දරුණු අනතුරකින් මියගිය දියණියන් දෙදෙනා යළිත් මවුපියන් සොයා ආ හැටි

1957 මැයි මස එක් ඉරිදාවක ජෝන් පොලොක් නම් තැනැත්තාගේ දියණියන් දෙදෙනා වන 11 හැවිරිදි ජෙනීපා පොලොක් දැරිය සහ සය හැවිරිදි ජැක්විලියන් දරුවා රිය අනතුරකින් මරණයට පත් වූහ. සිත් පැහැරගන්නා වියේ සුරතලයට හැදුණු වැඩුණු මේ දැරියන් නැති නිවහන පාළු සොහොනක් මෙන් විය. පොලොක් මහතාට මෙය දරා ගන්නට බැරි තරම් වුණේ ඔහු ඒ තරමටම දරුවන් කෙරෙහි අප්‍රමාණ වූ සෙනෙහසකින් ජීවත් වී සිටීමයි. සිය බිරියගේ මානසිකත්වය හැඩගස්වා ගැනීමට මහත් අසීරු වන තරමටම ඇය වඩාත් කම්පනයට පත්ව සිටියාය.
එංගලන්තය වැනි සමාජයක වූ නිසා මේ සම්බන්ධය ඒ හැටි දුර ඇදගෙන යන්නට තරම් වුවමනාවක් නැති වෙන්නට ඇතැයි කියා පිටතින් බැලූ මිනිසුන් මේ ගැන සිතුවත් මේ මවුපියන්ට තමන්ගේ දරුවන් මරණයට පත්වූ පසු කොහිවේදැයි දැන ගැනීමේ සිත් පහළ විය.

උපතින්ම රෝමානු කතෝලිකයකු වූ ජෝන් පොලොක් මේ ගැන සිතා සිටියේ කුමන මාර්ගයකින් මේ තොරතුරු සොයා ගන්නට හැකිවේද යන්නය. මාස ගණනාවක් ගතවුණිද ඔහුට මේ පිළිබඳව කිසිවක් දැනගත නොහැකි විය.

නොදැනුවත්වම කාලය ගත විය. හරියටම දාහත් මාසෙකට පසු ජෝන් පොලොක්ගේ බිරිය ගැබ් ගෙන තිබිණි. ඇය ප්‍රසූත කළේ නිවුන් දරුවන්ය. දෙදෙනාම දූවරුය. දරු දෙදෙනාගේ උපත සිදුවීමේ පරතරය විනාඩි 10කි. දරුවන් දෙදෙනාම මියගිය දරුවන්ගේ රූපවලට සමාන වීම නිසා පොලොක් යුවළට මෙය කම්පනයක් ඇති කරන්නට විය.
"මේ ඉන්නේ අපේ මැරිච්ච දූ වරුද?" යැයි නොසිතුණා වේ. එය තව තවත් තහවුරු වන්නට පටන්ගත්තේ දරුවන් දෙදෙනාගේ වර්ධනයත් සමඟ ඔවුන්ගේ බාහිර ස්වරූපයන් තවදුරටත් මියගිය දරුවන් දෙදෙනාගේම වීම වූ නිසාය.

මෙහිදී පොලොක් මහතා වඩාත් මවිතයට හේතු වූයේ බාල දුවගේ නළලේ සිට දකුණු ඇහි බැමේ වම් කන තෙක් විහිද ගිය උපන් ලපයක් පිහිටා තිබීමයි. එය හරියටම මියගිය බාල දියණිය වූ ජැක්විලියන්ගේ එතැනම වූ ලපයට සමාන විය. සාමාන්‍ය දිනවල ලපයක් ලෙස දැකගත හැකි වුවත් ශීත දිනවලදී එය වඩාත් ඉස්මතුව පෙනෙන්නට විය. මෙම ලප කැළල මියගිය බාල දූ ජැක්විලියන්ගේ ඇති වූයේ ඇයට වයස තුනක් වෙද්දී වැටීමක් නිසාය. එසේ ඇතිවුණු කැළලම එසේම පිහිටීම ගැන ඔහුට අදහාගන්නට බැරි විණි.
මේ තොරතුරු ඔස්සේ පොලොක් මහතාගේ කුහුල වැඩිවන්නට පටන් ගත්තේය. ඔහු මහත් අවධානයකින් සිය දූවරු කෙරෙහි පසුවිය. මියගිය දුවණියගේ ළපැත්තේ ශතයක තරම් දුඹුරු පැහැගත් ලපයක් තිබිණි. ජැක්විලියන්ගේද එසේද දුඹුරු පැහැගත් ලපයක් මතුවී තිබිණි.

