දැවැන්ත කිඹුලන් එක්ක එකට ජිවත් වෙන අරුම පුදුම මිනිසුන් පිරිසක් ගැන වෙනස්ම කතාවක් මෙන්න - (Photos)

බටහිර ඉන්දීය ගුජරාට් ප්‍රාන්තයේ ඇතැම් ගම්මානවල වැසියන් ඉති භයානක හැල කිඹුලන් (Mugger) සමග ඉතා සමීපව දිවි ගෙවන බව ඔබ දන්නවා ද?

මේ අසාමාන්‍ය සහජීවනය ගැන තොරතුරු සොයා ගවේෂණයක යෙදුණේ, ජානකී ලෙනින්.

"උදේ 10 ට වගේ කිඹුල්ලු එළි පහළියට එනවා" සීත සමයේ උදෑසනක වැලක රෙදි වනමින් සිටි කාන්තාවක් කීවා.


"මා සිටියේ වනජීවී සෆාරි සංචාරයක යෙදෙමින් නම් නොවෙයි. මලටාජ් ගම්මානයේ ඇති එම කාන්තාවගේ ගෙමිදුලට වී සිටි මගේ දෑස යොමුවී තිබුණේ ඉන් ඔබ්බෙන් වූ පොකුණේ මතුපිට වෙතයි."

"එය පෙනුමින් සාමාන්‍ය පොකුණක් වගේ. නමුත් පිපුණු ෆෂියා මල් හා පොකුණ පුරා පැතිරුණු මානෙල් පත්‍ර අතර සිටියේ හැල කිඹුලන්. මේ ඉන්දියාවේ සිටින කිඹුලන් වර්ග තුනෙන් එකක්. මේ උභය ජීවීන්ගේ හැසිරීම් රටාව ගැන එම සතුන් සමග පරම්පරා ගණනාවක් සහජීවනයෙන් ගෙවූ, මා සමග කතා කළ ගෘහණිය ද ඇතුළු ගම්වැසියන් හොඳින් දැන සිටිනවා."

"බොහෝ තැන්වල මිනිසුන් බියෙන් තැති ගැන්වීමට එක් කිඹුලෙකු දැකීමත් ප්‍රමාණවත්. ඒත්, ගුජරාට්හි සබර්මති සහ මහි යන ගංගාවලින් වටවූ වර්ග කිලෝමීටර 4,000ක (වර්ග සැතපුම් 1,544) චරෝටාර්වල තත්ත්වය ඊට වෙනස්."

"ප්‍රාදේශීය ලාභ නොලබන සංවිධානයක් වන ස්වේච්ඡා පරිසර සංරක්ෂණ ආයතනය (Voluntary Nature Conservancy) කළ සමීක්ෂණයකට අනුව එහි ගම්මාන 30 ක පමණ කිඹුලන් 200ක් වත් ජීවත් වෙනවා. එහි සෑම පොකුණක ම කිඹුලන් සිටින බව දැක්වෙන පුවරු සවි කරලා. නමුත් මේ සෑම පොකුණක් ම ගම්වාසීන්ගේ දෛනික දිවි පැවැත්මේ ප්‍රධාන අංගයක්. මේ දැන්වීම් පුවරු නොසලකා හරින ඇතැම් ප්‍රදේශ වාසීන් එම පොකුණුවල පිහිනීම, නෑම, රෙදි සේදීම මෙන් ම ගවයන් ද නහවනවා."

"කිඹුලන් ද ඒ පොකුණුවල ම ගැවසෙමින්, මාළුන් ආහාරයට ගනිමින් හා සිය පැටවුන් ඇති දැඩි කරමින් ජීවත් වනවා. පොකුණු කඳුවලට ගොඩ වී අව්ව තපින එම කිඹුලන්, කුඩා දරුවන් ද ඇතුළු ගම්වාසීන් සේ ම ඔවුන්ගේ ගවයින් ද ගමන් කරන මාර්ගවල තණ බිස්සේ නිදාගෙන සිටිනවා, නැතහොත් ඇදී යනවා."

මේ හැම දවසක ම මිනිසුන් සහ කිඹුලන් තම තමන්ගේ කටයුතුවල යෙදෙන්නේ එකිනෙකාට බාධාවක් නොවන ලෙස හෝ ඔවුන් ගැන වද වීමකින් තොරවයි.

ප්‍රාදේශීය බසින් "රන්තාලිය" යන තේරුම ඇති චරෝටාර් යන නම එම ප්‍රදේශයට ලැබී තිබෙන්නේ, එහි ගොවීන් නෙලා ගන්නා සාර්ථක අස්වැන්න හේතුවෙන්. සැතපුම් ගණන් දිගට සෑම දෙසකට ම විහිදුණු දුම්කොළ වගාව නිසා වන ජීවීන්ට ඉඩක් නැහැ. එසේ නම්, මේ කිඹුලන් පැමිණියේ කොයින් ද?

