තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ - රයන්ගේ දුව නතාලි කතා කරයි

ඔබ රයන්ගේ කවුද?
මම රයන්ගේ එකම දුව නතාලි වැන්රෝයන්
පවුලේ අනෙක් අයගේ විස්තර කියමු?
තාත්තයි, අම්මයි, මමයි, මල්ලියි තමයි පවුලේ ඉන්නේ. මල්ලි තාම පාසල් යනවා.
ඔබ රැකියාවක් කරනවාද?
ඔව්. මම රැකියාවක් කරනවා.
ඔබේ පියා රයන් ඩුබායිවලදී අත්අඩංගුවට පත්වෙලා. මොකක්ද මේ ඔබේ පියා ගිය ගමන?
සාමාන්‍යයෙන් ෂෝ එකකට ආරාධනා ලැබුණම මුලින්ම අහනවා එයාලගේ බජට් එක කීයද කියලා. එයාලත් බජට් එකට එකඟ වුණාම ඒ ආරාධනා කරන අය කියනවා 'අපි ඔයාලට ටිකට් එවන්නම්, ස්පොන්සර් (අනුග්‍රහය) කරන්නම් කියලා. සංවිධායකවරයෙක් තමයි ඒ අදාළ දේවල්වලට ස්පොන්සර් කරන්නේ. Event එකේ ප්‍රධාන අනුග්‍රාහකයා කවුද? ඒක කරන කෙනා කවුද කියලා ආටිස්ට් දන්නේ නෑ. මගේ තාත්තා ගියෙත් ෂෝ එකකට යනවා කියලා.
තාත්තා මීට කලිනුත් පිටරට ෂෝවලට ගියා. මේ එයාගේ පළමුවැනි ෂෝ එක නෙවෙයි.
ඒත් කලාකරුවෙක් විදියට තමන් සම්බන්ධ වන ප්‍රසංගය සංවිධානය කරන අයවත් දැනගන්නේ නැතිව ඒ දේවල්වලට යන්නේ නෑ නේද?
කලාකරුවෝ කතා කරන්නේ ඡ්මඥදබ එක සම්බන්ධීකරණය කරන කෙනා එක්ක විතරයිනේ.
එහෙනම් එය සංවිධානය කළ කෙනා කවුද කියලා හරි දැනගෙන ඉන්න ඇතිනේද?
ඊට පස්සේ අපිට ඒ Event එක සම්බන්ධීකරණය කළ කෙනා (Coordinator) කතා කළා. එයා කිව්වා තාත්තා සම්බන්ධ වුණ Event එක සම්බන්ධීකරණය කළේ ඔහු කියලා. මම ඔහුට කිව්වා තාත්තාට දැන් අවශ්‍ය දේවල් සපයන්න කියලා
. 
මෙදා සැරේ ඩුබායි යන ගමන ගැන විස්තර පියා ඔබලාට කියලද ගියේ?
ගොඩක් වෙලාවට අපි තාත්තිගෙන් අහන්නේ නැහැ. මොකද්ද ෂෝ එක. කවුද ඒක කරන්නේ කියලා. එයා අපිට වෙනදා වගේම කියලා ගියේ ඩුබායිවල ෂෝ එකකට යනවා කියලා විතරයි.
ඔබේ පියා රංගන ශිල්පියෙක්. ඔහු ෂෝවලට සම්බන්ධ වෙන්නේ මොන වගේ නියෝජනයකටද?
ගායනය සඳහා තමයි තාත්තා ෂෝවලට යන්නේ.
තාත්තා (රයන්) ලංකාවෙන් පිටත් වුණේ කවද්ද?
තාත්තා හරියටම ලංකාවෙන් පිටත් වුණේ කවදද කියලා මම දන්නේ නැහැ. මොකද මම රැකියාවක් කරන නිසා මට තාත්තාව අන්තිමට හමුවුණේ පසුගිය 3 වැනිදා පාන්දර.
තාත්තා ඩුබායි ගියාට පස්සේ ඔයාලට කතා කළාද?
තාත්තා ඩුබායි ගියාට පස්සේ 7 වැනිදා වෙනකල් අපිට කිසිම ආරංචියක් ලැබුණේ නැහැ.
තාත්තා අත්අඩංගුවට අරගෙන කියලා අපිත් දැනගත්තේ ගොසිප් සයිට්වලින්.
ඔබේ පියා අත්අඩංගුවට පත්වී තිබෙන්නේ පාතාල නායකයෙක් වන මධුෂ් සංවිධානය කළ උපන් දින සාදයකදී. තාත්තගේ යාළු මිත්‍ර ආශ්‍රය කොයි වගේද?