ඇයද මියගිය දියණිය වාගේම කාගෙවත් කියාදීමක් නැතුව පැන්සලක් අතට අරන් ලියන්න පටන් ගත්තාය. ඇයද පැන්සලය අල්ලන්නේ දකුණු අතේ මැදැඟිලි අතරින්මය. මියගිය බාල දියණියත් එසේම පැන්සලය අතට අරන් ලියන්න උත්සාහ කළ අතීතය පොලොක් මහතාට මැවී පෙනිණි. එය එසේම සිදුවීම මවිතය දනවන්නක් නොවේද?

දරුවන් දෙදෙනාගෙන් බාල දියණිය ලප කැළැල් හා හුරු පුරුදුකම්වලින්ද මියගිය බාල දූටම සමාන වුවත් වැඩිමහල් දියණියගේ බාහිර ලකුණුවලින් හඳුනාගන්නට පුළුවන්කමක් නොතිබුණේ මියගිය වැඩිමල් දියණියගේද එවන් විශේෂයෙන් හඳුනාගත හැකි ලක්ෂණ නොවුණු නිසයි. නමුත් ගමන, සිනහව හා ගති පැවතුම් මියගිය වැඩිමල් දියණිය වගේම වීම තවත් මවිතය දනවන්නක්ම විය. ඒ මියගිය දියණියත් තම නැඟණියගේ අතින් අල්ලාගෙන ඇවිදින්නට ආසා කළාය. නැවත උපන් වැඩිමහල් දියණියත් එසේම සිය නැඟණියගේ අතින් අල්ලාගෙන ඇවිද යන්නට කල් යත්ම කටයුතු කළාය.

ටික කලකට පසු මේ දෙදෙනාට හොඳින් කතාබහ කරන්නට පුළුවන් වූ පසු දිනක් දෙදෙනා 1957 සිදුවූ ඒ මාරක රිය අනතුර ගැන තොරතුරු කතා කරගන්නවා සැඟවී අසා උන් පොලොක් මහත්මියට දැකගත හැකි විය. ඇයට මෙය අදහාගන්නට බැරි තරම් වූ එකක් විය. එය කිහිප වතාවකම ඇය පොලොක් මහතාටත් හොරෙන්ම පෙන්වා දුන්නේ ඒ කතාබහ දියණියන් විසින් සිදුකරනු ලැබූ අවස්ථා කිහිපයකදීමය. පුනරුත්පත්තිය විශ්වාස නොකරන රෝමානු කතෝලික යුවළක් වූ මේ දෙදෙනා මේ සඳහා තවත් උපක්‍රමයක් යොදා මෙම තොරතුරු නිවැරැදිමදැයි සොයන්නට උත්සාහ කළහ.

ඔහු මියගිය සිය දරුවන් දෙදෙනාගේ සඟවා තිබුණු සෙල්ලම් බඩු සියල්ල එළියට දමා ඒවා කලවමේ එකට තබා දරුවන් දෙදෙනාට පෙන්වීය. ඔහුට හොඳහැටි මතක තිබුණු හැටියට මියගිය දරුවන් දෙදෙනා වඩාත් ඇලුම් කළ සෙල්ලම් බඩු ඒ අතර මොනවාදැයි දැන සිටියේය. පුදුමයක තරම දෙදෙනාම තම තමන් කාලයක් හුරුපුරුදුව සිටියාක් මෙන් මියගිය දරුවන් දෙදෙනාගේ සෙල්ලම් බඩු ඔවුන් මෙන්ම වෙන් වෙන්ව පැහැදිලිව තෝරා බේරා ගන්නට වූ දසුන අදහාගත හැකි දෙයක් නොවන තරම් විය.

මේ සිදුවීම එකල බටහිර පුවත්පත්වල ප්‍රකට පුවතක් විය. එහෙත් එය බොරුවක් යැයි කියා පළ කළ මතද බොහෝ විය. එහෙත් මේ අත්දැකීම ඉතා පැහැදිලිව නිවැරැදිව වටහා ගත් සාක්ෂිකාරයන් වූයේ පොලොක් යුවළය.

