හරකෙක් වගේ වැඩ කරන්න ගියාම මෙල්ල කරන්න වෙනවා - ෆොන්සේකාගෙන් තෙවරප්පෙරුමට ප්‍රතිචාර

අමාත්‍යාංශ යනු පිස්සන්කොටු නොවන බවත් එතැනට පැමිණ ලණුව කඩාගත් හරකෙකු සේ යමෙක් හැසිරෙන්නේ නම් තමන්ට ඔහුව මෙල්ල කිරීමට සිදුවන බවත් හිටපු වනජිවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ හිටපු වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කළ චෝදනාවලට පිළිතුරු දෙමිනි. සරත් ෆොන්සේකා මහතා තමන්ට නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙහි වැඩ කිරීමට ඉඩ නොදුන් බවටත් තමන් වලසෙකු බේරා ගැනීමට යාල ගොස් සිටියදී තමන්ව මඟ බස්වා තමන් ගිය වාහනය ආපසු කැඳවාගත් බවටත් දැඩි විවේචනයක් පසුගියදා තෙවරප්පෙරුම මහතා විසින් එල්ල කර තිබිණි.
ඊට පිළිතුරු දෙමින් ෆොන්සේකා මහතා පැවසුවේ තෙවරප්පෙරුම මහතාට නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස වාහන තුනක් ලබාදී තිබියදී තමන්ගේ ආරක්ෂ අංශයට ලබාදී තිබුණු වාහනයක් අමාත්‍යවරයා තමන්ට එය ලබාදුන් බවට බොරු කියා රැගෙන ගොස් පාවිච්චි කළ බවත් එවන් අවස්ථාවක එය නැවත ගෙන්වා ගැනීමට කටයුතු කළ බවත්ය.

එසේම තෙවරප්පෙරුම මහතාට ලබාදී තිබුණු අමාත්‍යාංශ වාහන පාවිච්චි කළේ ඔහුගේ බිරිඳ, දරුවන් සහ ගෝලයින් බවටත් අමාත්‍ය ධුර අහිමිව තිබියදීත් භාරනොදී සඟවාගෙන සිටි එයින් එක් වාහනයක් පසුගියදා උද්ඝෝෂණයකට පැමිණීමේදී කුඩුපට්ටම් කර ඇති බවටත් සරත් ෆොන්සේකා මහතා චෝදනා කළේය. මෙය බරපතළ චෝදනාවකි.

තමන්ට පෝරිසාදයෙක්යැයි පවසා තිබුණු බව සිහිපත් කළ ෆොන්සේකා මහතා පාසලකට ගොස් ළමයින් ඉදිරියේ තමන් විසින්ම ගෙලවැළලා ගැනීමට සැරසෙන අලුගෝසුවකු වනවාට වඩා පෝරිසාදයකු වීම හොඳ බව පැවසීය.

තෙවරප්පෙරුම මහතා වනජීවී නියාමකයින්ට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් දැඩි පීඩාකාරී ලෙස කටයුතු කළ බව පෙන්වා දුන් ෆොන්සේකා මහතා තමන් නොසිටියේ නම් ඔහු මීට කලකට පෙරම වනජීවි නියාමකවරයකු අතින් වෙඩි කෑමට ද ඉඩ තිබුණු බව ප්‍රකාශ කළේය.

මෙවර තෙවරප්පෙරුම මහතාට දයා ගමගේ මහතාගේ අමාත්‍යාංශයෙහි ලැබී ඇති නියෝජ්‍ය අමාත්‍ය ධුරය ගැන අදහස් දක්වමින් ෆොන්සේකා මහතා පැවසුවේ "දයා ගමගේට දෙයියන්ගේ පිහිටයි. සමෘද්ධි නිලධාරියෝ ටික එකතුවෙලා වටකරන් ගැහුවෙ නැත්තං ඇති කොහෙදි හරි" යනුවෙනි.