“මගේ බිරිඳ හොඳ තේරුම් ගැනීමකින් කටයුතු කරනවා. එයා තමයි මගේ සියලු දේ හොයලා බලලා කරන්නේ.” – කවුද මේ යකඩයා..?

රත්පැහැයෙන් දිදුළන හිරු බටහිර වෙරළේ ගිලෙමින් දවසක ගිනියම නිවීයද්දී කොළඹ රාජකීය බොක්සිං වලල්ල ගිනි පිටවෙන ඉසව්වකට සැරසී සිටියේය. ඒ කලකට පසුව කලඑළි දැක්වෙන ‘මිශ්‍ර සටන් කලා ගැටුම් රාත්‍රිය’ Martial art & Mix Fight Night එදිනට යෙදී තිබූ බැවිණි.
ඒ සමග ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට එක් සටන් ශෛලියකින් ඔබ්බට ගොස් පෙර නොදුටු ආකාරයේ ත්‍රාසජනක සටන් දර්ශනයක් ලබා දීම වෙනුවෙන් රාජකීය බොක්සිං වළල්ල එදින සැදී පැහැදී සිටියේය.
බොක්සිං, කික් බොක්සිං, කරාතේ, වූෂු, මල්ලවපොර වැනි මෙකී නොකී සටන් ක්‍රම ගණනාවකින් කැමැති ක්‍රමයක් යොදා පහරදීමේ හැකියාවැති ‘මිශ්‍ර මර්ෂල් ආට්’ තරගාවලිය පිළිබඳව වූ ප්‍රචාරණය මද වූවද, එය නැරඹීම සඳහා සැලකියයුතු පිරිසක් එතැනට එක්ව සිටියේය. කිලෝ ග්‍රෑම් 52-58, 58-65 සහ 65-73 යන බර කාණ්ඩයන්ගෙන් තරගකරුවන් 14 දෙනෙක් හෙවත් යුගල හතක් මෙදින රාත්‍රියේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ ‘සෙල්ලම් නැති සෙල්ලමක්’ වෙනුවෙන් තරගවැදුණි.
එහි තීරණාත්මකම හෙවත් ප්‍රධානතම තරගය වූයේ කිලෝ ග්‍රෑම් 65-73 බර පංතියේ තරගයකි.
එම බර පංතිය යටතේ තරග කිහිපයක් පැවතිමුත් සහභාගීව සිටි ක්‍රීඩකයින්ගේ දක්ෂතාවන්හි දත්තයන් සසඳා ප්‍රධානතම තරගයට ඉදිරිපත් කරන ශක්තිවන්තයින් කවුරුන්ද යන වග තීරණය කිරීම සංවිධායකයින්ගේ කාර්යයක් විය.
සංවිධායකයන්ගේ තීරණයෙන් ඒ තීරණතාමක තරගය සඳහා තේරුණු ක්‍රීඩක යුගලයේ එක් අයෙක් වූයේ අජ්මාල් යකූබ්ය. අජ්මාල් යකූබ් යනු වෘත්තීමය වශයෙන් සටන් කලාව උගන්වන ගුරුවරයෙකි. හේ මිශ්‍ර මාෂල් ආට් මෙන්ම මුආයි තායි යන සටන් කලාවන් දෙකෙන් කප් ගැසූ තරුණයෙකි.
නොමද ජාත්‍යන්තර තරග අත්දැකීම් හිමි ඔහු ශ්‍රී ලංකා ධජය ජාත්‍යන්තරයේ ඉහළට එසවූ වාර ගණන එමටය. කොටින්ම ඔහු මෙකී ක්ෂේත්‍රයේ නමක් තියෙන දැවැන්ත චරිතයකි.
