"කැමරාව ඉස්සරහා නිරුවත් වෙන්න වුණා..ඒ වීඩියෝ සජීවීව වෙබ් අඩවිවලට දුන්නා" චීනයට ගිය තරුණියන් දෙදෙනෙකු ලිංගික සේවයට කොටු වූ සංවේදී කතාව

ජියුන් රටින් පලා ගියේ 2010 වසරේදී ය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 16ක්. තීරු කීපයකට ඉරා ගත් ඇඳ ඇතිරිල්ලක කොටස් එකිනෙක යාකොට ගැටගසා තිබුණි.එහි එක් කෙළවරක් තුන්වන මහලේ කවුළුවකින් පහතට විසි කළේ තරුණියකි. තවත් තරුණියක් එහි අනෙක් කෙළවර සුරැකිව අල්ලාගෙන සිටියාය.එය මහල් නිවාස ගොඩනැගිල්ලකි. පිහිටියේ චීනයේ යැන්ජි නගරයේ ය.ඉරාගත් තීරු යාකෙරුණු ඇඳ ඇතිරිල්ල නැවත ඉහළට එසැවිණි. එහි කෙළවරට සවිමත් කඹයක් අමුණා තිබුණි.කවුළුවෙන් පිටතට පැමිණි තරුණියන් දෙදෙනා බිමට බැස්සේ ඒ කඹයේ ආධාරයෙනි.

"ඉක්මන් කරන්න. අපිට වැඩි වෙලාවක් නැහැ." පහළ සිටි යමෙක් අවධාරණය කළහ.

නිරුපද්‍රිතව බිමට බට තරුණියන් දෙදෙනා කැටුව එම තැනැත්තා, අසල නවතා තිබූ වෑන් රථය දෙසට දිව ගොස් ඊට ගොඩ විය.

නමුත් තවමත් ඔවුන් අනතුරින් මිදී නැත.මීරා රටින් පලා යන විට ඇය විසි දෙහැවිරිදි වියේ පසු වූවාය.මීරා සහ ජියුන්, උතුරු කොරියාවෙන් පලා ආ තරුණියන් දෙදෙනෙකි. මීරා චීනයට ඇතුළු වී පස්වසරක් ගතවී ඇත. ජියුන් පැමිණියේ අටවසරකට ඉහතදී ය.

ඔවුන් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වී ඇති බව දැන ගන්නා විට බොහෝ දේ සිදුවී හමාරය.

මේ තරුණියන් දෙදෙනාට උතුරු කොරියාවෙන් පලා යාමට "තැරැව්කරුවන්ගේ" සහයෝගය ලැබුණි.

දේශ සීමාව තරණය කොට චීනයට ඇතුළුවීමෙන් අනතුරුව මේ දෙදෙනා ලිංගික ජාවාරම්කරුවන් පිරිසකට භාර දුන්නේ ද ඒ තැරව්කරුවන්ම ය.

එවක් පටන් මේ තරුණියන් දෙදෙනා මහල් නිවාසයක සිරකර තැබිණි. ඔවුනට පැවැරුණු රාජකාරිය වූයේ කැමරාවක් ඉදිරියේ ලිංගික ඉරියව් රඟ දැක්වීමය. එම දර්ශන සජීවී ව විකාශනය කෙරෙනු ඇත.

උතුරු කොරියානු බල අධිකාරියේ අවසරයකින් තොරව රටින් පිටවීම බරපතළ දඬුවම් හිමිවන වරදකි.නමුත් රටින් පලා යාම සඳහා ඒ ජීවිත අවදානම දරන අය ද බොහෝ වෙති.

උතුරු කොරියාවෙන් පලා එන්නන්ට දකුණු කොරියාවේ රැකවරණය ලැබෙන නමුත් දෙරට අතර බිම් තීරුව දැඩි ආරක්‍ෂිත රැකවල් සහිතය. බිම් බෝම්බ පවා වල දමා ඇත. එම නිසා සෘජුව ම දකුණු කොරියාවට පලා යාම සිහිනයක් වී තිබේ. බොහෝ දෙනා චීනය හරහා දකුණු කොරියාවට ඇතුළු වීමට පෙළඹෙන්නේ එබැවිණි.

