gossip lanka

දැන් දූලාම දෙන්නෙක්ගේ තාත්තා... රටේ වෙන දේ එක්ක අපට තීරණය කරන්න වෙනවා - රජිත හිරාන්

මොකද මේ රටින් පිටවෙලා?

තවමත් අපට රටක් තියෙන බව පෙනෙනවා. ඒ නිසා අපේ රටවත්, සිංහල සිනමාවත් දාලා දැන්ම නම් ලංකාවෙන් යන්නෙ නැහැ. කොහෙ හිටියත් ලංකාවෙ සිනමාවේ රඟපානවා.


 ඇත්තටම ඇයි ඉතාලියට ගියේ?

මාස දෙක තුනක වගේ කාලයකට ආවේ. ඉතාලියේ ජනප‍්‍රිය ගායන තරුවක් වන රාමසොසී ඊරෝස් නමැති ගායකයාගේ ශබ්දාගාරයේ (ස්ටුඩියෝවේ) වැඩ කරන්නෙ සුනිල් ජයමහ අයියා. සුනිල් අයියා මගේ හොඳම යාළුවෙක්. එයාගෙ විවාහ දිවියේ සංවත්සර උත්සවයක් මෙහේ සූදානම් කරලා තිබුණා. මම ආවේ ඒ වෙනුවෙන්. ඒ අතරවාරයේදී පසුගියදා ලංකාවේ සිදුවූ පාස්කු ප‍්‍රහාරය නිසා ඉතාලියේ පැවැත්වීමට නියමිතව තිබූ සිංහල අවුරුදු උත්සව කල් ගිහින් තිබුණෙ. දැන් ඒ උත්සව නැවත පැවැත්වෙනවා. ඉතින් ඒවාටත් දායක වෙන්න තියෙනවා. තවත් ප‍්‍රසංගවලටත් ආරාධනා ලැබිලා තියෙන්නෙ.

ගෝරි චිත‍්‍රපටයේ චරිතය?

පොලිස් කොස්තාපල්වරයෙක්. ඒකෙත් රඟපාන්නෙ යාළුවාගේ චරිතයක්. අලූතින් සිනමාවට ආ කැළුම් ආර්යයන්ගෙ යාළුවා ලෙස රඟපාන්නෙ. ප‍්‍රවීනයින් වන ශ‍්‍රියන්ත, පුබුදු, රොෂාන් රණවන, අනුජ් ඇතුළු පිරිසක් එහි රඟපානවා. හර්ෂ උඩකන්දගෙ අධ්‍යක්ෂණයක්. එය නිෂ්පාදනය කළේ නිශාන්ත රණසිංහ. ඊට අමතරව ප‍්‍රීතිරාජ් මහතාගේ තිත්ත ඇත්ත චිත‍්‍රපටයෙත් රඟපානවා. බෝම්බ ප‍්‍රහාර නිසා සිනමා ශාලාවලට පසුගිය දිනවල පේ‍්‍රක්ෂකයින් ආවේ නැහැ. ඒත් දැන් නැවතත් එන්න පටන්ගෙන බව පෙනෙනවා. ඒක ඉතා හොඳ දෙයක්. මිනිස්සු සිනමාවට ආදරෙයි.

 කොහොමද පුද්ගලික ජීවිතේ තොරතුරු?

දැන් දූලාම දෙන්නෙක්ගෙ තාත්තා. ලොකු දුව ඇමැන්ඩාට අවුරුදු 10 යි. පොඩි දුව අරියානාට අවුරුද්දයි මාස 8 යි. පහුගිය කාලයේ බිරිඳගෙ අම්මා මියගියා. ඉතින් අපි හිටියෙ දුකින්. මගේ බිරිඳ රැකියාවට යන නිසා අපට අපේ අම්මා උදව් කරනවා. ගෙදර ඉන්නකොට මාත් වැඩ බෙදාගෙන කරනවා. ඒත් දැන් මෙහේ ඇවිල්ලා ඉන්න නිසා එයාලාට දුකක්.

 ඉතාලියෙ දිගටම ඉන්නද කල්පනාව?

කියන්න බැහැ ඉතින්. රටේ වෙන දේ එක්ක අපට තීරණය කරන්න වෙනවා. මේ සංචාරය මට ටිකක් වෙනස් සංචාරයක්. මොකද වෙනත් වතාවලදී ප‍්‍රසංගවලට එන්නෙ කණ්ඩායමක් විදියටයි. ඒත් මේ පාර මම තනියම ආවේ. ඉදිරියෙ වෙන දේ ගැන මම ඉදිරියේදී කියන්නම්.

 රජිත වෘත්තිය රඟපෑම විතරද?

රඟපෑම ප‍්‍රධාන වෘත්තිය. ඒ අතරේ නිවේදන කටයුතුත් කරනවා. අන්තිමට සිංදු කියන්නත් ආරාධනා ආවා. දැන් සිංදු කීම ප‍්‍රධාන වෘත්තිය වෙලා. විශේෂයෙන්ම විදෙස් රටවල පැවැත්වෙන ප‍්‍රසංගවලට නිතරම වගේ ආරාධනා ලැබෙනවා. ඒත් පසුගියදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව අපේ රටේ ප‍්‍රසංග නතර වෙලා තියෙන්නෙ. ඒ නිසා දැන් මට මගේ දරු පවුල ගැන හිතලා තීරණයක් ගන්න වෙලා තියෙන්නෙ.
gossip lanka