මැදපෙරදිග ඩුබායිහි සේවයේ නියුතුව සිය සටන් කලාවන් ඔප්නංවා ගනිමින් සිටි යකූබ් ශ්‍රී ලංකාවට පැමිණීමට නිමිත්ත වන්නේ මෙම සටන් රාත්‍රියමය. එබැවින් හේ ලංකාවට පැමිණෙනුයේ සිය ශූරතා ගොන්න තවත් එකකින් තරකර ගැනීමේ අභිලාෂය පෙරදැරිකරගෙනය.
ඇතමෙක් කීවේ යකූබ් සිය ජයග්‍රහණය අත්ල මත තබාගෙන මෙරටට පැමිණ සිටින බවය. ලංකාව මිශ්‍ර මාෂල් ආට් කලාවෙන් ලිලිපුට්ටන් සේ සිටියදී, ඩුබායිහිදී සියලු පහසුකම් සහිතව දක්ෂතා උරගා බලන එකී ක්ෂේත්‍රයේ ගලිවරයෙක් වන් යාකූබ් හා කරට කර සටන් වැදීමට ජගතෙක් මෙහි වේදැයි එමගින් පැනයක් හටගෙන තිබිණි.
සංවිධායකයින්ගේ දත්ත විශ්ලේෂණයට අනුව යකූබ්ගේ ප්‍රතිවාදියා වූයේ මලින්ද අමරසිංහය.
මලින්ද 29 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ තරුණයෙක් වූ අතර මෙය ඔහුගේ මිශ්‍ර මාෂල් ආට් දිවියේ කුලුඳුල් තරගයයි.
තරගයට ආධුනිකයකු වූ මලින්දට අත්දැකීම් හීන වුවද, යකඩින් කළ අයුරින් පෙනෙන ඔහුගේ සිරුරේ හැඩය දකින ඕනෑම අයෙකුට එම ක්‍රීඩාව ඔහුගේ ඇඟට කාවැදී ඇති බව බැලූ බැල්මට පෙනී යන්නේය. නමුත් වළල්ලේ අනෙක් අන්තයෙන් එදිරිව හිටගැනීමට නියමිත තැනැත්තා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු සේම ඒ වෙනවිටත් කටවචනයෙන් යාකූබ් දෙසට දෝලනය වී තිබුණු වාසිය කෝඩුකාරයෙකු වූ මලින්දගේ පැත්තෙන් තරමක පීඩනය ගෙන දෙන්නක්ම විය.
වෙනත් සටන් ශූරතාවන්ට සාපේක්ෂව මිශ්‍ර මාෂල් ආට් තරගයන්හි අනතුරු සිදුවීමේ සම්භාවිතව ඉතා වැඩිය.
එබැවින් මෙකී තරගයන් ආරම්භ වීමට මත්තෙන් තරග නීති රීති හා කොන්දේසිවලට යටත්ව තරග වදින බවට නෛතික වශයෙන් ලියවිල්ලකට අත්සන් තැබීමට ක්‍රීඩකයින්ට සිදුවෙයි.
ඒ අනුව තරගය තුළ කිනම් තත්ත්වයකට ක්‍රීඩකයාට මුහුණ පෑමට සිදුවුවද, එම සියලු වගකීම ක්‍රීඩකයා විසින්ම දරාගත යුතු තිබේ.
ඉහත සඳහන් කළ ඕනෑම තත්ත්වයක් යන්නට, ලේ වැගිරීම්, අස්ථි බිඳීම් ආදියේ පටන් ඇස, කන, නාසය, දිව ශරීරය යන පංච ඉන්ද්‍රියන්ට සිදුවිය හැකි සියලුම ආකාරයේ ආපාදවන් ගැනෙයි.
එම හානියන් වළක්වා ගැනීම පිණිස මොවුන් පිහිටට තිබුණේ කුඩා අත් ආවරණයක්, ‘බෝල් ගාඩයක්’ සහ මුඛය ආරක්ෂා කර ගැනීමට ‘මවුත් ගාඩයක්’ පමණි. එවැනි සාධක පදනම්ව මෙවැනි තරගාවලීන්හිදී වෛද්‍යවරු, ගිලන්රථ ආදිය යොදවා ගැනීම අනිවාර්යයෙන් සිදුවෙයි.
