින්දු භක්තිකයෙක් වුණත් මගේ පොඩි දුව රෝස් මෙලඩි දිව්‍යාංජලී ලැබුණට පස්සෙ මම බුදු දහම වැලඳ ගත්තා. බුද්ධ දර්ශනය ඔස්සේ ජීවිතයට සතුට සැනසුම ළඟා කරගත්ත කෙනෙක් මම. අපේ නිවෙසේ දවස පුරාම පිරිත් ඇහෙන්න සලස්වලා තියෙන්නෙ. බුදුන් වහන්සේට කතරගම දෙවියන්ට සරස්වතී මෑණියන්ට ගණ දෙවියන්ට සහ ලක්ෂ්මී දේවියට අපි ‍උදේ හවස මල් පහන් පූජා කරනවා.

අජිත් අපි පොඩ්ඩක් කතා කරමු...

සුජීවා ගැන මොනවද කියන්න තියෙන්නේ?



සුජීවා ගැන කියන්න වචන නැහැ. මගේ අම්මා නැති වුණාට පස්සෙ එයා මට අම්මා වුණා. වෙලාවකට එයා මට සහෝදරියක්. මට හොඳ භාර්යාවක්. මගේ හෙවණැල්ල වගේ නිරතුරුවම මගේ පිටිපස්සේ ඉන්නවා.

අපේ මේ පවුල් සංස්කෘතිය තුළ අපි හතර දෙනාම ඉන්නේ එකම කණ්ඩායමක. ගේ අස්පස් කළත්, මිදුල ශුද්ධ පවිත්‍ර කළත් කෑමට වාඩි වුණත්, ගමනක් බිමනක් ගියත් අපි හතර දෙනාම ඒ රාමුව ඇතුළේ ඉන්නවා. මේ ගෘහය ඇතුළේ තමයි හැම දෙයක්ම සිදුවන්නේ.

පවුල් ජීවිත බොහොමයක් අවුල් වෙන්න මූලික හේතුව තමයි සැකය නොගැළපෙන මිතුරන් ඇසුර. කලාකරුවන් හින්දා අපි ගැන සමාජයේ අවධානය වැඩියි. පොඩි දෙයක් හරි හොයාගෙන පතුරවන්න බලාගෙන ඉන්නේ. සමාජයේ අපි හොඳ ආදර්ශවත් චරිත වෙන්න ඉස්සරවෙලා නිවෙස තුළ අපි එකිනෙකාට ආදර්ශවත් චරිත බවට පත්විය යුතුයි.

ඔවුනගේ නිවෙසේ ඔවුන් හතරදෙනා

ඇරෙන්න තවත් ආගන්තුකයන් රැසක්

ලැගුම්ගෙන ඉන්නවා. ඒ තමයි

සුරතලුන්... මම ඒ ගැන සුජීවාගෙන්

විමසුවා.

මම ඉස්සර හොඳ වර්ගයේ බල්ලන් පූසන් ඇති කරන්න පුරුදුවෙලා හිටියා. හැබැයි දැන් මේ ගෙදර ඉන්නේ පාරවල්වල පන්සල්වල අසරණවෙලා හිටපු සතුන්. ඒ අදහස මගේ ඔළුවට දැම්මේ අජිත් අයියා. ඔහු කිව්වේ හොඳ වර්ගයේ සත්තුන්ට ඕනෑම නිවෙසක සැලකිල්ල වගේම හොඳ කෑම වර්ග ලැබෙනවා. ඒත් දඩාවතේ යන සත්තුන්ට අනුකම්පාව අඩුයි කියලා. ඉතින් පාරවල් අයිනේ තුවාල වෙලා අසරණව හිටපු සත්තු තමයි අද අපේ ගෙදර ඉන්නේ. පාරේ තුවාලවෙලා හිටපු සමහර සත්තු පුද්ගලික රෝහල්වලින් ලොකු ගාණක් දීලා සනීප කර‌ෙගන තමයි අපි අරන් ඇවිත් එයාලව ආදරයෙන් රැක බලා ගන්නේ.

කොහොමද සුජීවට

හොඳට කෑම - බීම

හදන්න පුළුවන්ද...

ඒ ප්‍රශ්නය අජිත්ට

එයා මඩකළපුවේ. මම මාතර දික්වැල්ලේ. දමිළ විදියට කෑම වර්ග වගේම දකුණේ හදන මාළු ඇඹුල්තියල් වුණත් රසට හැදීමේ හැකියාව ඇයට තියෙනවා. මම තරු පහේ හෝටලයකින් කෑම කාලා ආවත් ගෙදර ඇවිත් එයාගේ අතින් මොනවා හරි හදාගෙන කනවා. එතකොට තමයි මගේ බඩ පිරෙන්නේ. පිට්ටු වගේ දේවල් එයාට ක්ෂණිකව හදන්න පුළුවන්.

මොනවද අජිත් ඉදිරි සැලසුම්...

මගේ සකුරා රේන්ජ් බෑන්ඩ් එක පටන් අරන් දැන් අවුරුදු 28ක් වෙනවා. සුජීවයි රෝස් දුවයි බෑන්ඩ් එකේ සින්දු කියනවා. ලොකු දුව අංජලී ගොඩක් සංදර්ශනවල ඩ්‍රම්ස් වාදනය කරනවා. මේ කාලය තුළ මම කැපවීමෙන් මුදල් නාස්ති නොකර වැඩ කරපු හින්දා තමයි අදටත් අපි කාලා බීලා ඇඳලා ඉන්නේ. මම දැනට ගීත 1200ක් ගායනා කරලා තියෙනවා. සීඩී තැටි 58ක් එළියට දාලා තියෙනවා. ඒක ලංකාවේ රෙකෝඩ් එකක්. ඕනෑම ජීවිතයක පසුබැස්මට මූලික හේතුව තමයි තණ්හාව. ගීත 2000 ක් කියන්න ඕනි කියලා මට තණ්හාවක් ඇති වුණොත් ඒක තමයි මගේ විනාශය. සංගීතය කියන්නේ දේව හාස්කමකින් පෙර පිනකට මට ලැබුණු දෙයක්. අසාමාන්‍ය මුදල් අය කිරීම් මගේ සංගීත දිවියේ නැහැ. ගොඩක් අය ඒ දේවල් කරපු හින්දා තමයි සංගීත ශිල්පීන්ට කප්පාදුවක් ඇති වුණේ. ඒ මම දකින විදිහ. සමහර ප්‍රසංගවලදී වේදිකාවට ගල්මුල් ගහලා ලේ වැගිරීම් පවා සිද්ධ වුණා. ඒක සංගීත ශිල්පීන්ට දුන්න පෙර නිමිත්තක්. අද දවසේ සරස්වතී මෑණියෝ ගිහිල්ලා කාලි මෑණියෝ ඇවිල්ල ඉන්නේ. ප්‍රසංග කලාව නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වෙන දිනයක් පිළිබඳව අපට තවම පැහැදිලි එළියක් නැහැ. ඒ දවස එනකම් නිහඬව බලාගෙන ඉන්නවා මිසක් අපිට වෙන විකල්පයක් නැහැ.
gossip lanka