“වයස අවුරුදු 106යි.. අම්මත් අවුරුදු 106ක් හිටියා, වෙදකමටත් වින්නඹුකමටත් මුදල් අය කළේ නෑ..” – දරුවන් දෙතුන්සීයකට මෙලොවට එන්නට අතදුන් රොසලින් නෝනා

ගැයුමටත් වැයුමටත් ප්‍රසිද්ධයි
“මම අකුරක්වත් දන්නේ නැති වුණාට වෙදකම් කළා, වින්නඹුකම කළා. ගැබිනි අම්මලා දෙතුන් සීයකගේ දරුවෝ මෙලොවට බිහිකරන්න මේ අත්දෙකෙන් කටයුතු කරල තියෙනවා.
මම ඉස්කෝලේ නොගියට, පුහුණුවක් නොලැබුවට මගේ අතින් කවදාවත් වරදක් වෙලා නැහැ.
ඒ කියන්නේ මරණයක් වෙලා නැහැ.” අහගෙන ඉන්නට ආසා හිතෙන ඒ සාඩම්බර වචන රොසලින් නෝනා අම්මාගේය.

ඇගේ ඊළඟ වචන, වර්තමාන කාලයට යොමු විය.
“නමුත් අද එහෙමද? අද තාක්ෂණය දියුණු වෙලා, පුහුණු වෙලා හොඳට ඉස්කෝලේ ගිහින් එන අය අතින් කොච්චර වැරදි වෙනවද?
උවමනාවක් නොමැති කම, නොසැලකිල්ල, මුදල් පසුපස පැන්නීම තමයි මේ සේරටම මුල.
මම නම් මේ දේවල් කළේ තඹ දොයිත්තක්වත් ගන්නේ නැතුවයි.”
වික්‍රම අච්චිල්ලාගේ රොසලින් නෝනා මාතාව මට හමුවුණේ වරකාපොළ දංඕවිට අල්ගම වත්තේදීය. 1912 වර්ෂයේ ඇසල මස දහහතරවැනි දින මෙලොව එළිය දුටු රොසලින් නෝනා මේ වන විට ගත කරන්නේ සිය දිවි මඟෙහි 106 වැනි කඩඉමයි. දරුවන් අටදෙනකුගේ මවක් වන රොසලින් නෝනා, ගමේ කොයි කවුරුත් හඳුන්වන්නේ කුකුල්පනේ අක්කා යන නමිනි. ඇයට තවත් පටබැඳුණු නම් කිහිපයකි. නෝනාක්කා, අල්ගම අක්කා ඒ අතරින් වඩාත් ප්‍රකට වූ නම්ය.
රොසලින් නෝනාගේ උපන්ගම කුකුල්පනේ වීම හේතුවෙන් අසල්වාසීන්ට ඇය ‘කුකුල්පනේ අක්කා’ වූ අතර, ඇය පදිංචි නිවස ‘හැත්තෑ එකේ කුකුල්පනේ ගෙදර’ නම් විය.
කොළඹ නුවර මාර්ගයේ වරකාපොළට සැතපුම් තුනක් පමණ ඉදිරියෙන් ඇති හොරගස්මංකඩ හන්දියෙන් බැස, අල්ගම මාර්ගයේ සැතපුම් තුනක් පමණ ගොස්, පුවක්ගහදෙනිය හන්දියෙන් හැරී නැවතත් සැතපුමක් පමණ ගිය තැන සාමාන්‍ය කන්දක් මුදුනේ පිහිටි හැත්තෑඑකේ කුකුල්පනේ ගෙදර හමුවෙයි.
මෙය 1954 වර්ෂයේ ඩඩ්ලි සේනානායක මහතා විසින් පවුල් 116කට ලබා දුන් ඉඩම්වලින් 71 වන බිම් කට්ටියයි.
රොසලින් නෝනා පිරිමි හතර දෙනෙකුගෙන් හා ගැහැනු දෙදෙනකුගෙන් යුත් පවුලක වැඩිමලායි. පියා වික්‍රම අච්චිල්ලාගේ පොඩි සිංඤෝය.
ගොවිතැන ඔහුගේ ප්‍රධාන ජීවනෝපාය වූ අතර සැරසිලි කිරීමේද දක්ෂයකු විය. ඒ හේතුවෙන් ගමේ මෙන්ම අහල ගම් හතේ මගුලකදී, මරණයකදී, පිරිතකදී හෝ වෙනත් උත්සවයකදී සැරසිලි කිරීමට පොඩි සිංඤෝ නැතිවම බැරි පුද්ගලයකු වී ඇත. බේබි නෝනා රොසලින් නෝනා ගේ මවයි. රොසලින් නෝනාගේ ආච්චි, එනම් අම්මා ගේ අම්මා වයස අවුරුදු 109ක් ජීවත්ව ඇති අතර අම්මා අවුරුදු 106ක් ජීවත් වී ඇත. මේ වන විට රොසලින් නෝනා තම මව පසුකරමින්, තම ආච්චිගේ වාර්තාව බිඳ දැමීමට සූදානමින් සිටී.
