දරු ප්‍රසුතියට මව රෝහලේ සිටිද්දී වෙරි වෙච්ච තාත්තා පුංචි දුව මහ මඟ දමා යයි

පදමට වෙරි වී සිටි පියකු විසින් තම සිවු හැවිරිදි දියණිය ඇල්පිටිය නගරයේ අමතක වීමෙන් දමා යෑමේ සිද්ධියක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

දරු ප්‍රසුතිය සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළත්ව සිටින තම බිරිය බැලීම සඳහා සැකකාර පියා තම දියණිය සමඟ  දහවල් රෝහලට පැමිණ තිබෙනවා. රෝහලට පැමිණීමෙන් පසු දියණිය සමඟ යළි නිවෙස බලා යෑමට පැමිණි පියා අධික ලෙස මත්පැන් පානය කොට තිබෙන බවත් සදහන්.
ඉන්පසු පදමට වෙරි වී සිටි පියාට තම දියණිය අමතක වී මහමඟ දමා ගොස් ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

සිවු හැවිරිදි ගැහැනු දරුවකු බස්නැවතුම්පොළේ අතරමංව සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ඇල්පිටිය පොලිසියේ නිලධාරීන් දෙදෙනකු හා කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනකු එම ස්ථානයට ගොස් දැරිය සමඟ කතා කිරීමේදී පවසා ඇත්තේ අම්මාට මල්ලි කෙනකු ලැබීම සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළත්ව සිටින බවයි. පසුව පොලිස් නිලධාරීන් විසින් මව සොයාගෙන ගොස් තිබෙනවා.

අතරමංව සිටි දැරිය යම් අපයෝජනයකට ලක්ව ඇද්දැයි පරීක්ෂා කිරීම සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. දැරිය තම ආච්චි අම්මා සමඟ රෝහලේ සිටින අතර දැරියගේ පියාගෙන් මේ සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බැව් පොලිසිය පවසයි.