තමන් ඇදැන ආගම අනුව සිතීම කෙසේ වෙතත් මේ පුනරුත්පත්ති කතාව සැක හැර අදහා ගැනීමේ දැඩි අදිටනින් පොලොක් මහතා පසුවිය. පසුව එය එසේම තහවුරු විය.

එසේ නම් 17 මාසයකට පසු පොලොක් මහතා නොසිතූවක්ම සිදුවූයේ කෙසේද? යන සැකය කා අතරත් ඇතිවීම සාධාරණය. මේ වන විට අන්තරා භවයක් පවතින බවට වූ මතවාද ගැන බටහිර විද්‍යාඥයන් සෙවුම් බැලුම් කරමින් පැවැති නිසාම 17 මාසයක් යන තුරුම හදිසි අනතුරින් මියගිය පොලොක් මහතාගේ දරු දෙදෙනා අන්තරා භව තත්ත්වයේ පසුවී සිටියා විය යුතුය.

සාමාන්‍යයෙන් මෙවන් හදිසි අනතුරු වූ අවස්ථාවල ශරීරය තුළ ප්‍රාණය රඳවා තබා ගැනීමට නොහැකිවන සේ සිරුර තැළී පොඩිවී සුනු විසුනු වී ගියේ නම් නැවත එම ශරීරය තුළට විත් ශල්‍යකර්මයකදී හෝ ඉන් පෙර අවස්ථාවකදී යළි සිහිය එන්නට පුළුවන. එහෙත් පොලොක් මහතාගේ දරුවන්ගේ අනතුර ඉතා දරුණු එකක් විය.

එම අනතුර හදිස්සියේම ඇතිවූ බරපතළ එකක් විය. රිය අනතුර සිදුවූ සැණින් දරුවන් දෙදෙනා මියගොස් තිබෙන බව වෛද්‍ය වාර්තා සනාථ කළ නිසා මේ දරුවන්ට සිහිනයක්ම වැනි වූ මේ හදිසි මරණය කල්යල් බලා තවත් තැනකට තමන්ට අවශ්‍ය පරිදි යන්නට ඉඩක් සලසා තිබුණේ නැති බව පැහැදිලිය.

ශරීර දෙකෙන්ම දරුවන් දෙදෙන මිදී අවකාශයට එක්වූ වහාම දෙදෙනාට සිදුවූ දේ පෙනෙන්නට දැනෙන්ට පුළුවන් විය යුතුය. එවන් මොහොතක සිට තම පියාත් මවත් පත්වන තත්ත්වයත් ඔවුන් අත්විඳින වේදනාවන් මේ දෙදෙනාටත් දැනෙන්ට ඕනෑය. සිදුවූ සිදුවීම එසේ වූයේ කර්මානුරූපීව සිද්ධ වෙන්නට තිබුණුම දෙයක් වී නම් එය වළක්වාලන්නට නොහැකි දෙයක් බව මේ දෙදෙනාට දැනෙන්ට ඕනෑය.

අන්තරාභවය තුළ සැරිසරන මේ දරුවන් දෙදෙනා පිළිබඳව නොදැන හෝ මවුපියන් විසින් සිත සිතා කල්ගත කිරීම චිත්තවේගයන් වී එමඟින් යම් දැනවීමක් බලපෑමක් ඇති කිරීමක් විය හැකි බව බැහැර කළ නොහැකි සත්‍යයකි.

එවන් චිත්තවේගයන්ගේ බලපෑම් ගැන අප මේ වෙද්දී සාර්ථක පරීක්ෂණ රැසක්ද සිදුවී තිබේ. මවුපියන් විඳින චිත්ත පීඩාවන් මේ දරුවන්ට දැනෙන්නට වීම සලකා බැලිය යුත්තකි. සිතකින් මුදා හැරුණු චිත්ත ශක්ති වේගයන් අවකාශය තුළ හැඟීමක් දැනීමක් ඇති කරන්නට බලයක් ඇතිවිය හැකිය. දරු දෙදෙනා සම්බන්ධයෙන් සිතින් මුදා හැරෙන දුක් සන්තාපයන් හා ළතැවීම් වැනි හැඟීම් මේ දරුවන්ට මොනවා වුණාද? ඒ දරුවන් කොහේ ඇත්ද? යන්න සිතීම පවා කාට නම් වළක්වන්න පුළුවන්ද? එවන් චිත්ත ධාරාවන් ක්‍රියාකරවීම තුළ යම් බලපෑමක් ඇති කළ හැකි ඉඩක් ඇත.