කලාකරුවෙක් වුණාම තරාතිරම බලලා යාළුවෝ ආශ්‍රය කරන්න ගියා නම් ඒ කෙනාට කවදාවත් ජනප්‍රියත්වයක් ලබාගන්න බැහැ. අපේ තාත්තා දන්නෙත් නැහැ ඔය කියන කෙනා කවුද කියලා. එයා දන්නේ නැතිව ෂෝ එකට ගිහින් තියෙන්නේ.
අත්අඩංගුවට පත් වුණාට පස්සේ පියා ඔයාලාට දුරකථනයෙන් කතා කළාද?
තාත්තා අපිට පසුගිය 7 වැනිදා කතා කළා. තාත්තා කිව්වා ඒ කෙනා කවුද කියලා දන්නේ නැති නිසා තමයි ෂෝ එකට ආවේ කියලා. ෂෝ එක ඒ වගේ කෙනෙක්ගේ ෂෝ එකක් කියලා දැනගෙන හිටියා නම් තාත්තා ඒ ෂෝ එක භාර ගන්නේ නෑ කියලත් කිව්වා. 12 වැනිදාත් කතා කළා. ඩුබායි හිරගෙදර ඉන්න කෙනකුට මම හිතන විදියට දවසට එක දුරකථන ඇමතුමක් හරි පවුලේ අයට කතා කරන්න ලබාදෙනවා. තාත්තා කතා කළ ගමන් අහන්නේ අපි මෙහේ හොඳින් ඉන්නවාද කියලා. එයාට අපි නැතිව පාළුයි කිව්වා. කතා කරන්න ලැබෙන පුංචි වෙලාවේ අම්මයි, මමයි, මල්ලියි තුන්දෙනාම කතා කරනවා. එයාට හැම තිස්සෙම ඕනේ අපි හොඳින් ඉන්නවාද කියලා දැනගන්න. තාත්තා ඒ රටේ තනිවෙලා. අපිට මෙහේ කවුරු හරි ඉන්නවා.
දැන් තාත්තාගේ තත්ත්වය කොහොමද කියලා කිව්වද?
තාත්තා මේ ගමන ගිහින් තියෙන්නේ දන්නේ නැතිව. එයා ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. එයාගේ කොණ්ඩේ කපලා කිව්වා. තාත්තා මට කිව්වා එයා හැමදාම රෑට අපිව මතක් වෙලා අඬනවා කියලා. තාත්තා හරි සංවේදී චරිතයක්. ඒක එයාව ආශ්‍රය කරන අය දන්නවා. ඒ නිසා තමයි එයා හැමෝටම උදවු කරගෙන ඉන්නේ.
අමල් සහ නදීමාල්ගේ තත්ත්වය ගැන තාත්තා ඔබට මොනයම් හෝ දෙයක් කිව්වද?
මම තාත්තාගෙන් ඇහුවා එයාලට කොහොමද කියලා. තාත්තා කිව්වා 'කට්ටිය හොඳින් ඉන්නවා' කියලා. එයාලට වැඩි වෙලාවක් කතා කරන්න දෙන්නේ නැහැ. විනාඩි දෙක තුනයි කතා කරන්න දෙන්නේ.
අමල් පෙරේරා එක්ක ඔබේ පියාගේ හැඳුනුම්කම කොයි වගේද?
අමල් අංකල්ව අපි ඉස්සර ඉඳලාම දන්නවා. එයා තාත්තාගේ හොඳම යාළුවෙක්. නදීමාලුත් මගේ සමීපතම යාළුවෙක්. ගොසිප් සයිට්වල පළවෙලා තිබ්බා අමල් අංකල්ව අත්අඩංගුවට අරගෙන කියලා. ඒක දැක්ක ගමන් මම මුලින්ම දුරකථන ඇමතුමක් දුන්නේ නදීමාල්ට.
නදීමාල්ගේ ෆෝන් එක ක්‍රියා විරහිත වෙලා තිබ්බ නිසා නදීමාල්ගේ හොඳම යාළුවෙක් වුණ ශාන්ට මම කතා කළා. එයා තමයි කිව්වේ නදීමාල් ඩුබායි ගියා කියලා. ඊට පස්සේ තමයි නදීමාලුත් ඒ ගමන ගිහින් කියලා දැනගත්තේ. ඊටත් පැය භාගයකට පස්සේ තමයි මම දැන ගත්තේ අපේ තාත්තාත් එයාලා එක්ක ඉඳලා තියෙනවා කියලා.
ඔබේ පියා මේ සිදුවීමට හසුවෙන තුරු බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ.රයන් විවාහ වෙලා හෝ ඔහුට දරුවෝ ඉන්නවා කියලාවත්. ඔබේ පියා ඇයි ඒ දේවල් හැංගුවේ?