සමහරු කියන්නේ මේ කිඹුලන් සෑම විට ම චරෝටාර්වල ජීවත් වූ බවයි. 18 වන සියවසේ සිට 1947දී ඉන්දියාව නිදහස ලබන තෙක් ම ප්‍රදේශය පාලනය කළ ගඑක්වාඩ් රජ පෙළපතේ පාලකයින් දඩයම සඳහා මේ කිඹුලන් පොකුණුවලට මුදා හැර ඇති බව වෙනත් අයගේ මතයයි. නමුත් මේ මතය සනාථ කිරීමට තරම් ඓතිහාසික සාධක හමුවී නැහැ. නමුත් එක දෙයක් නම් පැහැදිලියි. ඒ, මෙම කිඹුලන් මෑතක මෙහි ආ අය නොවන බවයි.

නමුත් චරෝටාර් කිඹුලන්ගේ හැසිරීම ඉතා අසාමාන්‍යයි. මේ කිඹුලන් වර්ගය (Muggers) භයානකත්වය අතින් හිඳින්නේ තුන් වන තැන. කිඹුලන්ගේ පහර දීම් පිළිබඳ ගෝලීය දත්ත එකතුවක් වන ක්‍රොක්බයිට් (CrocBITE) තොරතුරුවලට අනුව 2018 වසරේදී මෙම කිඹුලන් වර්ගය විසින් මරා දමන ලද මිනිසුන් ගණන 18 ක්. උදාහරණයක් හැටියට, චරෝටාර් සිට කිලෝමීටර 40ක් (සැතපුම් 25) දුරින් ඇති විශ්වමිත්‍රි ගඟ ආශ්‍රිත මේ කිඹුලන් වර්ගය පහර දීමෙන් 2011 සහ 2012 වසරවලදී මිනිසුන් දෙදෙනෙක් මියගොස් තවත් අට දෙනෙක් තුවාල ලබා තිබූ බව උරගයින් පිළිබඳ විශේෂඥයකු වන රාජු ව්‍යාස් පවසනවා.

නමුත් ස්වේච්ඡා පරිසර සංරක්ෂණ ආයතනය (Voluntary Nature Conservancy) වාර්තාගත කර ඇති ආකාරයට ගෙවී ගිය වසර 30 තුළදී චරෝටාර් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන්නේ ප්‍රහාර 26ක් පමණයි. මෙයින් අවස්ථා අටකදී ම මිනිසුන් ගැලවී තිබෙන්නේ සුළු තුවාල ලැබීමෙන්. 2009 වසරේදී පමණක් කිඹුල් ප්‍රහාරයකින් නව හැවිරිදි දැරියක මිය ගියා. ඉතිරි පහර දීම් 17ට ම ලක්වී තිබෙන්නේ ගොවිපළවල් ආශ්‍රිත සතුන්.

කිඹුලන්ගෙන් ආරක්ෂා වී පොකුණුවල ජලය භාවිත කිරීමට ගම්මුන්ට ඉඩ සැලසීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මලාටාජ් ගම්මානයේ වෙන ම කොටසක් වෙන් කළා. නමුත් මේ උභය ජීවීන් හිංසාකාරී නැති බැවින්, අදාළ ඉදිකිරීම උපහාසයට ලක් කළ ගම්වැසියන් එය භාවිතයට ගැනීම හෝ පවත්වා ගැනීම ප්‍රතික්ෂේප කළා.

වැට දිගට ඇති ඉඩ කඩින් ප්‍රයෝජන ගෙන මිනිසෙකුගේ අතක් හෝ පයක් ඩැහැගෙන යාමට ඕනෑ තරම් අවස්ථාව තිබුණත් තමන්ගේ මිනිස් අසල්වාසීන්ගේ බලාපොරොත්තු ද එලෙස ම තබා ගැනීමට ඉඩ දෙන මේ කිඹුලන් ඔවුන්ට නිදහසේ ඉන්නට ඉඩ හැර තිබෙනවා.

චරෝටාර් වාසීන්ට තමන් සමග ජීවත් වන කිඹුලන් ගැන ඇත්තේ ආඩම්බරයක්.

ප්‍රදේශයේ වැඩි ම කිඹුල් ගහනය ඇති ගම්මානය දේවා වුවත්, "කිඹුලන්ගේ ගම්මානය" තමන්ගේ ගම බව මලාටාජ් ගම්වැසියන් අවධාරණය කරනවා.

හිරු උදා වෙද්දී පොකුණු දියෙන් මතු වන කිඹුලන් එහි ඉවුරට ගොඩ වෙනවා. දුසිමක් පමණ ගණන් කරන්නට මට හැකි වුණත් ඈතින් තවත් රැසක් ඉන්නා බව මට දකින්න ලැබුණා.

මලාටාජ්හි පාලමක් මත භාජියාස් නම් බදින ලද ආහාරයක් අලෙවිකරණ වෙළෙන්දෙක් පසු කරමින් සෙනග ඇදෙද්දී, ඉන් පහළ ඇති වල් වැදුණු ඇළ මාර්ගයක කිඹුලෙක් හිරු රැස් තපිමින් සිටියා.

කවුරුවත් ඒ ගැන තැකුවේ නැහැ. එය ඔවුන්ට තවත් දිනයක් පමණයි.

-බීබීසී සිංහල-