gossip lanka

සුපිරි මානව යුගයකට චීනයෙන් සුපිරි බැක්ටීරියාවක්

භෞතික කාර්යක්ෂමතාව 70%කින් වර්ධනය කළ හැකි විද්‍යුතය ආහාර කොටගන්නා සුපිරි බැක්ටීරියාවක් සාර්ථකව ව්‍යුත්පන්න කිරීමට තමන්ට හැකි වූ බව, කාර්මික ජෛව තාක්ෂණවේදය පිළිබඳ ටියාන්ජින් අධ්‍යයන ආයතනයේ චීන විද්‍යාඥ කණ්ඩායමක් නිවේදනය කර ඇතැයි වාර්තා වේ. බීජාණුවක DNA සැකැස්ම සංස්කරණය කිරීම මඟින්, ඉලෙක්ට්‍රෝන ආහාරයට ගනු ලබන මෙම විස්මිත නිර්මාණය බිහි කිරීමට හැකි වූ බව හෙළි කරන එකී විද්‍යා පර්යේෂක කණ්ඩායම, අනාගතයේ සුපිරි මානව වර්ගයක් බිහි කිරීමේ කාර්යය සඳහා මෙම නව බැක්ටීරියාව යොදාගත හැකි වනු ඇතැයි ද විශ්වාසය පළ කරති.
මෙම සොයාගැනීම පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් Biochemical Engineering Journal නමැති ජෛව රසායනික ඉන්ජිනේරු ප්‍රකාශනයේ පළ කළ එම පර්යේෂණ කණ්ඩායම, Shewanella oneidensis ලෙස නම් කර ඇති මෙම සුපිරි බැක්ටීරියාව නිර්මාණය කළ ආකාරය එමඟින් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. මේ සඳහා ඔවුන් මූලික වශයෙන් යොදාගනු ලැබ ඇත්තේ, E coli නමැති අන්ත්‍රගත (සත්ත්ව බඩවැල්වල වෙසෙන) ජීවාණුවය. එම ජීවාණුවේ DNA අණුවකට ආගන්තුක ජානයක් බද්ධ කිරීමෙන් නව බැක්ටීරියාව ජනිත වූ බව ඔවුහු පවසති. ඔවුන් එක් කළ ආගන්තුක ජානය නිසා, සන්තතික ඉලෙක්ට්‍රෝන ධාරාවක් ජනනය කිරීමට සහ එම විදුලි ධාරාව ශක්තිය බවට පත් කිරීමට උපකාරී වන ප්‍රෝටීනයක් ජනනය කිරීමේ හැකියාව නවෝත්පාදක බැක්ටීරියාවට අත් වී ඇත. සෛල තුළට හා පිටතට ඉලෙක්ට්‍රෝන චලනය කිරීමේ හැකියාව මෙම ප්‍රෝටීනය සතුව ඇතැයි කියනු ලැබේ.

Shewanella oneidensis සෛලයක ඇති විද්‍යුත් වශයෙන් සක්‍රිය DNA අණුව ඉන් ඉවත් කරගෙන, ඉන් පසු වෙනත් ඕනෑම ජෛව සෛලයකට බද්ධ කළ හැකි බවත්, එවිට වටපිටාවේ නිදහසේ සැරිසරන ඉලෙක්ට්‍රෝන උරාගැනීමේ හැකියාව නව සෛලයට ලැබෙන බවත් පවසන ටියාන්ජින් පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධාන විද්‍යාඥ මහාචාර්ය බයි චැන්ඝාවෝ, ඒ අනුව මිනිස් සෛල තුළට මෙම අණුව බද්ධ කිරීමෙන් අනාගතයේදී සුපිරි මානව කොට්ඨාසයක් බිහි කිරීමට හැකි වනු ඇති බවටද මතයක් පළ කර ඇත. එසේම පිළිකා වැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී මෙම විද්‍යුත් සංවේදී සෛල තාක්ෂණය ඉවහල් වනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාන විද්‍යාව සහ ජීව විද්‍යා සංවර්ධන විද්‍යායතනයේ මහාචාර්ය ගුවෝ වෙයිෂියෑං මෙසේ පවසා ඇත. “ටියාන්ජින් පර්යේෂණ කණ්ඩායමේ සොයාගැනීම තවදුරටත් විද්‍යානුකූල පරීක්ෂණයන්ට භාජනය කළ යුතුයි. තනි සෛලයක් මත සාර්ථක වුවත් සෛල සංකීර්ණයක් සහිත ඉන්ද්‍රියයක් සඳහා එහි ක්‍රියාකාරිත්වය කෙබඳු වේදැයි තවමත් නිශ්චිතව කිව නොහැකියි.”
gossip lanka