වසරක් පාසා ජනාධිපති සමාව ලැබෙන ඇමෙරිකාවේ කළුකුම් දෙදෙනා

සෑම වසරකම නොවැම්බර් 04 වැනිදා ඇමෙරිකාවේ පැවැත්වෙන ජාතික දෙවියන්ට ප්‍රශංසා කිරීමේ දිනයේදී (Thanksgiving Day) ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අපූරු චාරිත්‍රයක් ඉටු වෙනවා. ඒ තමයි කළුකුම් සතුන් දෙදෙනකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම. පසුගිය වසරේ ජනාධිපති සමාව හිමි වූ 'පීස්' සහ 'කැරට්ස්' යනුවෙන් හැඳින්වෙන කළුකුම් දෙදෙනාට ජනාධිපති සමාව හිමිවීම පිළිබඳ ප්‍රකාශ කිරීම සඳහා ඇමෙරිකාවේ ජාතික කළුකුම් සම්මේලනය මඟින් වොෂිංටන් ඩී.සී. හිවිලාර්ඩ් හෝටලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවා සංවිධානය කොට තිබුණා.
දෙවියන්ට ප්‍රශංසා කිරීමේ දිනයේදී බොහෝ කළුකුම් සතුන්ට අහිමි වන මේ අගනා වරම ඇමෙරිකානු ජනාධිපතිවරයා අතින් හිමිකරදීම සඳහා සුදු පියාපත් සහිත මේ කළුකුම් දෙදෙනා රැගෙන විත් තිබුණේ දකුණු ඩැකෝටාහි හියුරන් නගරයේ සත්ත්ව ගොවිපළකිනුයි. පීස් සහ කැරට්ස් මේ සඳහා තෝරාගෙන තිබුණේ 'ජනාධිපතිවරයාගේ රංචුව' ලෙස හැඳින්වෙන පුෂ්ටිමත් කළුකුම් සතුන් 50 දෙනකුගේ රංචුවකිනුයි. මේ දෙදෙනා බිහිවී තිබුණේ 2018 ජුනි 28 වැනිදාය. පීස් කිලෝ 18ක බරින් යුතු වූ අතර කැරට්ස් ගේ බර කිලෝ 19ක් වුණා.

මේ දෙදෙනා අතරින් පීස් දෙවියන්ට ප්‍රශංසා කිරීමේ දින නිල ජාතික කළුකුමා වූ අතර කැරට්ස් තෝරාගෙන තිබුණේ විකල්ප නිල ජාතික කළුකුමා ලෙසයි. සමාව ප්‍රදානය කිරීමේ නිල උත්සවය සඳහා ධවල මන්දිරයට රැගෙන ආ කළුකුම් දෙදෙනා මේසයක් මත තබා ඉන් පීස් ගේ හිසට උඩින් අත එසැවූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "ර්ථීඥඵ, ධ් ඩඥපඥඡර ඨපචදබ රධභ ච ටභතත නචපඤධද" යනුවෙන් ප්‍රකාශ කරමින් ජනාධිපති සමාව ප්‍රදානය කරනු ලැබුවා.

සෑම වසරකම දෙවියන්ට ප්‍රශංසා කිරීමේ සතියේදී ඒ වනවිට බලයේ සිටින ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේ මේ අන්දමින් කළුකුම් සතුන් දෙදෙනකුට ජනාධිපති සමාව ප්‍රදානය කරන අතර ඉන් අනතුරුව වර්ජීනියා හි පිහිටි සත්ත්ව හා කුකුළු විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පවත්වාගෙන යනු ලබන 'ගොබ්ලර්ස් රෙස්ට්' නම් ස්ථානයේ උන්ට ස්වභාවිකව මියයනතුරුම නිදහසේ ජීවත් වීමට අවස්ථාව ලැබෙනවා. මෙය කළුකුම් ඇතුළු විවිධ සතුන්ගේ පැවැත්ම පිළිබඳ විද්‍යාඥයන් විසින් පර්යේෂණ පවත්වන මධ්‍යස්ථානයක්. කෙසේ හෝ මෙහිදී උන්ට කළුකුම් සතුන් අතර තානාපති මට්ටමේ සැලකිලි ලැබෙන බවයි සඳහන් වන්නේ. මේ වනවිට පීස් සහ කැරට්ස් ජීවත් වන සුඛෝපභෝගී කළුකුම් කුඩුව තුළ 2016 බැරක් ඔබාමා වෙතින් සමාව ලද ටාටර් සහ ටොට්, 2017 ජනාධිපති ට්‍රම්ප් අතින් සමාව ලද ඩ්‍රම්ස්ටික් සහ විෂ්බෝන් යන කළුකුමන්ද ජීවත් වෙනවා.