නමුත් චීනයේ දී ඔවුන් "නීතිවිරෝධී සංක්‍රමණිකයන්" වශයෙන් සැළකේ. නීතියේ රැහැනට හසු වුවහොත් ඔවුන් නැවත උතුරු කොරියාවට පිටුවහල් කෙරෙනු ඇත.

අනතුරුව ඔවුන් උතුරු කොරියානු බලධාරීන්ගේ වධ හිංසාවන්ට ලක්වී සිරගත වන්නේ "පීතෘ භූමියට ද්‍රෝහීවීමේ" වරදට ය.

වැඩි පිරිසක් උතුරු කොරියාවෙන් පලා ගියේ 90 දශකයේ මැද භාගයේදී ය. එවකට එරට පැවති දරුණු සාගතය ඊට හේතු විය. එම සාගතයට ගොදුරු වී යටත්පිරිසෙයින් දශ ලක්ෂයක්වත් මරණයට පත් වුහ.

නමුත් කිම් ජොන්ග් අන් බලයට පත්වීමෙන් අනතුරුව වසරකට රටින් පලා යන පිරිස සංඛ්‍යාත්මකව අඩකින් අඩු විය. ඔහු බලයට පැමිණියේ 2011 වසරේදී ය.

දේශ සීමා අසල රැකවල් තව තවත් දැඩි කිරීම සහ තැරැව්කරුවන් සිය මිල ගණන් ඉහළ දැමීම මීට හේතුව ලෙස දැක්වෙයි.

මීරා රටින් පලා යන විට ඇය විසි දෙහැවිරිදි වියේ පසු වූවාය.දරුණු සාගතයේ අවසන් කාල සමයේ උපත ලද මීරා අයත් වන්නේ උතුරු කොරියාවේ නව පරම්පරාවට ය.එම කාල වකවානුව තුළ උතුරු කොරියාවේ රහසිගත වෙළඳ ජාලයක් වර්ධනය වෙමින් පැවතුණි.

ඊට ස්තුති වන්නට, මීරා ගේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට ඩිජිටල් වීඩියෝ තැටි (DVD), රූපලාවණ්‍ය ආලේපන, ව්‍යාජ ලේබල සහිත විදේශීය ඇඳුම් පැළඳුම් පමණක් නොව විදෙස් චිත්‍රපට සහිත නීතිවිරෝධී USB උපාංග ද දැක ගැනීමේ අවස්ථාව උදා විණි.

ඔවුහූ පිටස්තර ලෝකයක් දුටහ. ඒ ලෝකයට පලා යන්නට බොහෝ දෙනා සිහින මැවූහ. විදෙස් සිනමා කෘති නීති විරෝධී ලෙස උතුරු කොරියාවට ගලා ආවේ බොහෝ විට චීනයෙනි. දේශ සීමාවෙන් එපිට ලෝකයක් පිළිබඳව ඔවුන් දැනුවත් වූයේ මේ චිත්‍රපට හරහා ය. රටින් පලා යාමට බොහෝ දෙනා දිරිමත් කළේ ඒ අල්පමාත්‍ර දැනුම යි. මීරා, ඉන් එක් අයෙකු පමණි.

"මම චීන චිත්‍රපට බලන්න පටන් ගත්තා. මම හිතුව චීනයේ හැම පිරිමියෙක් ම ඒ වගේ කියල. මට චීන ජාතිකයෙක් කසාද බඳින්න ඕන වුනා. ඒ නිසා රටින් පලා යන්නට මම අවුරුදු කීපයක් තිස්සේ මාන බලමින් හිටියා." මීරා පැවසුවාය.

හිටපු සොල්දාදුවෙකු වූ මීරාගේ පියා උතුරු කොරියාවේ පාලක පක්ෂයේ සාමාජිකයෙකි. දැඩි නීති රීති යටතේ නිවෙස ද පාලනය විය. මීරාට තම පියාගෙන් පහර කන්නට සිදු වූ අවස්ථා ද නැතුවා නොවේ.

මීරා සිහිනය වූයේ වෛද්‍යවරියක වීම ය. පියා ගේ බලපෑම යටතේ එය ද අතහැර දමන්නට ඇයට සිදු වූවාය. ඇයගේ කනස්සල්ල එන්න එන්න ම වැඩි විය. චීනයට පලා ගොස් ලබන නව ජීවිතය ගැන ඇය දිවා රෑ සිහින මවමින් සිටියාය.

