1975 පටන්ගත්තු, ලංකාවේ කුඩු ගැහිල්ලේ ඇත්ත කතාව මෙන්න

ශ්‍රී ලංකාව කුඩු පුරයක් වීගෙන එන නමුත් එය කෙසේ සිදුවිද යන්න අදවන විට අමතකව ගොස් තිබේ. මේ ලිපිපෙළ මගින් සිදුවන්නේ ඒ කතාව යළි මෙනෙහි කිරීමකි.
ඒඞ්ස් රෝගියකු මුල්වරට ලංකාවෙන් හමුවන්නේ 1986 අවුරුද්දේ සැප්තැම්බරයේදීය. ඔහු නිවාඩුවක් ගතකිරීම සඳහා යුරෝපීය රටකින් මෙහි පැමිණ සිටි සුදු ජාතිකයෙකි. රත්නපුරයේ හෝටලයක ඔහු ලැගුම් ගත්තේය. ලංකාවට ආදා පටන්ම ඔහුට නිතරම උණ ගත්තේය. දිනක් අධික උණ නිසා ඔහු භයානක ලෙස වෙව්ලූවේය.

වහාම කොළඹට ගෙනෙනු ලැබූ රෝගියා මහ රෝහලට ඇතුළත් කරන ලදී. එහිදී ඔහුගේ රුධිරයේ AIDS වෛරසය ඇති බව සොයා ගන්නා ලදී. දිගින් දිගටම තොරතුරු සොයන විට දැනගන්නට ලැබුණේ ඔහු සමරිසියකු බවය. මේ සිද්ධිය රත්නපුරය ආශ‍්‍රිතව වූ බැවින් ප‍්‍රදේශවාසී ධනවත් මැණික් මුදලාලි කෙනකුගේ පුතකුට ඒඞ්ස් වැළඳී ඇති බව ප‍්‍රචාරය විය. 1988 වන විට මේ රටේ සිටි ඒඞ්ස් රෝගීන් ගණන 120 කි. ඉන් 20 ක් විදේශිකයෝය. සෙස්ස මේ රටේම ඉපිද මෙහිම හැදුණු තරුණ තරුණියන්ය.
ඒඞ්ස් ඇතුළු සමාජ රෝග පැතිර යෑමට මත්ද්‍රව්‍ය භාවිතය ප‍්‍රමුඛ හේතුවකි. හෙරොයින්වලට ඇබ්බැහිවූ ලංකාවේ පළමුවන කුඩුකාරයා 1982 දවසක කොළඹ මහ රෝහලට ඇතුළත් කරන ලදී. ඔහුට කුඩු ලැබී තිබුණේ විදේශිකයකුගෙනි. එම සිද්ධියෙන් දෙදිනකට පසු තවත් කුඩු ලෝලියෙක් කොළඹ මහ රෝහලට ඇතුළත් කෙරිණි.
එතැන් සිට ගතවූ අවුරුද්ද තුළ එම රෝහලට ඇතුළත් කෙරුණු කුඞ්ඩන් ගණන 92 ක් දක්වා ඉහළ ගියේය. මේ අයගෙන් 50% කට කුඩු ලැබී තිබුණේ කෙළින්ම විදේශිකයන් වෙතිනි. ඉතිරි අයට කුඩු ලැබුණේ විදේශිකයන් සමග ගනුදෙනු කළ ස්වදේශිකයන් වෙතිනි.
1982 වන විට, ලංකාවට පිටරටවලින් කෙළින්ම කුඩු ගෙන්වන ජාවාරම්කාරයන් සිටියේ නැත. පිටරටවලින් පැමිණි සංචාරකයන් ලෙස මෙහි එන අය සමග මිතුරුවී මුදලට හෝ ඔවුනට වෙනත් ලිංගික පහසුකම් සැපයීමෙන් හෝ කුඩු ලබා ගැනීමට තරුණයෝ පුරුදුව සිටියහ.
1984 වන විට මේ රටේ කුඩු කාරයකුගේ දෛනික කුඩු පරිහරණයේ සාමාන්‍යය මිලිග‍්‍රෑම් 390 කි. කල්යත්ම ඔවුන්ගේ කුඩු පරිභෝජනයද කුඩු ගසන්නන්ගේ ප‍්‍රමාණය ද වර්ධනය විය. මේ නිසා කෙළින්ම ලංකාවට කුඩු ගෙන්වීමේ අවශ්‍යතාව ඇතිවිය. වෙලේ සුදා සහ මාකඳුරේ මධුෂ් දක්වා වූ කුඩු ජාවාරම්කාර පරම්පරාවක් මේ රටේ බිහිවන්නේ ශ‍්‍රී ලංකාව දකුණු ආසියානු කුඩු නිෂ්කාශන මධ්‍යස්ථානයක් බවට පත් වන්නෙත් මෙහි ප‍්‍රතිඵලයක් ලෙසය.