'ධවල මන්දිර ඓතිහාසික සංගමය' මඟින් සඳහන් කරන අන්දමට මේ අන්දමින් කළුකුම් සතුන්ට මුල් වතාවට දයානුකම්පාවක් දක්වා ඇත්තේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයායි. එවකට ධවල මන්දිර වාර්තාකරුවකු වූ නෝවා බෘෘක්ස් සඳහන් කොට ඇත්තේ 1865දී ලින්කන් පවුලේ නත්තල් රාත්‍රි භෝජන සංග්‍රහය සඳහා රැගෙන ආ කළුකුමකු නොමරන ලෙස ලින්කන් ගේ පුත් ටැඩ් ඉල්ලා සිටි අතර ඒ අනුව ලින්කන් ඒ කළුකුමා නොමැරීමට උපදෙස් දී තිබෙනවා. ඉන් අනතුරුව ඇමෙරිකාවේ සංවිධාන සහ බාලදක්ෂිකා සංගමය මඟින් අලංකාර ලෙස සැරසූ කළුකුමන් ජනාධිපතිවරයාට තිළිණ කිරීමේ සිරිත්ද පැවැති බව සඳහන්. කෙසේ හෝ 1947දී එවකට ජනාධිපති හැරී එස්.ටෘෘමන් වෙත ඇමෙරිකාවේ 'කුකුළන් හා බිත්තර මණ්ඩලය' සහ 'ජාතික කළුකුම් සම්මේලනය' මඟින් ප්‍රදානය කරන ලද කළුකුමන් දෙදෙනාට නම් සමාවක් ලැබුණු බවක් සඳහන් වන්නේ නැහැ.

ඉන් අනතුරුව 1963 දී ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි දෙවියන්ට ප්‍රශංසා කිරීමේ දිනය සඳහා ගෙනා කළුකුමෙකුව නිදහස් කර හැරීමට පියවර ගෙන තිබෙනවා. එසේම 1970 වකවානුවේ මේ අන්දමින් එවකට ජනාධිපති ආර්යාව වූ පැටිරීෂියා නික්සන් විසින් කළුකුමන් දෙදෙනකුගේ ජීවිත ගලවා ගැනීමට සමත්ව ඇති අතර බේරා ගත් සතුන් දෙදෙනා සතුන් වත්තකට යැවීමට කටයුතු කොට තිබෙනවා. මේ අන්දමින්ම 1978දී ජනාධිපති ආර්යා රොස්ලින් කාටර්ද කළුකුමන් දෙදෙනකු නිදහස් කොට යැවීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

වසර 1981 දී ජනාධිපති රොනල්ඩ් රේගන් මෙය තවදුරටත් විධිමත් කළ අතර ජීවිතදානය ලබා දෙන කළුකුමන් සත්ත්ව ගොවිපළකට භාර දී උන්ට නිදහසේ සිටීමට අවකාශ සලසා දුන්නා. නිල වශයෙන් කළුකුමන්ට ජනාධිපති සමාව ලබාදීම සම්ප්‍රදායක් බවට පත් වූයේ 1989 ජෝජ් එච්.ඩබ්ලිව්. බුෂ් ජනාධිපතිවරයාගේ නිල කාලයේයි. කෙසේ හෝ ඇමෙරිකාවේ ජාතික කළුකුම් සම්මේලනය සඳහන් කරන අන්දමට එරට වෙසෙන කළුකුමන් අතරින් පීස්ට සහ කැරට්ස්ට ජනාධිපති සමාවක් හිමි වුවත් ඒ තරම් වාසනාවන්ත නොවූ උන්ගේ පරම්පරාවේ කළුකුමන් මිලියන 46කට පමණ 2018 වසරේ දෙවියන්ට ප්‍රශංසා කිරීමේ දිනයේ රෑ කෑම මේස මත දිවි අහිමි වී තිබෙනවා.

ගැමුණු රත්නායක
gossip lanka