පොදු ප්‍රවාහන සේවයේ ලිංගික හිංසනය හෙළි කරන තරුණියගේ කතාව

පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනය පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

ඒ අතර මෙලෙස පොදු ප්‍රවාහන සේවයකදී මල්කි නමැති ශ්‍රී ලාංකික තරුණියකට සිදුවූ ලිංගික හිංසනයක් පිළිබඳව ඇය විසින්ම හෙළිදරව් කිරීමත් සමඟ ලංකාව පුරා අවධානය යොමුව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන කාන්තාවන්ගෙන් 90%ක් ලිංගික හිංසනයට ලක්වන බව වාර්තා වනවා.

ඒ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් 2017 වසරේ නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් වනවා.

එම වාර්තාවේ සඳහන් වන්නේ ඒ අතරින් වැඩි ප්‍රතිශතයක් රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කාන්තාවන් බවයි

කෙසේ වෙතත් හිංසනයට ලක්වන කාන්තාවන් අතරින් නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමුවන්නේ 4%ක පමණ පිරිසක් බවයි පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ දත්ත පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල 2017 වසරේදී කළ සමීක්ෂණයකදී, හිංසනයට මුහුණ දුන් කාන්තාවන්ගෙන් 74%ක් පවසා ඇත්තේ තම සිරුරෙහි කොටස් සිතාමතා ස්පර්ශ කිරීමට පුරුෂයන් පෙළඹුණු බවයි.

ඉන් 52%ක් පැවසුවේ, විවිධ පුද්ගලයන් සිය ලිංගික අවයවය තම සිරුරේ ස්පර්ශ කිරීමට උත්සහ කළ බවයි.

අශෝභන ලෙස අසුන් ගන්නා පුරුෂයන් නින්දේ පසුවන බව අඟවා අනවශ්‍ය ලෙස තමන් ස්පර්ශ කළ බව, හිංසනයට ලක්වූ කාන්තාවන්ගෙන් 52.25%ක් පවසා තිබෙනවා.

පොදු ප්‍රවාහන සේවයකදී ඔබත් හිංසනයකට ලක්වුවහොත් ඊට විරෝධය පළකර මුලින් ම කොන්දොස්තරවරයා හෝ අවට සිටින අය දැනුවත් කරන ලෙසයි ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටින්නේ.

ඉන් අනතුරුව වහාම 119 හෝ 1938 යන අංක අමතා සහාය පතන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.

මල්කි විසින් ඇය මුහුණදුන් සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් එක්කිරීමත් සමඟ මේ පිළිබඳව නැවතත් කතාබහක් ඇතිවී තිබෙනවා.

එහිදී ඇය සඳහන් කරන සිදුවීම පිළිබඳව විදෙස් මාධ්‍ය වෙත පවසන්නේ මෙවැන්නක්.

"මම බස් එකේ වින්ඩෝ සීට් එකේ වාඩි වෙලා යනකොට මගේ එහා පැත්තේ හිටපු මනුස්සයා එයාගේ පෞද්ගලික අවයව නිරාවරණය කරලා හිටියේ. මම එවලේ ම එතැනින් නැගිට්ටා, කෑගහන්න ඕන වුණත් කෑගහන්න බැරි වුණා. මම ඒ වගේ හිංසනයට ලක් වුණාම තමයි මම හිතුවේ මේ ගැන කතා කරන්න ඕනේ කියලා. මම ඒ ගැන මුලින් ම ට්විටර් එකේ දැම්මා."

"මට හිතා ගන්න බැරි විදිහට හොඳ ප්‍රතිචාර මට ලැබුණා. ගොඩක් දෙනා කිව්වා ගැහැණු ළමයි මෙහෙම වුණා ම කතා කරන්න ඕනේ කියලා. එතකොට තමයි මට හිතුණේ මේ ගැන වීඩියෝ කිහිපයක් කරන්න, මොකද වැඩි දෙනෙක්ට මේ පණිවිඩය දෙන්න පුළුවන් එතකොට."

"අපි ගොඩක් වෙලාවට හිතනවා නොදැනුවත්ව වුණා, එහෙම නැත්නම් නින්ද ගිහිල්ල නිසා වෙනවා ඇති කියලා. ඒත් සමාජය තුළ අවබෝධයක් නැහැ මිනිසුන් මේ දේවල් වුවමනාවෙන් කරන්නේ කියල. ඉතින් අපි ඒ දේවල් ගැන කතා කරන්න ඕනේ. මම ඉදිරියට මේ ගැන මගේ වීඩියෝස්වල කතා කරන්න බලාපොරොත්තු වෙනවා."

"හැම තිස්සෙ ම ගමනේ, කාර්ය බහුල ජීවිත තියෙන්නේ. ඒවත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා. සමහර මිනිස්සුන්ට විකෘති මනස් තියෙන්නේ. ඉතින් තමන්ගේ ළමයව, අක්කව, නංගිව ඒ විතරක් නෙවෙයි මල්ලිව වුණත් පරිස්සම් කර ගන්න අපි ගෙදර වගේ ම සමාජයේත් මේ දේවල් ගැන එළිපිට කතා කරන්න ඕනේ."

-බීබීසී සිංහල-
gossip lanka