"ඌට ඇතිවෙලාද කොහෙද මට ඇඳුම් ඇඳගන්න කිව්වා. පස්සේ මගේ අතට සල්ලි මිටියක් දුන්නා" - සැමියා නිසා වීදි ගණිකාවක් වූ තරුණියක් කියන සංවේදී කතාව

බටහිර අහසේ හිරු මුහුදේ ගිලෙද්දි කොළඹ නගරයට ආලෝකය ලැබෙන්නේ විදී පහන්වලින්. හිරු අවරට ගොස් හෝරා දෙක තුනක් ගතවෙද්දි දවල් දවස පුරා සිහිනෙක දැවුණු කොළඹ නගරයට යම් සිහිලැල් බවක් ලැබෙන්නේ එය සම සීතෝෂ්ණ කලාපයක පිහිටීම නිසායි.

දිවා කාලයේදී රැකියාවල නිරත වූවන් නිවෙස්වලට ගුලි වෙද්දි දිවා කාලය පුරා නිවෙස් වලට ගුලි වී සිටි පිරිසක් එලි බසින්නේ සිය රාජකාරි ඇරඹීම සඳහායි.
ඒ අතර රාත්‍රීයේ මහ පාරට බැසීම තහනම් වූ පිරිසක් ද සිටිනවා. තහංචි කොපමණ තිබුණත් ඔවුන්ට රාත්‍රීයේදී මහපාරට නොබැස සිටීමට නොහැකියි.

ඒ තමන්ගේ රැකියාව කරගන්නට නම් රාත්‍රීයේදී එළියට බැසිය යුතුම නිසායි.

අඳුර නිවන්නට දැල්වූ විදුලි පහන් යට එහා මෙහා යමින් දකින දකින පුරුෂයාට ඉඟි බිඟි පාමින් සැරිසරන මේ ළඳුන් හඳුන්වන්නේ වීදි සරන ළඳුන් නොඑසේනම් ගණිකාවන් ලෙසයි.
ඇයට කියන තවත් නමක් වන්නේ නගර සෝබනියයි. රාත්‍රීයේ විදී සරන ළඳුන් බොහෝමයක් සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා. ඔවුන්ගෙන් වැඩි පිරිසක් මුදලට සිය ශරීරය විකුණන්නේ දරු පවුල් රැක ගැනීම උදෙසායි.

සින්නියා ද ඒ වගේ කෙනෙක්. ඇය අද සිටින්නේ සිරගතවයි. අවේලාවේ විදී සැරිසැරුවේය යන චෝදනාවටයි.

“මම සිංහල මුස්ලිම් මිශ්‍ර පවුලක උපන් දරුවෙක්. අපේ අම්මා මුස්ලිම්, එයා හරි ලස්සනයි. අපේ තාත්තා එච්චර හොඳ කෙනෙක් නෙවෙයි. නීති විරෝධී ව්‍යාපාරවල තමයි යෙදිලා හිටියේ.‘‘

‘‘අපේ ගෙවල් තිබුණේ මෝදර පැත්තේ. තාත්තා ගංජා විකුණනවා. කසිප්පු විකුණනවා. පොකැට් ගහනවා. ඒ නිසා පොලීසිය නිතරම වගේ අපේ ගෙදරට පනිනවා. ගෙයක් කිව්වට ඒක මුඩුක්කුවක්. මට ඒ ගෙදර තිත්ත වෙලයි හිටියේ. අවුරුදු දාසයක් වෙද්දි අහම්බෙන් හම්බෙච්ච නිශාන්ත එක්ක මම පැනලා ගියේ සතියක් ආශ්‍රය කරලා..‘‘

‘‘බලාගෙන ගියාම එයාගේ ගෙවලුයි මගේ ගෙවලුයි අතර වෙනසක් නැහැ. එයා කොළඹ හතේ කිව්වම මම හිතුවේ හොඳ සල්ලිකාරයෙක් කියලා. බලද්දි කොළඹ මුඩුක්කුවක ලොකු ඉස්කෝලයක් ඉස්සරහ තමයි එයාගේ ගෙවල් තිබුණේ.. එයාටත් රස්සාවක් තිබුණේ නැහැ. ඒ මදිවට හැමදාම රෑට බොනවා. ඒ ගෙදර හිටියේ එයාගේ අම්මයි තාත්තයි නංගියි. අපි පුංචි කොටසක් වෙන් කරගෙන සාරි ඇදලා මංගල යහන හදාගත්තා...‘‘

‘‘මට දරුවෙක් ලැබෙන්න ආවා. එයාගේ කමැත්තක් තිබුණේ නැහැ. මගෙත් නෑ. ඒත්... ඒ ළමයා ආවේ තනියම නෙවෙයි. නිවුන්නු. ඉතින් නිවුන්නු වුණාම කරදර කොච්චරක්ද කියලා කියන්න ඕනි නෑනේ. ළමයි හම්බුණාට පස්සේ එයා වෙනස් වුණා. සල්ලි හම්බකරන්න විදිහක් කල්පනා කළේ නෑ. මට බැනපු එකයි කළේ. දවසක් එයා මාව හොඳට අන්ඳවගෙන දරුවෝ දෙන්නා අම්මලාට භාරදීලා ත්‍රීවිල් එකක් අරන් ඇවිත් ගමනක් යමු කිව්වා. කොහෙද යන්නේ ඇහුවත් උත්තරයක් දුන්නේ නෑ..‘‘

