"අපේ නෝනාට ඇහුණා නම් ඉළපත් පාර තමයි කන්න වෙන්නේ" - තෙවරප්පෙරුමගෙන් ෆොන්සේකාට යළිත් දැඩි ප්‍රහාරයක් - (video)

තමන්ගේ බිරිඳ වනජීවී අමාත්‍යාංශයේ වාහන භාවිතා කළ බවට සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය ඇය ඇසුණේ නම් ෆොන්සේකා මහතාට සිදුවන්නේ ඉළපත් පාර කෑමට බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

 ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති උත්සවයක් අමතමිනි. සරත් ෆොන්සේකා මහතා විසින් පසුගියදා තෙවරප්පෙරුම මහතාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ලබාදුන් පිළිතුරු පිළිබඳව තෙවරප්පෙරුම මහතා එහිදී අදහස් දැක්වීය.

තමන් තම බිරිඳට සභාපතිකම්, බිරිඳගේ අක්කාට ලේකම් තනතුරු, අයියාගේ දුවට ලේකම් තනතුරු, අයියාගේ පුතාට තවත් සභාපතිකමක් වශයෙන් දෙමින් පවුල පෝෂණය කළ පුද්ගලයකු නොවන බවයි ඒ මහතා එහිදී සඳහන් කළේ.

එසේම තමන් තම දරුවන්ගේ මඟුල් ගෙවල්වලට හමුදාවේ පිට්ටනිය වායු සමීකරණය කිරීමට ගොස් වායු සමීකරණ යන්ත්‍ර 54ක් පුච්චා දැමූ පුද්ගලයෙක් ද නොවන බව ඒ මහතා පැවසීය.

ෆොන්සේකා මහතා සිකුරාදා සවස තරු පහේ හෝටල්වල "ෆන්" ගැනීමට නතර වන බවත් උදේ එළියට එන්නේ 11ට බවත් 118,000ක් ඡන්ද ගත් තමන්ට ඡන්ද 2,000ක් ගත් ෆොන්සේකා මහතා එළියට එනතුරු බලා සිටීමට සිදුවූ බවත් තෙවරප්පෙරුම මහතා එහිදී සඳහන් කළේය.

තමන්ට නාමයෝජනා නොදෙන ලෙස ෆොන්සේකා මහතා පවසා ඇති බව සිහිපත් කළ ඒ මහතා නාමයෝජනා නොදිය යුත්තේ ඡන්ද 118,000ක් ගත් පුද්ගලයාටද ඡන්ද 2,000ක් ගත් පුද්ගලයාටද යන්න රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරනු ඇති බවත් එය සරත් ෆොන්සේකාට අදාළ කරුණක් නොවන බවත් ප්‍රකාශ කළේය.

එසේම සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ වරදක් බවයි තෙවරප්පෙරුම මහතා අවධාරණය කළේ.