"නව වසර ආරම්භයේදීම ලබාදුන් සහයෝගයට ස්තුතියි.." - මහයියාව දුම්රිය ස්ථානය නොමිනිසුන් පිරිසක් විසින් යළිත් ජරාවාස කිරීම ගැන ස්ථානාධිපතිවරයා තැබූ සංවේදී සටහන - (Photos)

මහයියාව දුම්රිය ස්ථානය අලංකාර, මනරම් ස්ථානයක් බවට පත් කල ඉන්දික කුමාරසිංහ නම් දුම්රිය ස්ථානාධිපතිවරයා ගැන “හිරු ගොසිප්“ තුළින් අපි අනාවරණය කළා.

විශේෂත්වය වන්නේ ඔහු තම පුද්ගලික ධනයෙන් මෙම කටයුත්ත සිදු කිරීමයි.

ඒ නිසාම විවිධ පාර්ශව වෙතින්, ඔහු වෙත සුභාසිංශන ගලා එන්න පටන් ගත්තා.

ඒ අතරතුර ඉන්දික කුමාරසිංහ මහතාගේ එම උත්සහය වෙනුවෙන් ඇගයීමක්ද සිදු කෙරුණා.

දුම්රිය සාමාන්‍යාධිකාරී, ඩිලන්ත ප්‍රනාන්දු මහතා, ගමනාගමන අධිකාරී ඒ.ඩී.ජී. සෙනෙවිරත්න මහතා සහ රථවාහන අධිකාරී පී.ඒ.එස්. වර්ණසූරිය මහතා යන අය විසින් මෙසේ ඉන්දික කුමාරසිංහ මහතාට ඔහුගේ සේවාව ඇගයීමට ලක් කරමින් තිළිණ ප්‍රදානයක් සිදු කර තිබුණා.

කෙසේ වෙතත් මෙපමණක් අලංකාර කළ දුම්රිය ස්ථානයට විවිධ අන්දමින් තර්ජන තිබූ බව ඉන්දික කුමාරසිංහ මහතා ඔහුගේ මුහුණු පොතේ මීට පෙරත් සටහන් කොට තිබුණා.

"මා සිටවූ මල්පැළ උගුල්ලා දැමීමෙන්, මල් පෝච්චි කඩා බිද දැමීමෙන්, කුණු කසළ ගෙනැවිත් දුම්රිය ස්ථානයට දමමින්, වරෙක මා වෙත තර්ජනය කරමින්, අසැබිවදන් බිත්තිවල ලියමින් මෙය විනාශකිරීමට උත්සාහකළ සමහර ප්‍රාදේශවාසීනි, මේ පරිසරය, සමස්ථ ලෝකයටම අයිතිය. ඔබේ කුහකත්වය තුලින් මා ලද ජවය හා පන්නරයට, ස්තුතියි..."

තමන්ගේ ධනය වියදම් කොට එතරම් කාර්යයක් වෙහෙස මහන්සි වී සිදු කළ ඉන්දික කුමාරසිංහ නම් වූ දුම්රිය ස්ථානාධිපතිවරයා මීට සුළු මොහොතකට පෙර මුහුණු පොතේ තැබූ සටහන, බොහෝම සංවේදී සටහනක්.

ඊට හේතුව වුණේ, නොමිනිසුන් පිරිසක් විසින් ඔහුගේ නිවහන බඳු වූ දුම්රිය ස්ථානය නැවත වතාවක් ජරාවාස කොට තිබීමයි.

එහි සාද පැවැත්වූ පිරිසක් මත්පැන් පානය කොට එම බෝතල් ද එම ස්ථානයේම දමා ගොස් තිබෙන අයුරු දැක්වෙන ජායාරූප කිහිපයකුත් ඉන්දික කුමාරසිංහ මහතා, තම ෆේස් බුක් ගිණුමට එකතු කර ඇත්තේ සංවේගය මුසු සටහනක් ද සමඟින්.

"හැමදාමත් එකවගේ සහයෝගය ලබා දුන් මහයියාව ජනතාව,2019 නව වසර ආරම්භයේදීම ලබාදුන් සහයෝගයට, දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් මාගේ ප්‍රණාමය.."

පහත ජායාරූපවල දැක්වෙන්නේ, මහයියාව දුම්රිය ස්ථානය, නොමිනිසුන් පිරිසක් විසින් විනාශ කොට ඇති අයුරුයි...