මමයි, මල්ලියි කවදාවත් කැමැති වුණේ නැහැ ජනප්‍රියත්වයක් ලබාගන්න. අපි තාත්තාට වෘත්තීය කරගෙන යන්න පවුල් ජීවිතය ඒකෙන් පිටත තියාගන්න කියලා අපි පවුලේ අය කතා කරලා ගත්ත තීරණයක්. පෞද්ගලික ජීවිතය එයාගේ වෘත්තීයමය ජීවිතය එක්ක එකතු කරගන්න එපා කියලා අපි තාත්තාට කිව්වා. අම්මා, මල්ලි, මම කැමැති නැහැ එහෙම ජනප්‍රිය වෙන්න. අන්තිමට තාත්තා වෙනුවෙන් කතා කරන්න කවුරුවත්ම ඉදිරිපත් වුණේ නැහැ. ඒ නිසා එයාගේ එකම දුව විදියට මට තමයි තාත්තා වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙන්න වුණේ. අකැමැත්තෙන් වුණත් මට කතා කරන්න ඉදිරිපත් වෙන්න වුණා.
මම ඒ දේ තාත්තා වෙනුවෙන් කළා. පවුලේ වැඩිමහල් දරුවා විදියට මමනේ තාත්තා නැති වුණාම පවුල බලාගන්න ඉන්නේ. මම දැක්කා ගොසිප් සයිට්වල මටත් ගොඩක් බැනලා තිබ්බා. මගේ චරිතයටත් ඇඟිල්ල දික්කර කර බැනලා තිබ්බා. මට කටවහගෙන ඉන්න කියලා තිබ්බා. මම කටවහගන්නේ නැහැ. මොකද මගේ තාත්තා වැරැද්දක් කරන්නේ නැතිව මගේ තාත්තා වැරැදි කෙනෙක් කියලා ඔප්පු වෙලත් නැතිව මිනිස්සු එයාට ඔය වගේ කතා කරනවා නම් ඒ වෙනුවෙන් කරන්න ඕන සියලුම දේ මම කරනවා.
ඔබේ පියාට යාළු මිත්‍රයෝ හිටියා නම් ඔහු වෙනුවෙන් පෙනී හිටින්න ඉදිරිපත් වෙන අය නැද්ද?
නැහැ. කවුරුත් නැහැ. තාත්තාට කලා ක්‍ෂේත්‍රයේ ගොඩක් යාළුවෝ හිටියා. තාත්තා එයාලට ගොඩක් උදවු කළා. ඒත් තාත්තාට උදවු ඕන වුණාම ඒ කවුරුත් මැදිහත් වෙන්නේ නැති වුණාම තමයි මට මැදිහත් වෙන්න වුණේ. දැන් තනියම තමයි හැමදේම කරන්නේ. මගේ උදව්වට තාත්තාගේ නංගිත් ඉන්නවා.
ඔබේ පියා මුහුණපෑ සිද්ධිය නිසා ඔබේ පවුලේ අයටත් විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙන්න වෙන්න ඇති?
ඔව්. අපි දැන් ගොඩක් ප්‍රශ්න මැද්දේ ඉන්නේ. අපි කුලී නිවෙසක හිටියේ. ඒ නිවෙසත් අයිති අය අපෙන් ඉල්ලලා තියෙනවා. අපිට දැන් හරියට ඉන්න තැනකුත් නැහැ. දැන් අපි ඉන්නේ තාත්තාගේ අම්මලාගේ ගෙදර. ඒ ගෙදරත් කුලියට ඉන්නේ. ඒ ගෙදරත් අයිති අය ඉල්ලලා. මගේ රස්සාවත් මොනව වෙයිද කියලා මම දන්නේ නැහැ. නොදැනුවත්ව මගේ ඡායාරූප විවිධ වෙබ් අඩවිවල පළවෙනවා. එතැනදී අපහසුතාවට පත්වෙන්නේ මම. එක එක පෝස්ට් හදලා අපිටත් මඩ ගහනවා. එතැනදී මම අපහසුතාවට පත්වෙන්නේ. දැන් අපේ තාත්තාගේ සහෝදරයාගේ රැකියාවලටත් බලපෑම් ඇති වෙලා. ලංකාවේ අය හිතාගෙන ඉන්නේ තාත්තා ඔය මත්ද්‍රව්‍යකාරයෝ එක්ක එකතුයි කියලා. තාත්තා මත්ද්‍රව්‍ය විකුණන කෙනෙක් නම් අපි කුලී නිවාසවල ඉන්නවාද? අපි කුලී රථ පාවිච්චියට ගන්නවාද? එහෙනම් අපේම ගෙවල්, වාහන තියෙන්න ඕන. රත්තරන් බඩු පුරවාගෙන ඉන්න ඕන.
ගැහැනු ළමයෙක් විදියට ඔබට මේ එළැඹිලා තියෙන තත්ත්වය දරාගන්න පුළුවන්ද?
