රනිල් ෆොන්සේකාව තියාගෙන ඉන්නේ රාජපක්‍ෂලාට බුරන්නයි - තෙවරප්පෙරුම

කුමාර වෙල්ගම මට කියන්නේ "අපේ එකා" කියලයි. කුමාර වෙල්ගම කියන්නේ කාපු බත් පතේ පහරන ජාතියෙ කෙනෙක් නෙවෙයි. බොහෝම ගුණයහපත් මනුස්සයෙක් යැයි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පසුගියදා කළුතරදී කීවේය.

හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාලිත තෙවරප්පෙරුම මහතා පිළිබඳ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් මාධ්‍ය හමුවක් පවත්වා මෙසේද කීවේය.
කුමාර වෙල්ගම කෙළින් කතා කරන කෙළින් වැඩ කරන මනුස්සයෙක්. මම මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කරන විට කුමාර වෙල්ගම කිව්වේ ජනතාවට දැනෙන වැඩක් කරන එකම සභාපති පාලිත කියලයි. අදටත් කුමාර වෙල්ගම ඒක කියනවා.

රනිල් වික්‍රමසිංහ නායකතුමාට බුරන බල්ලෙක් ඉන්නවා. නායකතුමා සරත් ෆොන්සේකාව අරගෙන තියෙන්නේ ඡන්දවලට නෙවෙයි. බුරන්නයි. හැබැයි සරත් ෆොන්සේකා මට බුරන්න ආවොත් නැට්ටෙන් අල්ලලා ගිනි ගොඩට දානවා.

සරත් ෆොන්සේකා කාපු හිරබතක් නැහැ. මෙයාට සුපිරි කෑම, බීම ඕනෑ. ඒවා හිර ගෙදරට අරගෙන ගියේ අපියි. අනෝමා ෆොන්සේකා කෑම බොරැල්ල පැත්තේ මන්ත්‍රිවරයකුගේ ගෙදරට ගිහින් දෙනවා. ඒ මන්ත්‍රිතුමා එයාගේ එම්.එස්.ඩී. එකේ දෙන්නෙක් එක්ක ඒවා හිර ගෙදරට අරගෙන යනවා.

අපි සරත් ෆොන්සේකාට හිර ගෙදරට ගිහින් දුන්නේ නැත්තේ ගෑනියෙක් විතරයි.

මම හිරේ ගියේ මැර වැඩ කරන්න ගිහින් කියලා ෆොන්සේකා කියනවා. මම මැර වැඩක් තමයි කළේ. මම හිරේ ගිහින් දුක් වින්දා. මම හිර බත් කෑවේ ෆොන්සේකාව ජනාධිපති කරන්න ගිහිල්ලයි.

සරත් ෆොන්සේකා ජනාධිපති වුණා නම් මුලින්ම හිරගෙට දාන්නෙ මාවලු. එයා ජනාධිපති වුණා නම් මුලින්ම හිරගෙට දාන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයවයි. ඒක රටම දන්නවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පිනකට ෆොන්සේකා ජනාධිපති වුණේ නැහැ. සරත් ෆොන්සේකගේ කතාවල හැටියට තේරෙනවා ලසන්ත වික්‍රමතුංගට මොකද වුණේ කියලා.

මගේ කාර්ය මණ්ඩලයේ ඉන්නේ රස්තියාදුකාරයොලු. මගේ ලේකම් සුනිල් ද කොස්තා විශ්‍රාමික නිදහස් විනිසුරුවරයෙක්. සම්බන්ධීකරණ ලේකම් ප්‍රසාද් ගුණසිංහ ව්‍යාපාරිකයෙක්. දේශාන් යටියල අභ්‍යන්තර වාස්තු විද්‍යාඥයෙක්. මාධ්‍ය ලේකම් මලිත් දැඩිගම ව්‍යාපාරිකයෙක්. සම්බන්ධීකරණ ලේකම් ළහිරු දිල්ශාන් සිවිල් ඉන්ජිනේරුවෙක්. කළමනාකාර ජයතිස්ස හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක්. අමල් සමරසිංහ විපක්ෂ නායකයෙක්. නමුත් සරත් ෆොන්සේකාගේ කාර්ය මණ්ඩලයේ ඉන්නෙ එයාගේ අක්කලා, නංගිලා, දූලයි.

මගේ අම්මා කියන්නේ බුදු කෙනෙක්. මම අම්මව තුන් වතාවක් දඹදිව වන්දනා කරවලා තියෙනවා. මම මගේ අම්මට හොඳින් සලකනවා. ඒවා කාටවත් අමුතුවෙන් කියා දිය යුතු නැහැ. නමුත් සරත් ෆොන්සේකා තමන්ගේ අක්කට සලකපු විදිය අහගන්න එපා. ආප්පේ වාටිය නැහැ කියලා ආමි එකේ කොල්ලන්ව දණගස්සලා තිබ්බා. කපුටෙක් ඔළුවට ජරා කළා කියලා හමුදාවට ගිනි අවි දීලා කපුටෝ මරන්න අණ කළේ කවුද කියලා අහගන්න එපා. ගෙදර බල්ලා ලෙඩ වුණාම මම වෙඩි තියලා මරලා දාන්නේ නැහැ.

සරත් ෆොන්සේකා මගේ ඡන්ද අඩු කරනවාලු. මගේ ඡන්ද අඩු කරන්න සරත් ෆොන්සේකට බැහැ. සරත් ෆොන්සේකා ඡන්දය ඉල්ලන ඕනෑම ආසනයකින් මගේ නමත් දාන්න. මම කවුද කියලා සරත් ෆොන්සේකට පෙන්වනවා. ෆොන්සේකා ඉල්ලන ඕනම දිස්ත්‍රික්කයකින් මට නාම යෝජනා දෙන්න කියලා මම අභියෝග කරනවා. පාලිත තෙවරප්පෙරුමට රටේ ජනතාව මොනතරම් ආදරේද කියලා මම පෙන්වන්නම්.
මාව කළුතරින් එළවන්න කලින් සරත් ෆොන්සේකාට කැලණියේ ආසනය බේරාගන්න කියලා මම අභියෝග කරනවා.

මව්බිම