පසුගිය අවුරුද්දේ ජුලි මාසයේ 8 වැනිදා කළුබෝවිල සහ බත්තරමුල්ල යන ප‍්‍රදේශවලදී රුපියල් බිලියන 1.2 ක් වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය. මේ කුඩු තොගයේ බර කිලෝ ග‍්‍රෑම් 104 කි. මෙය ඒ දක්වා මෙරට කිසියම් තැනකදී අත්අඩංගුවට ගන්නා ලද විශාලතම කුඩු තොගය ය.
මෙයට මාස තුනකට පෙර ලංකාව දකුණු මුහුදු තීරය හරහා යාත‍්‍රා කරමින් තිබූ යාත‍්‍රාවක් තුළ තිබී හෙරොයින් කිලෝග‍්‍රෑම් 100 ක් අත්අඩංගුවට ගැනීමට ද නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකට හැකි විය. මෙයින් අලූත් යථාර්ථයක් පහළ විය. එනම්, ශ‍්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ මත්ද්‍රව්‍ය ප‍්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙන බවය.
කොකේන්, හෂීස්, LSD හෙරොයින් යන මත්ද්‍රව්‍ය මුල්වරට ශ‍්‍රී ලංකාවට එන්නේ 1975 න් පසු ආරම්භ වූ විදේශ රැකියා කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය හරහාය. එකල යුරෝපයෙන් සහ ඇමෙරිකාවෙන් මෙහි පැමිණි ලංකාවේ තරුණයන්ට පෙරකී මත්ද්‍රව්‍ය ලබාදී ඒ වෙනුවට ඔවුන්ගෙන් ගංජා සුරුට්ටු ලබා ගෙන උරන්නට වූහ.
හෂීස් යනු ගංජා ගසේ කිරිවලින් සාදන මත් ද්‍රව්‍යයකි. ගංජා සුරුට්ටුවකින් ලැබෙන මත් බලය මෙන් සිය ගුණයක මත් බලයක් හෂීස් ඩිංගිත්තක තිබිණ. 1975 දී කොකේන් LSD සහ හෙරොයින්වලට මේ රට තුළ කිසිදු මාකට් එකක් තිබුණේ නැත. කවුරුවත් ඒ ගැන නොදත්හ. එහෙත් විදේශිකයන් විසින් මෙරටට පුරුදු කරන ලද කල්හි ඒවා සැනෙකින් ජනපි‍්‍රය විය. තවදුරටත් ගංජා සුරුට්ටු උරන්නට උවමනාවක් මත්ලෝලීන් තුළ නොවූ අතර ලංකාවේ මුහුදු වෙරළවල ඇවිදින විදේශිකයන් පසුපස යමින් කොකේන් සහ හෙරොයින් ඉල්ලා සිටීමටත් ඒ වෙනුවෙන් මුදල් හෝ ලිංගික වන්දි ගෙවීමටත් මෙරට තරුණයෝ පුරුදු වූහ. ලිංගික වන්දි හේතුවෙන් ඒඞ්ස් පැතිර යන්නට පටන් ගත්තේය. වරක් ලංකාවට එන කාමභෝගි විදේශිකයෝ මෙහි වෙසෙන තරුණ පරම්පරාවේ මත්ද්‍රව්‍ය අවශ්‍යතාව දැනගෙන ඊළඟ වාරයේදී කුඩු කිලෝවක් රැගෙන මෙහි ආහ. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල අග භාගයේදී හෙරොයින් හෝ කොකේන් හඳුනා ගැනීමේ නිසි තාක්‍ෂණයක් මෙරට ගුවන් තොටුපළවල හෝ වරායවල තිබුණේ නැත. එබැවින් ඒ බඩු ඉතාමත් නිදහසේ ලංකාවට ගෙනෙනු ලැබීය.
