"මම විදෙස් ප්‍රසංගයකට ගිහින් එද්දී මාව දැකලා එයා විවාහ යෝජනාවක් ගෙනාවා" - ශානිකා මධුමාලි

මම මගේම සින්දුවක් නොකර හිටියේ මම කලින් කරපු ගොඩක් ගීත එක දිගට රිලීස් වුණා. සමහර ගීත කාලයකට කලින් කරපු ගීත. ඒ ගීත දැන් තමයි රිලීස් වෙන්නේ. මම වෙන අය එක්ක ඩුවට් කරපු ඒවත් රිලීස් වුණා. ඉතිං එක ගොඩේ සින්දු එන්න ඕනේ නැති නිසා මගේම ගීතයක් කරන එක මම ටිකක් නතර කරලා තිබුණේ. දැන් ටිකක් හිතලා බලලා වැඩ කරනවා.

ඒ කිව්වේ ශානිකා කලින් වැඩ කළේ හිතලා බලලා නෙමෙයිද?
මෙහෙමයි. මම ක්ෂේත්‍රයට ආපු කාලේ ලැබෙන හැමදේම කළා. එක එක කෙනා එක්ක ගීත කිව්වා. සල්ලි නැතුවත් සින්දු කියලා තියෙනවා. ඒ කාලේ මට තෝරා ගැනීම් කොහොමද කරන්නේ කියලා තේරුමක් තිබුණේ නැහැ. කරන්න ඕනේ මොනවද, කරන්න ඕන නැත්තේ මොනවද කියලා වැටහීමක් නැතුව වැඩ කළේ. දැන් මම මගේම ගීත සහ චැනල්වලින් ලැබෙන ආරාධනාවලට තමයි සම්බන්ධ වෙන්නේ. මම සුපර් ස්ටාර් තරගයෙන් ආපු විදියක් තියෙනවා. ඒ විදිය තියාගෙන මම දැන් වැඩ කරන්නේ.

තරුවක් වෙලා එළියට ඇවිත් ශානිකා තමන්ගේ හැකියාවෙන් වැඩ ගත්තා මදි කියලා හිතෙන්නේ නැද්ද?
ප්‍රයෝජන ගත්තා මදි. ඉදිරියේදී නම් මම වැඩවලින් නිහඬ වෙන්නේ නැති වෙයි. දැනට මට තියෙන්නේ හොඳ ගීත කීපයයි. ඉදිරියේදී මගේම ගීත කිහිපයක් එළියට එයි. මගේම ගෘහස්ථ ප්‍රසංගයක් කරන්න ආසාවක් මට තියෙනවා. ඒ වෙනුවෙන් ගීත ටිකක් එකතු කරගන්න ඕන.

මේ වසරේ ශානිකාගේ ජීවිතේ සුවිශේෂී දෙයක් සිද්ධ වෙන්න යනවා කියලා ආරංචියි.
ඔව්.. ඔව්.. මම විවාහ වෙන්නනේ යන්නේ. ඔක්තෝබර් මාසයේ තමයි අපේ විවාහය සිද්ධ වෙන්නේ.

ඒ කෙනා කවුද කියලා කිව්වොත් නරකද?
දැන්ම එයාගේ නම ගම නොකියා ඉන්නම්. හැබැයි එයා කලා ක්ෂේත්‍රයට නම් සම්බන්ධ නැති කෙනෙක්. වෙලාව ආවම අනිවාර්යයෙන්ම එයා කවුද කියලා කියනවා. මම හිතන්නේ මම හරිම කෙනා ජීවිතයට තෝරාගෙන ඉන්නේ.

ශානිකාගේ ජීවිතයට එකතු කරගන්න තෝරාගත්ත කෙනා හමුවුණේ කොහොමද?

මම විදෙස් ප්‍රසංගයකට ගිහින් එද්දී මාව දැකලා එයා විවාහ යෝජනාවක් ගෙනාවා. කතා බහ කළාම මගේ ගමනට උදවු කරන්න පුළුවන් හොඳ කෙනෙක් කියලා දැනුණා. විවාහ යෝජනාව ගෙනෙද්දී එයා දැනගෙන හිටියේ නැහැ මම ගායිකාවක් කියලා. හැබැයි එයා සින්දුවලට හරිම ආසයි.

ඒ ගෙනාපු විවාහ යෝජනාවට ශානිකා එක පයින්ම කැමැති වුණාද?
දැන් මිනිස්සු ගැන විශ්වාස කරන්න අමාරුයි. මට මුල ඉඳලම හමුවුණ අය වාසියට හිටියා මිසක හරියට ඉඳලා නැහැ. ඉතිං මම මේ තීරණය ගන්න ටික කාලයක් ගත්තා.

ශානිකා දැන් පෙම්වතියක් කියලා දැනගත්තම ශානිකාගේ ආදරේ බලාපොරොත්තු වුණ තරුණයන්ට ආපහු හැරෙන්න වෙන්න ඇති?
මට කෝල් කරලා මේ කතාව ඇත්තක්ද කියලා අහපු අයත් හිටියා. මගේ හිත කොතනක හරි නතර වුණොත් ඒක වෙනස් වෙන්නේ නැහැ. අපිට දෙපාර්ශ්වයේම ආශීර්වාදය ලැබිලා තියෙන්නේ.

විවාහයේ කටයුතු කරද්දීත් ශානිකාට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා නේද?
ඇත්තටම මගේ සැමියා වෙන්න ඉන්න කෙනා විදේශගතව ඉන්නේ. එයා ලංකාවට එන්නේ විවාහය ළංවෙද්දී. මම මෙහේ ඉඳන් ඒ වැඩ කටයුතු සැලසුම් කරද්දී එයා එහේ ඉඳන් ඒ සියල්ල සූදානම් කරලා දෙනවා.

සමහරු විවාහ වුණාම ක්ෂේත්‍රයේ වැඩ කටයුතුවලින් ඉවත් වෙනවා. ශානිකාටත් එහෙම වෙයිද?
මමත් හිතාගෙන හිටියේ විවාහ වුණ කාලෙක ගායන ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න වෙයි කියලා. මොකද විවාහ වුණාට පස්සේ ගැහැනු අයට පවුල ගැනත් හිතන්න වෙනවනේ. ඒත් මම හිතපු විදියටත් වඩා හොඳ කෙනෙක් මට ලැබිලා තියෙන්නේ. එයා මට කියලා තියෙන්නේ ඔයා ඔයාගේ වැඩ හරියට කරන්න. පවුලේ දේවල් එයා බලාගන්නම් කියලා. ඒ නිසා විවාහ වුණා කියලා මට කලා කටයුතුවලින් ඉවත් වෙන්න ඕනේ නැති වෙයි.

ශානිකාගේ ජීවිතේට මේතාක් ලැබිච්ච නොලැබිච්ච දේවල් ගැන මොකද හිතන්නේ?
මගේ ජීවිතේ මම හිතුවේවත් නැති දේවල් මට ලැබුණා. ඒ වගේම හිතුවේවත් නැති විදියට දේවල් නැති වුණා. ඒ නැතිවුණ දේවල්වලින් මම පාඩම් ඉගෙන ගත්තා. දැන් මම තීරණයක් ගනිද්දී එක පාරක් නෙමෙයි පහළොස් වතාවක් හරි හිතනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