පිළිකා රෝගීන්ට නැවුම් බලාපොරොත්තුවක් එක් කරමින්, කැපුමක් කැළලක් නොමැතිව සිදු කළ විශ්මිත සැත්කම - (Photos)

පිළිකා රෝගීන්ට තවත් බලාපොරොත්තුවක් එක්කිරීමට අප රටේ දක්ෂ වෛද්‍යවරයකු සමත්ව සිටී. ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රයට නව අත්දැකීමක් එක්කරමින් ට්‍රාන්ස්ඔරල් එන්ඩස්කොපික් ඇල්ට්‍රාසොනික් තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ ප්‍රථම වතාවට කැපුම් නොමැතිව උගුරේ පිළිකාවක් ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමේ ඉතාමත් සාර්ථක සැත්කමක් සිදු කිරීමට ඉකුත් 05 වනදා හෝමාගම මූලික රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ ඒකකයේ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමට හැකිවිය.

මේ පිළිබඳව වැඩිදුර කරුණු සොයා ජනතාව දැනුවත් කිරීමේ අදහසින් අප හෝමාගම මූලික රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ ඒකකයේ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා සොයා ගියෙමු. ඒ වන විට ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි විශාල රෝගීන් ප්‍රමාණයක් දක්නට ලැබිණි.

මේ පිළිබඳව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා -

"මෙහි විශේෂත්වය වන්නේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන සැත්කම් ක්‍රමයට වඩා වෙනස් ඇල්ට්‍රාසොනික් තාක්ෂණය මගින් බෙල්ලේ කිසිදු කැපුමක් නොමැතිව කැමරාවක් භාවිතයෙන් ඇල්ට්‍රාසොනික් උපයෝගී කරගෙන උගුරේ තිබුණු පිළිකාවක් ඉවත් කිරීමයි. මෙම සැත්කම මේ ලෙස සුවිශේෂී වන්නේ කිසිදු කැපුමකින් තොරව මෙම සැත්කම සිදු කිරීම වගේම, මෙම ක්‍රමය මගින් කිසිදු කැළලක් ශරීරයට සිදු නොවන අතර රෝගියාට ඉතාමත් ඉක්මණින් ප්‍රකෘති තත්වයට පත්විය හැකියි."

"මේ සැත්කම සිදු කළේ පානදුර පදිංචි 60 හැවිරිදි පුද්ගලයකුට. මේ පුද්ගලයාගේ උගුර සම්පූර්ණයෙන්ම පිළිකාවෙන් වැහිලා තිබුණේ. ඒ නිසා රෝගියාට හුස්ම ගැනීමටවත්, ආහාර ගැනීමටවත් බැරි ඉතාමත් අපහසු තත්වයක සිටින අවස්ථාවකදීයි මේ සැත්කම සිදු කළේ. සැත්කමින් පැය දෙකක් ඇතුළත දැඩි සහකාර ඒකකයට නොයවා රෝගියා කෙළින්ම වාට්ටුවට දැම්මා. ඒ වන විටත් ඔහු ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්වයක පසු වුණා."

"මේ සැත්කම සිදු කිරීමට ගත වුණේ පැයයි විනාඩි 30ක් වැනි අඩු කාලයක්. නමුත්, එය අවසන් කරන්න අපට පැය තුනක් වැනි කාලයක් ගත වුණා. ඒකට හේතුව මෙම වෛද්‍ය කණ්ඩායම අයට මෙය පළමු සැත්කම වගේම ඔවුන්ගේ පළමු අත්දැකීම වීමයි."

"ඔය නිව්ස් එක දැකලා ඊයේ මිට මාස 10කට කලින් පිළිකාවක් හැදුණු රෝගියෙක් ඇවිත් හිටියා. මේ රෝගියා සිංහල වෙදකම් කරන්න ගිහිල්ලා. ඊයේ එද්දී මොනවත්ම කරන්න බැරි තරමටම සෑහෙන්න දුරට රෝගය පැතිරිලා. රෝගය දැනගත්ත මුල් අවස්ථාවේදීම ආවොත් ඇල්ට්‍රසොනික් තාක්ෂණය මගින් අනිවාර්යයෙන්ම හොඳ කරන්න පුළුවන්. ඒවගේම තව රෝගියෙක් ආවා. එයා හිටියේ රෝගයේ ආරම්භක අවස්ථාවෙයි. අපට ඒ රෝගියාගේ පිළිකාව හොඳ කරන්න පුළුවන්. මේ සැත්කම සිදුකළ රෝගියාගේ පිළිකා ගෙඩිය සියයට 95ක් පමණ ඉවත් කරන්න පුළුවන් වුණා. පිළිකාවක් මුල් අවදියේම හඳුනාගැනීමෙන් ඇල්ට්‍රාසොනික් සැත්කම මගින් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන්."


කැපුම් සලකුණක් නොමැතිව ඇල්ට්‍රාසොනික් තාක්ෂණය මගින් උගුරේ සිදුකරනු ලබන පිළිකා ඉවත්කිරීමේ ශල්‍යකර්මය පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කළ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා -

"මීට කලින් උගුරේ පිළිකාවක් ආවොත් අපි කරන්නේ කෙළින්ම මහරගමට යැවීම. ඒ කියන්නේ කරන්ට් අල්ලන්න. පිළිකාවකදීත් රෝගී අවස්ථා හතරක් තියෙනවා. ඒ පියවර අවස්ථාව අපි තීරණය කරලා, පියවර 01, 02, 03 වගේ තිබුණොත් අපි මහරගමට යවනවා. උගුර ඇතුළේ තියන එකකට අපට සැත්කමක් කරන්න අමාරුයි. රෝගියා පියවර 04 වගේ අවස්ථාවක හිටියොත් සම්පූර්ණයෙන්ම ලොකු සැත්කමක් කරලා උගුරු දණ්ඩ ඔක්කොම අයින් කරනවා.