“ඒ කාලේ පවුලේ වැඩිමලාට ඉස්කෝලේ අකැපයි. මොකද එයා තමයි බාල දරුවෝ බලා ගන්න ඕනෑ.
කොහොමත් ඒ කාලේ ගැහැනු ළමයි ඉස්කෝලේ යවන්න දෙමාපියන්ට උවමනාවක් නැහැ. ඒ නිසා තමයි මට ඉස්කෝලේ යන්න බැරි වුණේ.
මට ඒ නිසා අත්සන ගහගන්නවත් බැහැ. හැබැයි ඒ කියලා මම කොන් වුණේ නැහැ. මම මගේ ශක්තියෙන් උපරිමයෙන් වැඩ කළා.
ඇඟිලි අත්සන තියන්න මම ලැජ්ජා වුණෙත් නැහැ. මාව ඉස්කෝලේ ඇරියේ නැති වුණාට දෑතේ වැඩ සියල්ල මට ඉගැන්නුවා.
මගේ අප්පොච්චා දක්ෂ සැරසිලි නිර්මාණ ශිල්පියෙක්. එයා දවසෙන් දවස එයාගේ නිර්මාණ අලුත් කළා. අද වගේ එකක් හදලා හත් අවුරුද්දක් කුලියට දෙන සිරිතක් ඒ දවස්වල තිබුණෙ නැහැ. පිරිත් මණ්ඩපයක් හැදුවා නම් ඒක එක පිරිතකට විතරයි.
අනෙක් පිරිත් ගෙදරට තව එකක් හදනවා. ඒ වගේ දක්ෂ නිර්මාණ ශිල්පියකුගේ දුවක් තමයි මම” රොසලින් නෝනා ආඩම්බරයෙන් කීවාය.
“අම්මා ප්‍රසිද්ධ වෙලා හිටියේ ගෙඩි වෙදකමට හා ඇස් වෙදකමටයි. මීට අමතරව කෙම් කීපයක් අම්මා ළඟ තිබුණා. විශේෂයෙන් ඇස්වහා කටවහට තෙල් මැතිරුවා. තැඹිලි හා වතුර මතුරලා දුන්නා. උදුගොව්වන් කෑවම ඒකට ප්‍රතිකාර කළා. මේ කිසි දේකට අම්මා සල්ලි ගත්තේ නැහැ.
අනෙක් ප්‍රධාන කාරණය තමයි මේ සියලු වෙදකම් සදහා බෙහෙත් සම්පූර්ණයෙන්ම හදලා දුන්නේ අම්මාමයි. කවමදාවත් කිසිම කෙනෙකුට කිසි බෙහෙතක් කියලා නැහැ. අඩුම ගානේ එකම බෙහෙතක් වත් හොයා ගෙන එන්න කියලා නැහැ.
අපිට මතක විදිහට අම්මා ලොකු ගෙඩිවලට වෙදකම් කළා. ඒ වගේම ඇස්වල හැදෙන ඕනෑම ලෙඩකට, ඕනෑම තුවාලයකට වෙදකම් කළා. වයසක් හරියටම කියන්න බැහැ අම්මගේ තරුණ කාලේදී අම්මගේ මාමා කෙනෙක් හීනෙන් තමයි මේ බෙහෙත් අම්මට කියල දීලා තියෙන්නේ. හීනෙන් කිව්වත් අම්මට මේ බෙහෙත් ගැන හොඳ අවබෝධයක් තිබුණා. අද නම් අම්මට වෙදකම් කරන්න අමාරුයි. අම්මා මීට අවුරුදු කීපයකට කලින් රශ්මි කියන මී මිනිපිරියට මේ බෙහෙත් වට්ටෝරු කියලා දුන්නා.”
ඇය මේ තොරතුරු කීවේ, මා රොසලින් නෝනා මාතාව හා දිගු කතාබහකට මුලපුරන්නට පෙරය. “දැන් අම්මට වෙදකම් කරන්න අමාරුයි කියල ඔයා හිතන්නේ ඇයි?” මම බාල දියණියගෙන් විමසීමි.
“අම්මගේ මතකය අඩුයි. ඇහෙනවා මදියි. කොටින්ම කියනවා නම් සමහර වෙලාවට අම්මගේ නම වත් අම්මට මතක නැහැ.” බාල දියණිය තම මවගේ මතකය ගැන සිතා සිටින අකාරය ඔවුන් ඉදිරියේම නිවැරදි කිරීමට මට හැකිවිණි. අවුරුදු සියය ඉක්මවූ පුද්ගලයන් පනහකට වැඩි පිරිසක් සමග කතාබහ කර අත්දැකීම් ඇති මට රොසලින් නෝනාගේ තත්වය පිළිබද වැටහීමක් තිබිණි. ඒ අනුව මා මුලින්ම කළේ ඇගේ අත අල්ලා ගැනීමයි. ඉන් පසු මා ඉතා ආදරයෙන්, ඇගෙන් නම විමසා සිටියෙමි. “මගේ නම රොසලින්” ඇය කවුරුත් පුදුමයට පත් කරමින් පැවසුවාය.