ශ‍්‍රී ලංකාවේ තරුණ පරම්පරාවේ මත්ද්‍රව්‍ය අවශ්‍යතාව මුල්වරට හඳුනාගත් පුද්ගලයා වූ කලී කරුප්පයියා වාප්පු බාලන් හෙවත් තෙල් බාලා විය. 1957 දී උපන් ඔහු සිය ජීවිතය 1974 දී පටන් ගත්තේ පොල් තෙල් වෙළෙන්දකු ලෙසය. එවිට ඔහුගේ වයස අවුරුදු 17 කි. කුඩා කරත්තයක පොල්තෙල් බුලියක් පටවා ගත් බාලන් ගෙයක් ගෙයක් ගාණේ ගොස් තෙල් වික්කේය. මේ කියන කාලයේදී ශ‍්‍රී ලංකාව ගැමි රාජ්‍යයකි. බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ ආණ්ඩුව ජේ. ආර්. ජයවර්ධනට භාරදී අලූත් යූ. එන්. පී. ආණ්ඩුවක් බලයට පත්වී තිබිණ. විවෘත ආර්ථිකය ගැන කතා බහක් ඇතිවූ නමුත් රටේ ආර්ථික ප‍්‍රතිපත්ති වැඩි වශයෙන් වෙනස්ව තිබුණේ නැත. කොළඹ තවමත් පරණ කොළඹ විය. CTB බස් මිස ප‍්‍රයිවට් බස් මහ පාරේ නොවීය.
සිල්ලර කඩ මිස සුපර් මාකට් රට තුළ නොවීය. CTB බස්, දුම්රිය, මොරිස් මයිනර්, ඔස්ටින්, කේම්බි‍්‍රජ් කාර්, වොක්ස්වැගන් වැනි EN, 1 ශ‍්‍රී, 2 ශ‍්‍රී, 3 ශ‍්‍රී, 4 ශ‍්‍රී, 5 ශ‍්‍රී අංක තහඩු සහිත වාහන මගින් ප‍්‍රවාහනය සිදුකරන ලදී. 6 ශ‍්‍රී සහ 7 ශ‍්‍රී කාර් අලූත් කාර් ලෙස සලකන ලද අතර ඒවා පරිහරණය කළෝ මන්ත‍්‍රීවරු ඇමැතිවරු සහ අගමැති පමණි. මේ අනුව එවැනි වාහන 200 කට වඩා රට තුළ තිබුණේ නැත. ජේ. ආර්. ජයවර්ධන ඒ වනවිටත් අගමැති පමණක් වූ අතර රටේ ජනාධිපති ලෙස විලියම් ගොපල්ලව කටයුතු කළේය.
රට තුළ තිබුණේ එකම එක ගුවන් විදුලි ආයතනයක් පමණි. ඒ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවය. රූපවාහිනී තිබුණේම නැත. එකල ඇමෙරිකන් ඩොලරයක් රුපියල් 15.19 කි. (අද රුපියල් 188 කි.)
වාප්පු බාලන් සිය තෙල් කරත්තය තල්ලූ කරමින් ව්‍යාපාරික ජීවිතය පටන් ගත් වකවානුවේදී තිබූ සමාජ ආර්ථික පරිසරය එසේය. මේ කියන කාලයේදී පොල් තෙල් බෝතලයක මිල සත 80 කට වැඩි නොවීය. සීනි රාත්තලක් සත 72 ක් වූ බැවින්ද, චීත්ත යාරයක් රුපියල් 2.12 ක් වූ බැවින්ද පාන් රාත්තලක් සත 35 ක්වූ බැවින්ද එකල නාගරික ජන ජීවිතය පවා සරල විය.
එකී සරල ජන ජීවිතය තුළ සංකීර්ණ වූ තරුණ කොටස් කිහිපයක් ජීවත් වූහ. ඉන් පළමු කොටස බේබද්දෝය. දෙවැනි පිරිස ගංජා කාරයෝය. තුන්වැනි කණ්ඩායම ඉතා කුඩා පිරිසක් වූ කුඞ්ඩෝය.
අරක්කු, ගංජා යන දෙකටම වඩා මිල වැඩි මත්ද්‍රව්‍යය අද මෙන්ම එදත් ‘කුඩු’ ය. එය සලකා බැලූ තෙල් බාලා කුඩු ව්‍යාපාරයට ඇතුළත් වීම කෙරෙහි නිතර අවධානයෙන් පසුවිය. ඔහු මීට ඇතුළු වන්නේ එවකටත් හෙරොයින් සහ කොකේන් කුඩා තොග අලෙවි කළ හෝල් සේල් වෙළෙඳන්ගෙන් කුඩු මිලට ගෙන ඒවා ඇස්පිරින් කුඩු, පැරසිටමෝල් කුඩු හෝ හුණු කුඩු සමග මිශ‍්‍රකර adultavate කර විකිණීමකි.