තාත්තා හැම ප්‍රශ්නයකටම මුහුණ දෙන්න පුළුවන් විදියට මාව හදපු නිසා තමයි අද මම තනියම මේ හැමදේම කරන්නේ. තාත්තා මට හැමදාම කිව්වේ ඕන දෙයකට පුරුදු වෙන්න. අද මෙහෙම හිටියට හෙට මොනවා වෙයිද දන්නේ නෑ කියලා තාත්තා කිව්වා. මම වැටෙන අවස්ථාවල මාව දිරිගන්වන්නේ තාත්තාගේ නංගි සහ තාත්තාගේ අම්මයි, තාත්තයි තමයි.
එතකොට අම්මා?
අම්මා දැන් ඉන්නේ ගොඩක් මානසිකව වැටිලා. මටත් දැන් උදාවෙලා තියෙන්නේ පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක්. රෑ වෙලා එළිවෙද්දී අම්මට හරි බයයි. මොකද මොන වගේ ප්‍රශ්නයකට මුහුණපාන්න වෙයිද කියලා.
ඔබේ පියා සාමාන්‍ය ජීවිතයේ කොයි වගේ කෙනෙක්ද?
සාමාන්‍ය ජීවිතයේදීත් එයා හරි හොඳ චරිතයක්. ඒත් තාත්තා මටයි, මල්ලියටයි හරි සැරයි. එයා අපිට වැරැද්දක් කරන්න දෙන්නේ නෑ. පොඩි කාලේ ඉඳන් අපිව සැර කරලා හැදුවේ. මට අවුරුදු 18 විතර වෙනකල් සමාජ මාධ්‍යයවත් පාවිච්චි කරන්න දුන්නේ නෑ. අදටත් තාත්තා මට දෙයක් එපා කිව්වොත් ඒ දේ අහනවා. මල්ලිටයි, මටයි හරිම ආදරෙයි. හැමදේම අපිට දුන්නා වගේම අපිව හරියට හැදුවා. එයා අපිව හරියට හැදුවෙ නැත්නම් අපි මානසිකව වැටිලා කිසිම දෙයකට මුහුණ දෙන්න බැරුව ඉන්නේ. ඕන ප්‍රශ්නයක් ආවාම මුහුණ දෙන්න පුළුවන් විදියට එයා අපිව හැදුවේ.
ඔබේ පියා පාවිච්චි කළ වාහනය පොලිස් භාරයට අරගෙන තිබෙනවා. වාහනයෙත් මත්ද්‍රව්‍ය (ගංජා) තිබී හසුවෙලා තිබෙනවා?
තාත්තා වාහනය කොහෙද තියලා ගියේ කියලා අපි දන්නේ නෑ. ඒක අපි දැනගත්තේ නිවුස්වලින්. ඒක තාත්තාගේ වාහනයක් නෙවෙයි. තාත්තා ඒක රෙන්ට් එකට ගත්ත වාහනයක්. ඔය කියන තැන තාත්තා වාහනය තියලා ගිහින් තිබ්බා. වාහනය ඇතුළේ ගංජා තිබිලා හසුවුණා කියලා තිබ්බා. තාත්තා වාහනය තියලා ගියාට පස්සේ වාහනය හසුවුණේ දවස් හතරකට පහකට පස්සේ. වාහනය යතුරක් එක්ක තැනක තියලා ගියා නම් වෙන කවුරු හරි ඒක පාවිච්චි කරන්නත් තිබුණා. තාත්තා ඒ වාහනය අන්තිමට පාවිච්චි කළ කෙනා කියලත් කියන්න බෑනේ.
ඔබේ පියා නිදහස් කරගන්න ඔබේ පවුල පැත්තෙන් මොන වගේ ක්‍රියාමාර්ගද අරගෙන තියෙන්නේ?
මට ලෝයර් කෙනෙක් කතා කරලා කිව්වා එයා තාත්තා වෙනුවෙන් ඩුබායි ගියා කියලා. ඊට අමතරව ලංකාවෙන් ලෑස්ති කළ යුතු සියලු දේ මම මෙහෙන් ලෑස්ති කරනවා මගේ ලෝයර් එක්ක. මම දන්නවා තාත්තා වැරැදි කෙනෙක් නෙවෙයි කියලා. ඒ නිසා මම කවදාවත් තාත්තාට වැටෙන්න දෙන්නේ නැහැ. මිනිසුන්ට තාත්තාට දේවල් කියන්න දෙන්නෙත් නෑ. මිනිස්සු දේවල් කියපුවාවේ. ඒ දේවල් මගේ ඇඟේ ගෑවෙන්නේ නැහැ. හැබැයි මේ වෙලාවෙ මගේ තාත්තාව වට්ටන්නේ නැති වෙන්න ලංකාවෙන් වෙන්න ඕන දේවල් ටික මම ලෑස්ති කරමින් පවතිනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
gossip lanka