"ඉතාලියේදී සියදිවි හානි කරගෙන මිය ගිය දුවගේ දේහය ගේනකල් බලාගෙන ඉන්නවා, බෑනාගේ අතුරුදන්වීම ගැන අපිට සැකයි - මව කියයි

ඉතාලියේ නාපෝලි නගරාසන්නයේ කාමරයක් තුළ එල්ලී දිවි නසාගත් බව කියන කතකගේ මරණය සැක සහිත බව දෙමාපියන් සහ ඥාතීන් සැක පහල කරන අතර නාපෝලි පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙනවා.

මියගොස් ඇත්තේ මාරවිල - මහවැව කොස්වාඩියේ උමයන්ගි සුධාරි වීරසිරි නමැති 32 කාන්තාවක්.
ඇයගේ දෙමාපියන් වන සුගත් වීරසිරි සහ ඉමෙල්කා දිල්හානි ප්‍රකාශ කරන්නේ,

අපේ දුවට එල්ලිලා මැරෙන්න හේතුවක් නැහැ. දුව නිතර අපට කතා කරනවා. 29 දාත් පොඩි දුවට කතා කළා. බෑනා 31 දා නැවතිලා හිටපු කාමරයෙන් පිටවෙලා තියෙනවා. දුවගේ ෆෝන් එකට කතා කරල නැති නිසා ඥාතීන්ට කතා කරල බැලූවා. දුව මිය ගිහින් කියලා ඔවුන් පැවසුවා. නාපෝලි පොලිසිය පරීක්‍ෂණ පවත්වනවා. බෑණා අතුරුදන් වීම ගැන අපිට සැකයි.

මව වන ඉමෙල්කා පැවසුවේ අපි ජා ඇල ප්‍රදේශයේ ඔහු ගැන හෙව්වා. හොයා ගන්න නෑ. ෆෝන් වැඩ කරන්නේ නෑ. දුව මැරුණු බව හෝ වෙනත් දෙයක් සිදු වූ බව දැනගෙන එයා හැංගිලා ඉන්නවා.

උමයන්ගිගේ නැගණිය වන උමේෂි මධුරිකා පැවසුවේ, අපේ අම්මාගේ ඥාතීන් කීපදෙනෙක් ඉතාලියේ ඉන්නවා එයාලා කිව්වා මස්සිනාගේ ලියැකියවිලි සේරම අරන් ගිහින් කියලා. දැන් කාමරයට පොලිසිය සීල් තියලා විමර්ශනය කරනවාලූ.

උමයන්ගි පෙර විවාහයකින් වෙන් වී යළි විවාහ වීමට කටයුතු කර ඇත්තේ ජාඇල ප්‍රදේශයේ පදිංචි කලින් විවාහ වූ පුද්ගලයකු සමගයි .

පළමු විවාහයෙන් උමයන්ගිට දරුවන් නොමැති අතර දෙවන විවාහයේ සැමියාට පළමු විවාහයෙන් දරුවකු සිටීන බව සදහන්. උමයන්ගි ඉතාලි ගොස් ඇත්තේ දැනට වසර 8 කට පමණ පෙරයි. දෙවන විවාහයෙන් පසුව ඔවුන් ඉකුත් සැප්තැම්බර් මාසයේ ඉතාලි ගොස් තිබේනවා.

උමයන්ගි ගේ මව තවදුරටත් කියා සිටියේ,  මගේ දුව කිව්වා කලින් කසාදේ දරුවට නඩත්තු ගෙවන්නත් තවත් දෙයකටත් බෑනා සල්ලි ඉල්ලනවා කියලා. අපි ඒකට රුපියල් ලක්‍ෂ දහයක් හොයලා දුන්නා. අපි බෑනාව විශ්වාස කළා. අපේ දුව එල්ලිලා මැරිලා කියලා ඉතාලියේ අය කියනවා. ඒත් අපිට මේක සැක සහිතයි. ලංකාවේ හැංගිලා ඉන්න බෑනා ගැන අපි පොලිසියට පැමිණිලි කරනවා.

ඉතාලි පොලිසියේ විමර්ශනවලින් පසුව දේහය ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බවත් සදහන්.  ඒ සඳහා දෙමාපියන්, ඥාතීන් හා අසල්වාසීන් එක්ව නිවස සූදානම් කර තිබෙනවා.