ස්වල්ප කලකට පසු මේ වෙළෙඳාම වඩාත් පුළුල් ලෙස කළ හැකි ක‍්‍රමයක් ගැන ඔහුට සිතක් පහළ විය. ඒ වූකලී ලංකාවට කුඩු ගෙන්වීමය. ඒ අනුව 1985 දී තමිල්නාඩුවට ගිය තෙල් බාලා පළමු කුඩු තොගය ලංකාවට ගෙනා බව කියනු ලැබේ. එය කිලෝ 2 කට සීමාවිය. වෙනත් ද්‍රව්‍ය සමග මිශ‍්‍ර කිරීමෙන් කුඩු කිලෝ 2 දෙගුණයක් කර ගැනීමට හැකිය.
මේ කාලයේදී තමිල්නාඩුවේ හෙරොයින් කිලෝවක් රුපියල් ලක්‍ෂ 10 කි. මේ වනවිට තෙල් බාලා දාමරික කණ්ඩායමක් හදාගෙන සිටියේය.
එහි සාමාජිකයෝ සුධාකරන් සහ කි‍්‍රස්ටෝපර්ය. මේ අයගේ උදව්වට මොහොමඞ් නිසාම් නවුෆර් නමැති කොලූ ගැටයෙක්ද විය. ස්වල්ප කලකට පසු කිඹුලාඇළේ ගුණා සහ කොච්චිකඬේ ගතී යන දාමරිකයන් දෙදෙනාද එම කල්ලියට එකතු වූහ. මොහොමඞ් නිසාම් නවුෆර් පසු කාලයේදී පොට්ට නවුෆර් බවට පත්විය.
කිඹුලා ඇළේ ගුණා ඉන්දියාවට පැන
ගියේය. සුදාකරන් සහ කොච්චිකඬේ ගතී මරණයට පත්වූහ. ප‍්‍රකෝටිපති කුඩු ව්‍යාපාරිකයකු බවට පත්වූ තෙල් බාලා කුඩු කිලෝ 35 ක් මෙරටට ආනයනය කිරීමේ චෝදනාවෙන් බේරීමටත් තම දාමරික කල්ලිය සමග ගැටෙමින් සිටි පාතාල කල්ලියකින් පණබේරා ගැනීමටත් ඉන්දියාවට පලාගොස් දහ අවුරුද්දකට පසුව, වකුගඩු රෝගයකින් එහිදීම මළේය. 2017 පෙබරවාරි 28 වැනිදා රාත‍්‍රියේදී ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ UL126 ගුවන් යානයෙන් ඔහුගේ සිරුර ලංකාවට ගෙනෙන ලදී. 2017 මාර්තු 02 වැනිදා තෙල් බාලාගේ අවසන් කටයුතු මාදම්පිටියේ සුසාන භූමියේදී සිදුකෙරෙන විට ඔහුගේ වෛර්ණ පින්තූරයක් රැගත් විශාල ප‍්‍රමාණයේ අවමංගල දැන්වීම් ලක්‍ෂයක් කොළඹ නගරය සහ සුසාන භූමිය අවට අලවා තිබිණ.
ලංකාවට කුඩු එන්නේ කොහෙන්ද? මේ ප‍්‍රශ්නයට පිළිතුරු සැපයීමට පෙර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ ව්‍යුහය පිරික්සිය යුතුය. නූතන හෙරොයින් සහ කොකේන් ජාවාරම්වල ප‍්‍රධාන තොග වෙළෙඳුන් දෙදෙනා වූයේ කොළොම්බියාවේ පැබ්ලෝ එස්කොබාර් සහ ඉන්දියාවේ ඩාවුඞ් ඊබ‍්‍රහිම්ය.
කොළොම්බියාවේ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් 1993 දී එස්කොබාර් ඝාතනය කරන ලදී.
ඩාවුඞ් ඊබ‍්‍රාහිම් 2015 දී පාකිස්තානයට පලාගොස් එහි සැඟවී අතුරුදන් විය. ඔහුගේ දියණිය විවාහ වූයේ සුප‍්‍රකට පකිස්තාන් කි‍්‍රකට් ක‍්‍රීඩකයකු වූ ජාවෙඞ් මියන්ඩාඞ්ගේ පුත‍්‍රයා සමගය. 2006 දී සිදුවූ එම විවාහයේදී ඊබ‍්‍රාහිම් සිය දියණියගේ බරට රත්තරන් තොගයක් සිය බෑණාට වූ ජුනයිඞ් මියන්ඩාඞ්ට තෑගි කළේය.

යුගන්ති යශෝධරා