‘‘ඒක හෝටලයක්. ඒ තරම් ඉහළ පැලැන්තියේ නෙවෙයි. ඒ වුණාට ලස්සනයි. මට ඉස්සරහ වාඩිවෙන්න කියලා එයා පිළිගැනීමේ නිලධාරියා හමුවුණා. මොනවද කතා කරලා මාව උඩ තට්ටුවට එක්කන් ගියා. ඒ තට්ටුව හරි පාලුයි. කාමර ගොඩක් තිබුණා. දොර ළඟ හිටියා වයසක මනුස්සයෙක්. මෙයා මට කිව්වා ඇතුළට යන්න කියලා. මම ඇයි ඇහුවා. මේ මොනාද වෙන්නේ කියලා මට තේරුණේ නැහැ...‘‘

‘‘බලද්දි ඒ මිනිහාට මාව විකුණලා සල්ලිවලට. මම කාමරේට යන්න බෑම කිව්වා. ඒත් එයා මාව බලෙන් තල්ලු කරලා දොර වහගෙන ගියා. අර නාකි මිනිහා එදා පැය තුන හතරක් තිස්සේ මට ඉන්න දුන් නෑ. මට පුදුම අප්පිරියාවක්. ඒත් කරන්න දෙයක් තිබුණෙත් නෑ. ඌට ඇතිවෙලාද කොහෙද මට ඇඳුම් ඇඳගන්න කිව්වා. පස්සේ සල්ලි මිටියක් දුන්නා මගේ අතට. රුපියල් දාහේ කොළ විස්සක් තිබුණා. ඒක මට දීපු සම්තින් එකක්. වැඩේ සල්ලි මගේ මිනිහා අරන් තිබුණා...‘‘

‘‘එදා ඉඳලා මිනිහා දිගටම මාව විකිණුවා. අපි ඒ ගෙදරින් ගියා. ඊට වඩා හොඳ ගෙයක් කුලියට අරගෙන මගේ අම්මවත් මම ඒ ගෙදරට එක්කන් ආවා. දිගටම මේ රස්සාව කළා. ඔය අතරේ මගේ මිනිහා මහ ජරා විදිහට මාව විකුණන්න ගත්තා. පස්සේ එක මිනිහෙක් නෙවෙයි, යාලුවෝ කට්ටියක්. උන් සේරම වටවෙලා මට දෙන වද ගැන කියන්න වචන නැහැ. හැබැයි අන්තිමට මට හොඳ ගානක් ලැබෙනවා...‘‘

“ඔහොම ඉද්දි දවසක් අපේ මිනිහා ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙට අතුළත් කරලා තිබුණා. ටික දවසකින් ඌ මැරුණා. මට ඒකට දුකක් නෑ. ඒත්... සතුටකුත් නෑ. මොකද හිටියයි කියලා මිනිහා මාව බලාගත්තේ නෑනේ... ඌ මැරුණට පස්සේ මට ලොකු නිදහසක් ලැබුණා. මම තීරණය කළා හඳුන්කූරු පහන්තිර ටිකක් විකුණලා ජිවත් වෙන්න. මගේ අතේ සල්ලි ටිකක් තිබුණා.මම බස්වලට නැගලා ඒවා විකිණුවා. ඒත්.. හරි හැටි ගානක් හොයාගන්න බැරිවුණා...‘‘

‘‘ඔය අතරේ දවසක් බස් එකේ බිස්නස්වලට ගිය වෙලාවේ දැකලා පුරුදු කෙනෙක් බස් එකේ වාඩිවෙලා හිටියා. ඒ මගේ මිනිහගෙන් මාව සල්ලි වලට ගත්තු කෙනෙක්. ඌ මාව අඳුරගත්තා. ඌ සල්ලිකාරයෙක් වුණාට යන්නෙ එන්නෙ බස් එකේ. ඌ මට නම්බර් එක දීලා කතා කරන්න කිව්වා. රස්සාවක් හොයාගන්න පුළුවන්ද බලන්න මම කෝල් කළා... ඌ මට එන්න කිව්වා, මම ගියා..‘‘

‘‘ඌ මාව එක්කන් ගියෙත් හෝටෙල් එකකට. ඒ වෙලාවේ තවත් පිරිමි අය වගයක් හිටියා. උන් ඇවිත් හිටියේ ගෑණූ හොයාගෙන. එදා ඒ හෝටලේට වෙනදා වැඩ කරන අය ඇවිත් නෑ, මට ඒ වැඩ ටික කරන්න පුළුවන්ද කියලා මට ආපහු එන්න එද්දි හෝටලේ වැඩකරන කෙනෙක් ඇහුවා, මට ඒකපාරම ‘හා‘ කියවුණා..‘‘

‘‘එදා හවස්වරුවේ විතරක් මම රුපියල් තිස්දාහකට එහා හොයාගත්තා. ඌ තමයි පස්සේ බිස්නස් එහෙම හොයලා දුන්නේ. ඌටත් ගානක් දීලා මමත් ගානක් හොයාගෙන වැඩේ කරගෙන ගියා. එදා පොලීසියට අහුවුණේ ඌ නිසා. ඌ කිව්වා රෑ දහාය හමාර වෙද්දි බම්බලපිටිය එම්.සී. එක ළඟ පාරේ අයිනේ ලයිට් කණුව යට ඉන්න කියලා. කවුරුත් ඒ වෙලාවේ පැත්ත පළාතක හිටියේ නෑ. පොලීසියෙන් ඇවිත් මාව වට කරගෙන ප්‍රශ්න ගොඩක් ඇහුවා. ඒවට මට උත්තර දීගන්න බැරිවුණා. මාව අත්අඩංගුවට අරගෙන අවේලාවේ විදී සරනවා කියලා උසාවි දැම්මා...‘‘

‘‘වැඩි දඬුවමක් නෑ. සති හතරයි. ඒත්... මගේ දරුවන්ට මේ දවස් ටිකට කන්න දෙන්නේ කවුද...‘‘