පොඩි කාලෙ කන්නාඩිය ඉදිරියට ගිහින් රඟපෑවා - ලක්ෂිකා

මේ දිනවල පුංචි තිරයේ දකින්නට ලැබෙන චරිතයක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කර ගන්න හිතුවා.

මද විරාමයකට පසු නැවතත් රංගනයට අවතීර්ණ වන ඇය තමයි ලක්ෂිකා ජයවර්ධන.

මේ ඇය සමග කළ කතාබහ.
කාලෙකට පස්සේ ලක්ෂිකාව පුංචි තිරයෙන් දකින්න ඉන්නවා?

ඔව්. මම පොඞ්ඩක් අසනීප වුණා. ඒ නිසා අවුරුද්දක විතර නිවාඩුවක් ගත්තා. ඒ වගේම මගෙ අධ්‍යාපන කටයුතු අවසන් කර ගන්න ඕනෑ වුණා. ඒවත් කරගෙන ඉන්න අතරතුර තමයි අලූත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණේ. ඒ මේ දිනවල රූපවාහිනියේ විකාශය වන ඉඩෝර වැස්ස ටෙලිනාට්‍යයට. මෙහි චරිතය මම බොහොම කැමැත්තෙන් තමයි භාර ගත්තෙ. මොකද මීට පෙරත් මම මෙහි නිෂ්පාදන කණ්ඩායම සමග වැඩ කරලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂවරයා ඉරේෂ් ලොකුබණ්ඩාර. ඔහුගෙ මඟපෙන්වීම යටතේ මම හිතනවා ඒ චරිතය සාර්ථකව කරගෙන යනවා කියලා. මෙහි තිර රචනයෙන් දායකවෙන්නෙ සමන් කුමාර ගමගේ. නිෂ්පාදනයෙන් ලසිත ගුණසේන දායකත්වය සපයන්නෙ.

එහි චරිතය ගැන කතා කරමු?

චරිතය ‘සුජීවා’ ඇත්තටම සුජීවා කියන්නේ ලංකාවෙ ගැහැනිය කියන කෙනාව නියෝජනය කරන වෙනස්ම චරිතයක්. ඒක මටත් විශේෂයි. ගොඩක් ආසාවෙන් කරගෙන යනවා. ලැබෙන ප‍්‍රතිචාරත් ඉතා හොඳයි. ඒ ගැන සතුටකුත් තියෙනවා.

ඊට අමතරව නියැළෙන නිර්මාණ කටයුතු?


මේ නාට්‍යයට අමතරව මේ දිනවල වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ‘සිකුරා’ වේදිකා නාට්‍යයට. ජයලාල් රෝහණ මහත්මයා එක්ක එහි ප‍්‍රධාන චරිතය කරන්නෙ මම. මේ වෙද්දී ප‍්‍රසංග හයක් වේදිකාගත වෙලත් තියෙනවා. මේ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නෙ සරත් දික්කුඹුර.

ලක්ෂිකා ක්ෂේත‍්‍රයට එන්නෙ?


මම ඉස්සෙල්ලම ක්ෂේත‍්‍රයට එන්නෙ සිනමාව හරහා. මිචෙල් ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘සුපිරි අන්දරේ’ සිනමා නිර්මාණය හරහා ඒ කොමඩි චිත‍්‍රපටයක්. තිර පරීක්ෂණයකට සම්බන්ධ වෙලා ඒ තුළින් තමයි මාව මේ නිර්මාණයට සම්බන්ධ කර ගන්නෙ.

ඒ කියන්නෙ ලක්ෂිකා පුංචි තිරය, වේදිකාව, සිනමාව තුනම ස්පර්ශ කරලා තියෙනවද?

ඔව් ඇත්තටම මට ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. මොකද මම තවම රංගනය පිළිබඳ ඉගෙන ගන්න මට්ටමේ ඉන්නෙ. නමුත් මේ ක්ෂේත‍්‍ර තුනේම ඉන්න අවස්ථාව ලැබුණා. දැනට අවුරුදු 4කට පෙර වගේ තමයි මම ක්ෂේත‍්‍රයට එන්නෙ. මම දායක වුණු පළමු චිත‍්‍රපටයෙම මට රංගනයෙන් දායක වෙන්න ලැබුණෙ සනෝජා බිබිලේ, ටෙනිසන් කුරේ, රොඞ්නි වර්ණකුල, තිස්ස විජේසුරේන්ද්‍ර වගේ දැවැන්තයො පිරිසක්. ඒ වගේ පිරිසක් එක්ක රංගනයේ යෙදෙන්නට ලැබීම ලොකු වාසනාවක්. ඒ වගේම ලොකු අත්දැකීමකුත් ජීවිතේට ලබා ගන්න හැකිවුණා. එතැනින් පසුව ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයට පිවිසීමෙනුත් පසුව ගොඩක් දැවැන්ත චරිත එක්ක වැඩ කළා. ඒ හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. මේ වෙද්දි ටෙලිනාට්‍ය හත අටකට වගේ සම්බන්ධ වෙලා තියෙනවා. විකාශය වීමට නියමිත නිර්මාණත් තියෙනවා. ඒවා ඉදිරියේදී දකින්න ලැබෙයි.