කම්පනයට පත් මවුපියන් කරන, කියන දේත් නිරතුරුව දරුවන් පිළිබඳ චිත්ත රූප මවා ගනිමින් ප්‍රාර්ථනා කරන දේත් බලපෑමක් ඇති කරන්නට වී නැත. එවන් ප්‍රාර්ථනා සහිතව කල්ගත කළ මවුපියන්ට කල්යත්ම දරුවකු පතා හෝ එසේ නොකොට සිටිනා කාලයක අන්තරා භවය තුළ සිටින දරු දෙදෙනාට නැවත තමන් වඩාත් ඇලුම් කරන තැනට එන්නට පුළුවන. ඒ සඳහා වූ කර්මානුරූප අවස්ථාවක්ද ඉස්මතු වීම නිසා ඊට බාධාවකින් තොරව ගන්ධබ්බයන් වශයෙන් මවුකුස තුළ වූ කළල ද්වයට එකතු විය හැකිය. ඒ සඳහා ද්වීය තත්ත්වයක අවස්ථා හදාගන්නත් පුළුවන. මෙහිදී ප්‍රබලවම ඉස්මතුවන්නේ චිත්තවේග අතර රැඳුණු සිතුවිලිය. එය වඩාත් ප්‍රබලව ඉස්මතුව දැනවීමක් කළහොත් එවන් අවස්ථා ඇති විය හැකි බව මෙවන් සිදුවීම් පිළිබඳ පර්යේෂණ වාර්තා හා බෞද්ධ ඉගැන්වීම් අනුව පැහැදිලි වන්නේය.

කථාවත්ථු අටුවාවෙහි සඳහන්ව ඇති අන්තරාභවවාදීන්ගේ විස්තර කිරීමට අනුව අන්තරා භවයෙහි වූ සත්ත්වයා දිවැස් නැතුව දිවැස් ඇත්තකු විදියටද සෘද්ධි ඇත්තකු හැටියටද මවුපිය සමාගමයත් මවගේ සෘතු සමයත් බලමින් සත් දවසක් හෝ වැඩි කාලයක් එහි ජීවත්වන බව කියැවෙයි. එම අටුවාවේම දක්වන ආකාරයට අන්තරාභවයට පමුණුවන ඕනෑම කර්මයක් නැත.

මැරුණු සත්ත්වයා ඊළඟ භවයෙත් උපදින්නේ යම් කර්මයකින්ද අන්තරා භවයට පිවිසෙන්නේ ඒ කර්මයටම අයත් බව කියැවෙයි. මෙම කාරණාව ඉහත සිදුවීමේ පොලොක් මහතාගේ දියණියන්ටද පොදු වූවක් බව පැහැදිලි විය යුතුය.

ඉහත විස්තරයේ දරුවන් දෙදෙනා මවුපියන්ගේ දැඩි කම්පනයත්, බලාපොරොත්තු සහගත සෙවීමත් වන සිතුවිලි අතරින් නැවත ඔවුන් අතරටම එන්නට වූ බව පෙනෙන්ට තිබේ. භවය පුරා එක්වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම තමන්ගේම දරුවන්වී උපදින්නේ එහිදී ඇතිවන සෙනෙහස ඉදිරියට යන නිසා නැවත නැවතත් එම දරුවන්ට එම මවුපියන්ම හමුවන්නට පුළුවන. අන්තරාභවයක සිට නැවත උපත ලද පොලොක් දැරියන්ගේ කතා පුවත මෙන්ම අප රටේදී වරින් වර වාර්තා වුණු මෙයාකාරයේම වූ සිදුවීම් පිළිබඳ තොරතුරුවලදීත් විමසා බලා අවබෝධ කරගත හැක්කේද මෙයයි. කෙසේ වෙතත් චිත්ත ශක්තියෙන් කළ හැකි දේ බොහෝය. එය ප්‍රාර්ථනාවක් හා බැඳී බලවත් විය හැකිය.

එස්. රණසිංහ