විවිධාකාර මානසික අසහනයන්ගෙන් පෙළෙන අයත් ඉන්නවා- මං අපහසුතාවට පත් වූ අවස්ථා ඕනෑ තරම් තියෙනවා - ලෝචනා ඉමාෂි

මට තියෙන්නේ අතිශය සමීප හිතවතුන් පිරිසකට සීමාවුණු Facebook එකක්. ඒ වගේම fanpage එකක්. ඒත් facebook එකේ ලෝචනා ඉමාෂි කියලා සෝදිසි කරද්දී “ලෝචනා ඉමාෂි”ලා මහ ගොඩක් ඉන්නවා. ඒ හැම එකක්ම ව්‍යාජ ගිණුම්. මගේ නමින් facebook එකේ පෙනී සිටින එබඳු හොරුන් නිසා මං අපහසුතාවට පත් වූ අවස්ථා ඕනෑ තරම් තියෙනවා.
එක්තරා දවසක හිතවත් නංගී කෙනෙකුගෙන් මට ඇමතුමක් ආවා.

“අක්කේ ඔයා facebook එකෙන් මට කතා කරලා මගේ පින්තූර වගයක් ඉල්ලුවා. වීඩියෝ එකකට ගන්න.”

ඒ ළමයා කියපු කතාව අහලා මට පුදුම හිතුනා. මම කිසිම දාක කිසි කෙනෙකුට chat කරලා ඡායාරූප ඉල්ලලා නැහැ. මේක මගේ නමින් පෙනී හිටපු කවුරුන් හෝ කළ දෙයක්. ඒ නිසා මම අර නංගීව දැනුවත් කළා. ඒත් මේ පුද්ගලයා තව කීදෙනෙකුට මම විදියට chat කරලා තියෙනවාද දන්නේ නෑ.

ඔය විදියේ සිදුවීම් නම් බොහෝ විට සිදුවෙනවා. මේ වගේ ව්‍යාජ පුද්ගලයන්ට රැවටෙන්න එපා කියලා මගේ රසික පිරිසට කියන්න කැමතියි. මීට අමතරව සෘජුවම මට FB හරහා සිදුවූ සිදුවීම් කීපයකුත් තියෙනවා.

මගේ ගිණුම හරහා මාව අමතපු එක්තරා රසිකයෙක් හිටියා. ඔහු මුලදී කතා කරද්දී මමත් සැලකුවේ මගේ හොඳ රසිකයෙක් විදියටයි. ඒත් එයාත් දිගට හරහට මට Message එවන්න පටන් ගත්තා. මම පින්තූරයක් දැම්මොත් අනිවාර්යයෙන්ම ඒකට comment එකක් දානවා. ඒ දාන comment එක බලන කෙනෙකුට හිතෙන්නේ මේ තැනැත්තා සමග මගේ මොකක් හෝ සම්බන්ධයක් තියෙනවා කියලයි. මේ විදියට FB හරහා මට  හමුවුණු පිරිස අතර මගෙන් ආදරේ ඉල්ලපු අයත් ඉන්නවා. හැබැයි ඉතින් ඔය වගේ දේවල් මට විතරක් නොවෙයි මගේ සහෝදර කලා ශිල්පීන්ටත් සිදුවන දෙයක්. ඒත් ඉහතින් සඳහන් කළ පුද්ගලයා ඒ විදියට මගෙන් ආදරේ ඉල්ලලා නැහැ. එයාට ඕනෑ කම තිබුණේ මට ගොඩක් සමීපයි කියලා අනිත් අයට පෙන්වන්න විතරයි. හැබැයි එයාගේ ඒ රසිකත්වය මට හරිම කරදරයක් බවට පත් වුණා. මට තෑගි එවන්න, මගේ ලිපිනය ඉල්ලමින් මෙයා මට කරදර කළා. මේ විදියට දිගින් දිගටම කරදරයක් වෙද්දී මම මගේ fanpage එකෙන් මේ පුද්ගලයාව ඉවත් කළා. මටම හිතාගන්න බැහැ. මෙයා නැවතත් මගේ fanpage එකේ ඉන්නවා. ඉවත් කරන වාරයක් පාසා එයා නැවත නැවත එනවා. එය සිදුවන්නේ කොහොමද කියලා මටත් හිතා ගන්න බැහැ. බැරිම තැන මම එයාගේ ප්‍රතිචාර ගණන් නොගෙන නිහඬ වුණා. ඒත් අදටත් මේ තැනැත්තාගේ කරදරයත් ඒ විදියටම තියෙනවා.

fanpage එකට අඳුනන නාඳුනන අයගේ අදහස් එනවා. ඒවා වළකන්න බැහැනේ. මේ අතර විවිධාකාර මානසික අසහනයන්ගෙන් පෙළෙන අයත් ඉන්නවා. ඒ අය තමන්ගේ හැඟීම් වචන වලට හරවලා එවනවා.

මම නෙදර්ලන්තයේ ඉන්න කා‍ලේ හිතවත් පවුලක අක්කා කෙනෙකුට මගේ facebook, fanpage එක පෙන්නුවා. අර විදියේ පුද්ගලයන්ගේ අදහස් කියවලා ඒ අක්කා කිව්වා “මේ තරම් අසහනකාරයෝ ලංකාවේ ඉන්නවද” කියලා.

ආරියවංශ කුලතිලක