සටන් වළල්ලේ එක් පසෙකින් අජ්මාල් යාකූබ්ය. අනෙක් පසින් මලින්ද අමරසිංහය. විනිසුරු සංඥාවෙන් නැගුණු සීනු නාදයෙන් තීරණාත්මක සටන ඇරඹිණි. පාද රටාවකට අනුව හසුරවමින් දෙදෙනාම විරුද්ධවාදීයා ආක්‍රමණය කරමින් පහරදීමට මගක් පෑදෙන තෙක් කල් මරමින් සිටියේය. පහර මග හැරියේය. එසේ තරගය ඉදිරියට ඇදෙත්ම දුර්වල තැනක් දුටු සැණින් දෙදෙනාම පොර කුකුලන් සේ පහර පිට පහර එල්ල කර ගත්තේය.
සිය බාහු බලය මෙන්ම පාද යොදාගෙන තමන් උගත් සෑම සටන් ශිල්පයක්ම උපයෝගීකර ගනිමින් ඇනකොටාගත් මේ යුගල විටින් විට විවිධාකරයේ ගැට දමමින් අනෙකාව මෙල්ල කිරීමට උත්සාහ දැරීය.
විනාඩි පහේ වට තුනක් වූ පළමු වටය ගෙවෙත්ම මලින්ද අමරසිංහ හිතුවාට වඩා අමාරුකාරයෙකු බවට යකූබ්ට වැටහී තිබිණි. යාකූබ් සතුව තිබුණු සටන් දක්ෂතාවන්ට වඩා විවිධ ගණයේ සටන් ක්‍රමයන් ප්‍රගුණ කරමින් පැමිණ සිටි මලින්ද දක්ෂතාවයෙන් සන්නද්ධ නිපුනයෙකු බැව් ඔහු දියත් කළ සටන් විලාශයෙන් ඔප්පු වී තිබිණි.
එබැවින් පළමු වටයේ අවසන් භාගයේ පටන්ම මලින්දගේ පහර ආවරණය කරමින්, මගහරිමින් ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කිරීමට යාකූබ් වගබලාගත් බවට පෙනෙන්නට තිබිණි.
දෙවැනි වටයේදීද තත්ත්වය එසේම විය. යකූබ්ගේ පහරවල්වලට සාපේක්ෂව මලින්දගේ පහර ‘සැර’ සේම තාක්ෂණයෙන් හෙබි ඒවා විය. ඒ වනවිටත් මොවුන්ගේ මුහුණේ ස්වභාවය සේම හැඩය පවා වෙනස්ව තිබිණි. ඇහි බැමි පැලී දෙදෙනාගේම මුහුණු රත්පැහැ ගැන්වී තිබිණි. එහි වගේ වගක්වත් නැතිව මොවුන් දෙදෙනා විටෙක බිම පෙරළෙමින්ද දන්න ශිල්ප දමා අනෙකා මට්ටු කිරීමට වෙර දැරුවේය.
දෙදෙනාගේම සිරුරු ප්‍රහාරයන්ට ගොදුරුව හෙම්බත්ව පැවතියේය. ඒ වනවිට මලින්දට සාපේක්ෂව යකූබ්ගේ තත්ත්වය තරමක් බරපතළ විය. මලින්දගේ පහර පිට පහර හමුවේ යකූබ්ට වාරු නැති විය. නමුත් මලින්දගේ ප්‍රහාරයේ අඩුවක් නොවුණි. එනිසා තෙවැනි වටයේ මැද භාගයේදී විනිසුරුට දන්වා යාකූබ් නීත්‍යානුකූලව තරගයෙන් ඉවත්ව සිය පරාජය උරුමකර ගත්තේය.
