චීන වරාය ගුවන් හමුදා කඳවුරට ආ පෞද්ගලික ගුවන් යානය පිටව ගියේ අනවසරයෙන්ද..? මතභේදාත්මක කතාව ගැන නිල ප‍්‍රකාශයක් !

විදෙස් ව්‍යාපාරිකයින් පිරිසක් රැගෙන මෙරටට පැමිණි පෞද්ගලික ගුවන් යානයක් අනවසරයෙන් රටින් බැහැරව ගිය බව කියන සිදුවීම සම්බන්ධයෙන් සොයා බලන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරනවා.

අදාල පුද්ගලික ගුවන් යානය පසුගිය 03 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණ තිබුනේ සිංගප්පූරු ව්‍යාපාරිකයින් දෙදෙනෙකු සහ චීන ව්‍යාපාරිකයින් තිදෙනෙකුද සමගයි.
කෙසේ නමුත් අදාල ගුවන් යානය කටුනායකට පැමිණීමෙන් අනතුරුව  අදාළ ගුවන් යානයෙන්ම තී‍්‍රකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ පථයට ගොඩබස්වා තිබුණා.ඉන් අනතුරුව ඊයේ (06) දිනයේදී එම ගුවන් යානය නිසි ක්‍රමවේදයකින් තොරව තී‍්‍රකුණාමල ගුවන් හමුදා කඳවුරෙන්ම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුනේ.

මෙරටට පැමිණි ගුවන් යානයක් රටින් පිටව යා යුත්තේ අනුමත ගුවන් තොටුපළකින් පමණක් වන අතර ආගමන විගමන නීතියට අනුව අනුමත ගුවන් තොටුපළක් නොවන ස්ථානයකින් කිසිවෙකුට හෝ රටින් පිටව යාමට අවසර හිමිවන්නේ නැහැ. එහෙත්, මෙරට අනුමත ගුවන් තොටුපළක් නොවන ස්ථානයක් වන ති‍්‍රකුණාමල ගුවන් හමුදා කඳවුරෙන් අදාළ ගුවන් යානය ඊයේ රටින් පිටව ගොස් තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ මෙම සිද්ධිය පිළිබඳ වාර්තා වන තොරතුරු පදනම් කර ගනිමින් විශේෂ සොයා බැලිමක් සිදු කරන බවයි.

තී‍්‍රකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් පිටව ගිය බව කියන අදාළ ගුවන් යානය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් කළ විමසීමකදී එහි මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙසෙනවිරත්න සඳහන් කළේ අදාළ ගුවන් යානය පිටවී ඇත්තේ සියලූම නීතීමය කටයුතු සිදුවීමෙන් අනතුරුව බවයි. වෙනත් කරුණු සිය විෂය පථයට අදාළ නොවන බවද ඔහු සඳහන් කළා.

මේ අතර මෙම ගුවන් යානය රටින් පිටවීම සඳහා නෞකාවලට ලබා දෙන අවසරයක් භාවිතා කර ඇති බවටද ඇතැම් මාධ්‍ය වාර්තා පලවී තිබුනා. ඒ අනුව පවතින මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන්  පරීක්ෂණයක් සිදු කර අද (07) දිනයේ නිල ප‍්‍රකාශයක් සිදුකරන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සඳහන් කරනවා.