පසුව මා ඇසූ ප්‍රශ්න සියල්ලට ඇගෙන් පිළිතුරු ලැබිණි. “පුතේ මේ දරුවට බොන්න මොනවහරි දියන්” ඇය මට සත්කාර කරන ලෙසටද ඇගේ දරුවන්ට අණ කළාය. එහෙත් ඒ වන විටත් ඇගේ දරුවන් තේ මේසය සූදානම් කර තිබිණි.
රොසලින් නෝනා වෙද, හෙද කමට මෙන්ම පරම්පරාවෙන් ලැබුණු ගායනයේද, වාදනයේද දක්ෂතා පෙන්නුම් කළ තැනැත්තියකි.
ඇගේ කවි ගායනා අතර නෙළුම් කවියට ලැබී ඇත්තේ සුවිශාල. ඉල්ලුමකි. ඒ අනුව ගොයම් නෙළන කාලයෙදී මේ ප්‍රදේශයේ මෙන්ම රට වටේ ගොස් කවි කීමට ඇයට සිදුව තිබේ.
මීට අමතරව තේරවිලි කවි කීමටද ඇය හපනියකි. මේ එවැනි කවියකි.
“ඇතා මඩේ වැටුණට වෙනවද කෙට්ටු ..
කතාවට කවුද මිතුරනි පාරට්ටු
අපේ ගමට පාරක් ඇත හොඳ කිට්ටු
පතාතියට කීයද මිතුරනි තුට්ටු?”
“අපේ ගෙදර ඒ දවස්වල රබන් තුන හතරක් තිබුණා. අවුරුදු කාලේට ගමේ මඟුලක් උත්සවයක් වුණාම මේ රබන් රත් කරලා අරගෙන මුළු ගමටම ඇහෙන්න ගහනවා.
අම්මා නට නටා තමයි රබන් ගහන්නේ. අම්මගේ මේ ක්‍රියාව බලන්න අපි ඒ දවස්වල හරි ආසයි. අපි වගේම ගමේ ළමයි මේ රබන් වාදනය බලන්න එනවා.” රොසලින් නෝනාගේ වැඩිමහල් දියණිය කීවාය.
රොසලින් නෝනා විවාහ වන්නේ වයස අවුරුදු විසිපහේදියි. ඒ සමරසිංහ කන්කානමලාගේ මේරිස් සිංඤෝ සමඟය.
උඩුවක බෝපිටියේ පදිංචිව සිටි මේරිස් සිංඤෝ රොසලින් නෝනාට හමුවන්නේ පන්සලේ ඉදිකිරීම් වැඩකට පැමිණි විටදීය. විවාහයෙන් පසු 1954 වන තෙක් මේ ජෝඩුව පදිංචිව සිටියේ බෝපිටියේය.
රොසලින් නෝනාට හා මේරිස් සිංඤෝට දරුවන් අටදෙනෙකි. වැඩිමලා වන්නේ එස්.කේ. ඩිංගිරි මහත්තයායි.
මේ වන විට හැත්තෑ නව හැවිරිදි වියේ පසුවන ඇය, මහ ගෙදර නැවතී සිය මව බලා කියා ගනී. දෙවැන්නිය හීන් නෝනා හැත්තෑ හත් හැවිරිදිය.
හැත්තෑපස් හැවිරිදි සිපින් නෝනා තෙවැන්නියයි. ජේන් නෝනා, ජයරත්න, ප්‍රේමරත්න, ආරියවතී, සුමනාවතී සෙසු දරුවන්ය.
මේ වන විට ප්‍රේමරත්න හා ජේන් නෝනා මියගොස් ඇත. බාල දියණිය වූ සුමනාවතී සිය මව බලා කියා ගැනීම වෙනුවෙන් කැප වී සිටී. ඇය අවිවාහකය. ඇය සිය මව ජීවත් කරවීම සඳහා හා තමාගේ වියහියදම් පියවා ගැනීම සදහා බීඩි එතීමේ නිරත වන අතර රබර් කිරි කැපීමද සිදු කරයි.
“අම්මට වැඩිහිටි දීමනාව කියලා රුපියල් දෙදාහක් දුන්නා. පස්සේ ඒකෙන් සියයක් අඩු කරගත්තා.
දැනට අවුරුදු දෙකකට විතර කලින් ආණ්ඩුවෙන් මේ වයසක ඇයට පොරොන්දුවක් වුණා රුපියල් පන්දාහක් දෙනවා කියලා. නමුත් අපිට තාම ඒක ලැබුණේ නැහැ.
අපි හිතනවා ආණ්ඩුව මේ වයසක අයට වත් බොරු නොකරයි කියලා.” සුමනාවතී කීවාය.
gossip lanka