එබැවින් ක්ෂේත්‍රයේ බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෙකු වූ යාකූබ් මිශ්‍ර මාෂල් ආට් ක්‍රීඩාවට කොඩුකාරයෙකු වූ මලින්ද හමුවේ දණ නැමුවේය.
ඒත් සමගින් මලින්ද මෙවර තරගාවලියේ සුවිශේෂීම ජයග්‍රාහකයා බවට කිරුළු දැරුවේය.
ජයග්‍රහණයත් සමග මලින්ද ක්ෂේත්‍රයේ ‘චරිතයක්’ වී හමාරය. ඔහු දැක්වූ විවිධ වූ සටන් ශිල්පයන් විශ්මිතය. මේ නිහඬ සටන්කරුවා මලින්ද අමරසිංහ යනු කව්දැයි සොයන්නට අපි පෙලඹුනෙමු.
මලින්ද කුරුණෑගල මලියදේව විද්‍යාලයේ අාදි සිසුවෙකි. කුඩා කල පටන්ම වීරත්වය ලේ වලට එන්නත් කරගත් ඔහු පාසලේ කැපී පෙනුණු චරිතයකි.
ඔහු මලියදේවයේ ශිෂ්‍යභට ඛණ්ඩයේ සාමාජිකයෙක් බවට පත්වෙන්නේද මේ වීරත්වයේ හැඟීම් සහ ආත්මාභිමානය මුහුකරමිනි.
කාලය ගතවෙත්ම වූෂු ක්‍රීඩාවට යොමු වන මලින්ද වයස අවුරුදු 17 ක් වද්දී එවකට ඉන්දුනීසියාවේ පැවැති ලෝක කනිෂ්ඨ වූෂු තරගාවලියට සහභාගී වී සන්දා ඉසව්වෙන් අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණියේය.
කොයිතරම්නම් ‘සටන් පිස්සුවක්’ මලින්දගේ ඔළුවට ගසා තිබුණාදැයි කියතොත් වූෂු හදාරන අතරේ බොක්සිං ක්‍රීඩාව හැදෑරීමට කුරුණෑගල සිට නුවර දක්වා වසර කිහිපයක්ම ගමන් කරන්නේය.
ඔය අතරවාරයේදී වයස අවුරුදු 24 ක් වන විට 2014 දී කිලෝ ග්‍රෑම් 85 බර පංතියේ වූෂු සන්දා අංශයෙන් ජාතික ශූරයා බවට ඔහු පත්වූයේය.
ඒ වනවිට එකින් එක වගකීම් සිය හිස මත පැටවෙද්දී සහ අතේ මිටේ සල්ලි භාගේ යහමින් නැති වෙද්දි ජීවිතය ගැට ගසා ගැනීම පිනිස එතැන් පටන් වසර දෙකක් පමණ තරග භූමියෙන් ඈත්වන්ට මලින්දට සිදුවූයේය. නමුත් ඇඟේ තිබුණු සටන් රිද්මය මොට වීමට ඉඩ නොදුන් මේ තරුණයා කිසිම දිනක සිය පුහුණුවීම් අතපසු කර නොගැනීමට වගබලා ගත්තේය.
එසමයේදී විවිධ සටන් ක්‍රම අත්හදා බැලීමටත් මොහු අමතක නොකළේය.
නැවතත් මලින්දගේ ආගමනය සිදුවන්නේ 2017 වසරේදීය. ඔහු එම වසරේ කිලෝ ග්‍රෑම් 70 බර පංතියේ කරාතේ ‘ෆුල් කන්ටැක්’ ජාතික ශූරතාව තමන් සන්තකයට ගත්තේය. එතැන් පටන් නැවතත් කරළියට පැමිණි හෙතෙම 2018 වසරේදීද එම බර පංතියෙන් ‘ෆුල් කන්ටැක්’ ජාතික ශූරයා වශයෙන් නම් දැරීය.
