"තෙවරප්පෙරුම හමුදාවෙන් පැනපු කෙනෙක්" - තෙවරප්පෙරුමගේ පැටිකිරිය ෆොන්සේකා යළිත් හෙළිකරයි - (video)

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ද නාවික හමුදාවේ රියදුරෙකු ලෙස සේවය කරමින් සිට යුධ සමයේ ඉන් පළාගිය පුද්ගලයකු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ අනුව දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම එකම ගණයේ මිනිසුන් බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

එසේම බොඩිය තිබුණාට පාර්ලිමේන්තුවේදී තෙවරප්පෙරුම මහතා ගුටි කෑ හැටි තමන් දුටු බව පැවසූ ෆොන්සේකා මහතා බොඩිය තිබුණාට මොළය නැතිනම් වැඩක් නොවන බව ද ප්‍රකාශ කළේය.

2010 තෙවරප්පෙරුම මහතාට සිරගත වීමට සිදු වුණේ තමන් වෙනුවෙන් වැඩ කළ නිසා නොවන බවත් ගල්කටස් ගිනිඅවි සහ බෝම්බ රැගෙන කළුතර ප්‍රදේශයේ මැර ක්‍රියාවක් සඳහා වෑන් රථයකින් යමින් සිටියදී පොලිසිය විසින් ඔහුව අල්ලා සිරගත කෙරුණු බවත් ෆොන්සේකා මහතා පෙන්වා දෙයි. එවැන්නකට වගකීමට තමන්ට නොහැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

තමන් එදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ නම් තෙවරප්පෙරුම වැනි දූෂිත, දාමරිකයින්ට දේශපාලනයේ රැඳී සිටීමට ඉඩ නොදෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙවැනි අබ්බ ගොබ්බ, මන්ද බුද්ධික චරිත පාර්ලිමේන්තුවට නොඑවන ලෙස කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

යහපාලන රජයේ වනජීවී අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා මහතාට එහි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පාලිත තෙවරප්පෙරුම මහතා විසින් පසුගිය සතියේදී චෝදනා වැලක් එල්ල කෙරුණු අතර ඉන් ඉදිරියට දෙදෙනාම තැන් තැන්වලදී එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින ආකාරය දැකිය හැකිය.