ඊට අමතරව මියුසික් වීඩියෝවලටත් සම්බන්ධ වෙලා හිටියා නේද?

මියුසික් වීඩියෝ කිහිපයක් කරලා තියෙනවා. ඒත් ඒවා තෝරා බේරාගෙන තමයි මම දායක වෙන්නෙ. ආරාධනා නම් ලැබෙනවා. නමුත් හැම එකකටම සම්බන්ධ වෙන්නෙ නෑ.

ලක්ෂිකා රංගනය පිළිබඳ හදාරලා තියෙනවද?

රංගනයට සම්බන්ධවීමට පෙර ඒ පිළිබඳ හදාරලා නෑ. නමුත් රංගනයට අවතීර්ණ වුණාට පසුව ඒ පිළිබඳව හැදෑරුවා. පාඨමාලාවලට සම්බන්ධ වුණා.

පාසල් වේදිකාවෙ අද්දැකීම්?


මගෙ පාසල ගම්පහ රත්නාවලී බාලිකාව. එහිදී මම කලා විෂයන් හැදෑරුවට නාට්‍යකරණය කළේ නෑ. නමුත් කලා උළෙලෙදී රංගනවලට සම්බන්ධ වෙලා හිටියා. අපේ පාසලේ කලා උළෙලෙදී ප‍්‍රධාන චරිතයට සම්බන්ධ කර ගන්නෙ රංගන හැකියාව හොඳට හොයලා බලලා. නැත්නම් ප‍්‍රධාන චරිතෙ කරන්න අමාරුයි. ඉතින් මට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ කාලෙ ඉඳන් රංගනය කියන දේ මගෙ ඇෙඟ් තිබුණා.

ඒ නිසාද පසු කළෙක රංගනයට අවතීර්ණ වෙන්න හිතුණෙ.


ඇත්තටම ඉස්සර ඉඳලම මම රඟපාන්න ගොඩක් ආසයි. පොඩි කාලෙ මට මතකයි කන්නාඩිය ඉදිරියට ගිහින් රඟපෑවා. රංගනයට හරිම ආසයි. ඒ වයේ ප‍්‍රතිඵලයක් විදියට තමයි මේ ක්ෂේත‍්‍රයට අද වෙද්දී පා තබලා තියෙන්නේ.

ගෙදරින් කැමති වුණාද මේ ක්ෂේත‍්‍රය තෝරා ගන්නවට

ගෙදරින් නිතරම කිව්වේ අධ්‍යාපන කටයුතු හරියට කර ගන්න කියලා. ඉගෙන ගන්න එක නතර කරන්න එපා කියලා කිව්වේ. ඒ නිසා ඒ ටික මම හරියට කර ගත්තා. ඒ නිසා ගෙදරින් ප‍්‍රශ්නයක් වුණේ නැහැ. ඒ වගේම ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනව. මට ඉන්නේ අක්කලා දෙන්නෙක්. ඒ දෙන්නගෙනුත් නිරන්තරයෙන්ම සහයෝගය ලැබෙනවා. අම්මා තාත්තාගෙනුත් එහෙමයි.

ලක්ෂිකාගේ ඉලක්කය වුණේ මොකද්ද?


මම පාසල් යන කාලෙදී නම් හීනය වුණේ නීතිඥවරියක් වෙන්න. පසුව මට විශ්වවිද්‍යාලයට යන්න ලකුණු ලැබිලා මොරටුවෙ ගෘහ නිර්මාණ ශිල්පයට තේරෙනවා. නමුත් මම ඒ අංශයට කැමති නෑ. කලාවට සම්බන්ධ වෙන්න තමයි ලොකු අසාවක් තිබුණෙ. දැන් ඉතින් ඒ දේත් කරගෙන සිටි ඇන්ඞ් ගිල්ස් ආයතනයේ උපාධියකට යන්න ඉගෙන ගන්න ගමන් තවත් පාඨමාලා කිහිපයක් කරගෙන යනවා අධ්‍යාපන පැත්තෙන් ඉදිරියට යන්න.



ධනු විජේරත්න.