2018 වසර තවදුරටත් ජයග්‍රහණයේ සවුදිය පිරූ මලින්ද කිලෝ ග්‍රෑම් 70 බර පංතියේ මුආයි තායි කික් බොක්සිං ජාතික ශූරයා බවටද කිරුළු දැරුවේය.
ඒත් සමග ජාත්‍යන්තර තරගයකට සහභාගී වීමට මලින්දට දොරටු විවර වුවද, නිසි අනුග්‍රාහකයෙකු හෝ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සහයක් නොලැබීමෙන් එම අවස්ථාව ඔහුගෙන් ගිලිහිණි.
කෙසේ නමුත් ඉකුත්දා පැවැති මිශ්‍ර මාෂල් ආට් සටන් රාත්‍රියට පිවිසෙන මොහොත වන විට මලින්ද වූෂු, කරාතේ ෆුල් කන්ටැක් සහ මුආයි තායි කික් බොක්සිං යන ඉසව් තුනේම ජාතික ශූරයා වී තිබිණි. ජාතික තලයට නොපැමිණියද වසර ගණනක් බොක්සිං ක්‍රීඩා කරමින් එහිදීද නිපුනයෙක් වී තිබීම යකූබ් වැනි මිශ්‍ර මාෂල් ආට් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු දණ ගැස්වීමට තරම් ඔහුට හැකියාවක් වූයේය.
‘කොහොමහරි ඇමරිකාවේ තියෙන ඹකඑසප්එැ ත්‍සටයඑසබට ක්‍ය්පචසදබියසච තරගයකට සහභාගී වෙන එක තමයි හීනය.
ඒ වගේම ඉන්දියාව, තායිලන්තය වගේ රටවල මිශ්‍ර මාෂල් ආට් තරගාවලි තියෙනවා. අතේ තියෙන පිච්චිය හරි වියදම් කරලා ගහින් රටට පදක්කමක් ගේන්න ලොකු අධිෂ්ඨානයක් තියෙනවා.
ලංකාවේ තවම මිශ්‍ර මාෂල් ආට් වලට සංගමයක් නැහැ. එහෙම නැති වුණත් ක්‍රීඩාවට ලැදි ලංකාව පුරා ඉන්න අය මේ වගේ එකතුවෙලා තරග සංවිධානය කරලා උත්සාහ කරන්නේ ලංකාව තුළ මේ ක්‍රීඩාවට යම් තත්ත්වයක් ලබා දෙන්නයි.
ත්‍රාසය ගෙනදෙන ක්‍රීඩාවක් වුණත්, නීතිමය රාමුවක් යටතේ කෙරන නිසා මේ ක්‍රීඩාවට නීතියෙන් බාධාවක් නැහැ. අනික ලංකාවේ තරගවලදි සාමන්‍ය තරගාවලීන්ට වඩා නීති රීති තරමක් තද වෙනවා.’ යි මලින්ද පවසන්නේය.
මලින්දගේ සටන් දිවිය එළිය කර ගැනීමට අලෝකය ලැබුණේ සිය මව, පියා, සහෝදරයා සහ බිරිඳ සෞම්‍යා සහ දියණිය ටෙහාරාගෙනි.
ඔහුගේ ජීවිතය සරිකර ගැනීම පිනිස කිසියම් මුදලක් උපයා ගන්නේ සිය සහෝදරයාගේ ව්‍යාපාරයට සහය දැක්වීමෙනි. ක්‍රීඩාවට ඇති අසීමිත ඇල්ම නිසා වෙනත් රැකියාවක් කිරීමට ඔහු උනන්දු නොවන්නේද, උදේ හවා සටන් කලාව වෙනුවෙන් සිදුකරන පුහුණුවීම් අතපසුවෙතැයි යන හැඟීමෙනි.