ඒක රෝගී අවස්ථාවේ අන්තිම නෙවෙයි. අන්තිම අවස්ථාව වන විට රෝගියාට කතාකරන්න අමාරු වෙනවා. සාමාන්‍යයෙන් මෙතන පොඩි සිදුරක් තියෙන්නේ. ඒකෙන් හුස්ම ගන්න අමාරු වෙනවා. ඒත් කැමරාවක් දාලා බලලා පිළිකාවක් අයින් කරගන්න පුළුවන්. මෙතැනදී යොදා ගන්නේ ඇල්ට්‍රාසොනික් තාක්ෂණය. මේකෙදි කිරණක් නිකුත් වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් කපන්නේ සැත්කම් පිහියකින්. ඒත් මෙතැනදී ශබ්ද තරංගයකින් සිදු කරනු ලබන කැපුමකින් තමයි මේ සැත්කම කරන්නේ. මේක විශේෂ උපකරණයක්. මේකෙන් නිකුත් වෙන්නේ තරංගයක්. මේක අතින් අල්ලගෙන මේ අඬුව වගේ කොටස තමයි උගුර ඇතුළට යවන්නේ. (උපකරණය පෙන්වමින් පැහැදිලි කරයි) මේ මැෂින් එකෙන් වෙන වෙන සැත්කමුත් කරනවා. නමුත්, ලංකාවේ මේ වෙනකම් උගුර ඇතුළේ සැත්කමක් කරලා තිබුණේ නැහැ. යුරෝපා රටවල නම් මේ ක්‍රමය භාවිතා කරනවා. ඒවගේම මේ සැත්කම කරන්නේ සම්පූර්ණයෙන්ම සිහි නැති කරවලා. දැන් මේ තියන ඇල්ට්‍රෝසොනික් තාක්ෂණය මගින් කැමරාව දාලා, ඒකෙ ප්‍රමාණය කොච්චරද? ඇත්තටම පිළිකාවක් ද, වැනි පිළිකාවේ සියලුම දේ බලාගන්න පුළුවන්.. පිළිකාවක් කියලා නිගමනය වුණාට පස්සේ ඊළඟට කොච්චර දුරට ඒක පැතිරිලාද කියලා බලන්න සීටී ස්කෑන් එකකට යවනවා. ඒක මත තමයි සැත්කමේදී මෙය කොච්චර දුරට අයින් කරනවද කියලා තීරණය කරන්නේ. මේක අපේ රටට අලුත් වුණාට ඇමරිකාව සහ බටහිර රටවල්වලදී හුඟාක්ම උපයෝගී කරගන්නවා. ඒකට හේතුව මෙමගින් ඇතිවන සංකුලතා අඩු වීමයි."


විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතාගේ උපන් ගම මීගමුවයි. ඔහු මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබාගෙන ඇත.

"මම යූ.කේ. ගියා. ඒ රටේ මිනිස්සු හරිම හොඳයි. මට නිතරම එහෙට ඇවිත් සේවය කරන්න කියලා කියනවා. නමුත් මම මගේ රටට ආදරෙයි. ලංකාවේ ජනතාව වෙනුවෙන් මට පුළුවන් උපරිම සේවය ලබා දෙනවා. ඒත් මේ රටේ දවසක සේවය කරන්න අමාරුයි කියලා හිතුණොත් මම යනවා. මට ඕනෑම වෙලාවක එහි යන්න පුළුවන්කම තියෙනවා." වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂිකා සුභාෂිණී පඬුවාවල මහත්මිය -

"මෙතුමා මේ රෝහලට පමණක් නෙවෙයි මුළු ලංකාවටම සම්පතක්. අපි ඒ සම්පත රැකගන්න ඕන. මෙතුමාගේ දක්ෂකම් අපි ගොඩාක් අගය කරනවා. මෙවැනි සම්පත් අප රටේම තියාගන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා. අපි නිතරම ඔහුව ධෛර්යවත් කරනවා."

හෝමාගම මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගි‍ෙයක්,

"මෙවැනි වෛද්‍යවරු අප රටට මහත් සම්පතක් බව නම් විවාදයකින් තොරවම පිළිගන්න පුළුවන්. ලංකාවේ ප්‍රථම වතාවට සිදුකරනු ලැබූ මෙම සැත්කම ඇසූ, දුටු රෝගීන්ට යළි ජිවය ලැබුවා හා සමාන සතුටක්, බලාපොරොත්තුවක් සිත්වල හටගන්නට ඇති. ඒ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වෙන්න නම් මෙවැනි වෛද්‍යවරු අප රටේ සිටිය යුතුයි. අප ඔහුට ශක්තියක් විය යුතුයි. මෙම රෝහලේම මෙම සම්පත රඳවා ගැනීමට රෝහලෙන් ඔහුට ලැබිය යුතු වටිනාකම ලබාදීලා ඔහුට ශක්තියක් වෙනවා වගේම, අපේ රටේ ඔහු වැනි සම්පතකගේ සේවය අහිංසක ජනතාවට දීර්ඝ කාලීනව ලබා ගැනීම සඳහා කටයුතු සැලසෙනවානම් ඉදිරියේදී පිළිකාවෙන් මිය යන රෝගීන් ප්‍රමාණය අඩුවෙයි කියලා අපි විශ්වාස කරනවා."

-ප්‍රියංගි ජයසිංහ/යුරේෂ් ඉන්දික