මේ තත්ත්වයට පැමිණීමට මලින්දට ගුරුහරුකම් ලබාදුන් ගුරුවරුන්ව ඔහු සිහිපත් කරනුයේ ඔවුන්ට තුති පුද කරමිනි ‘මට වූෂු ක්‍රීඩාව ඉගැන්නුවේ නිශාන්ත පතිරාජ මහතා, බොක්සිං ඉගැන්නුවේ සමන්ත මහතා, ඊට පස්සේ කරාතේ ෆුල් කන්ටැක් ඉගැන්වුයේ ප්‍රියන්ත රාජපක්ෂ මහතා. ඒ නැඹුරුවෙන් මම මුආයි තායි බොක්සිං සහ මිශ්‍ර මාෂල් ආට් වලට යොමු වුණා. අදටත් මම මේ සියලු දේ පුහුණුවීම් කරන්නේ ප්‍රියන්ත රාජපක්ෂ මහතාගේ ලයිෆ් ෆිට්නස් කියන ජිම් එකේ.’
දියණියක් සිටින පියෙක්, මෙහෙම සටන් කලාවේ නියැළෙනවට බිරිඳගෙන් විරෝධයක් නැතිදැයි? විමසීමේදී ‘මගේ බිරිඳ හොඳ තේරුම් ගැනීමකින් කටයුතු කරනවා. එයා තමයි මගේ සියලු දේ හොයලා බලලා කරන්නේ. සමහරක් වෙලාවට තරග වලට සහභාගීවෙලා මූණ, ඇඟ ඉදිමිලා තියෙනවා දකිද්දි එයාලටත් ගොඩක් දුකයි.
මට ඉන්නේ දුවක්. මගේ දුව ලොකු වෙද්දි එයාට කැමති දෙයක් කරන්න නිදහස දෙනවා. හැබැයි එයත් අනිවාර්යයෙන්ම සටන් කලාවක් හැදෑරිය යුතුමයි.’
මලින්ද මේ කරනුයේ ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා වැය වන වියදම්ද සුළුපටු නොවෙයි. සිය දරුපවුල පෝෂණය කරන ගමන් ජාත්‍යන්තර පදක්කමක් කරා යාම ඔහුගේ එකම අරමුණයි. ජාත්‍යන්තර තරගාවලියකට අවස්ථාවක් ලැබුණොත් ‘පඩියක් එපා. පුළුවන්නම් තරග කාලයට උචිත පෝෂ්‍යදායී ආහාර වේලක් විතරක් දෙන්න’ යැයි ඔහු ඉල්ලීමක් කර සිටියි.
එක්දරු පියෙක්, අතේ වියදමෙන් මේ ගුටිගහගන්නේ කුමකටදැයි කෙනෙක්ට සිතිය හැක. නමුත් ඔහුගේ මේ වෑයම ශ්‍රී ලංකා ධජය ජාත්‍යන්තරයේ ඉහළින් ඔසවා තැබීමටය. අතපය ඉදිමෙන්න ගුටි කෑවද, ඒවාට බෙහෙත් කිරීමට ප්‍රමාණවත් තරම් මුදල් තරගයන්හිදී හිමි නොවූවද, ඔහු මේ ‘සටන’ අතාරින්නේ නැත.
කොටින්ම ඔහු මේ වනවිට ක්‍රීඩාව ආගමක් කොටගන හමාරය.
එබැවින් දිනෙන් දින වළපල්ලට යන ක්‍රිකට් වැනි ක්‍රීඩාවන්ට කෝටි ප්‍රකෝටි ගණන් වැය කර හතිවැටෙනවාට වඩා, ජාත්‍යන්තරයේ ජය කෙහෙළි නැංවිය හැකි මෙවැනි දක්ෂතා සහිත තරුණයෙක්ට හයියක් වීමට ඇල්මක්, බැල්මක් ඇති පාර්ශ්වයන් වෙතොත් ඔහු කෙරෙහි අවධානය යොමු කිරීමට සුදුසු කාලයයි මේ.

ගයාශාන් විතානආරච්චි
gossip lanka