"මගේ තාත්ත පක්ෂ සාමාජිකයෙක්. එයාගේ නීති රීතිවලින් මම තෙරපිලා හිටියේ. විදෙස් චිත්‍රපට බලන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ. උදේ අවදි වෙන්නෙත් රෑට නින්දට යන්නෙත් එයා නියම කරපු වෙලාව අනුව. මට මගේ කියල ජීවිතයක් තිබුණේ නැහැ." මීරා පවසන්නීය.

'ටූමන් ගංගාව' තරණය කර දැඩි රැකවල් සහිත දේශ සීමාව පසු කරන්නට උදව් විය හැකි තැරැව්කරුවකු සොයමින් මීරා වසර කිහිපයක් ගත කළාය.

නමුත් ඇයගේ පියා රජය සමඟ සමීප සබඳතා පැවැත්වීම නිසා තැරැව්කරුවෝ මීරාට උදව් කිරීමට බිය වුහ.

සිව් වසරක් ඇවෑමෙන් ඇය බලාපොරොත්තුවක සේයාවක් දුටුවාය. මීරාට උදව් කිරීමට අයෙක් එකඟ වූහ.

පලා යාමට තැත් කරන හැම කෙනෙකුටම පාහේ පවතින පොදු ප්‍රශ්නය මීරාට ද විය. ඒ තැරැව්කරුවාට ගෙවිය යුතු මුදල එකවර ගෙවා ගැනීමට හැකි තරම් අතමිට සරු නොවීම ය.

අවසානයේ තැරැව්කරුගේ යෝජනාවට ඇය අවනත වූවාය. තමන් ව රැකියාවක් සඳහා "විකුණා දැමීමටත්" ඉන් උපයන මුදලින් තැරැව්කරුගේ ණය ගෙවා දැමීමටත් මීරා එකඟ වූවාය.

මීරා දැන සිටියේ ඇය ආපන ශාලාවක සේවය කරනු ඇති බව ය.

නමුත් ඇය උගුලට හසු වී හමාර ය. උතුරු කොරියාවෙන් පලා එන තරුණියන් දඩයම් කරන තවත් කල්ලියක ගොදුරක් බවට මීරා ද පත් වී ඇති බව ඇය දැන නොසිටියා ය.

මේ ජාවාරම්කරුවන් ගේ ව්‍යාපාරය වන්නේ උතුරු කොරියාවෙන් පලා එන තරුණියන් ලිංගික සේවය සඳහා යෙදවීම ය.

නිරුපද්‍රිතව බිමට බට තරුණියන් දෙදෙනා කැටුව එම තැනැත්තා, අසල නවතා තිබූ වෑන් රථය දෙසට දිව ගොස් ඊට ගොඩ විය.

මීරා 'ටූමන් ගංගාව' තරණය කළාය. චීනයට පය තැබුවා ය. තැරැව්කරු විසින් ඇය කෙලින් ම යැන්ජි නගරය වෙත ගෙන යන ලදී. කොරියානු සම්භවයක් සහිත චීන ජාතිකයෙකුට මීරා භාර කෙරුණි. එම පුද්ගලයා "අධ්‍යක්‍ෂවරයා" ලෙසින් හැඳින්වුණි.

යැන්ජි නගරය පිහිටියේ යන්බියන් කලාපය මධ්‍යයේ ය. කොරියානුවන් විශාල පිරිසක් මෙහි දිවි ගෙවති. උතුරු කොරියාවෙන් පැන ආ පිරිස් සැඟව සිටින ප්‍රධාන නගරවලින් එකක් ලෙස යැන්ජි නගරය ප්‍රසිද්ධය.

උතුරු කොරියාවෙන් පලා ගිය බහුතරය කාන්තාවන් ය. පලා එන සියලු දෙනා චීනයේ දී නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙසින් සැළකෙන බැවින් විශේෂයෙන් ම කාන්තාවෝ සූරාකෑමට ලක් වෙති.

ඇතැම් කාන්තාවන් විවාහය සඳහා විකිණෙන අතර ඇතැමෙක් ලිංගික සේවා සඳහා විකිණෙති.

"අධ්‍යක්ෂවරයා" මීරා කැටුව මහල් නිවාසයකට පැමිණියේය. මීරා ගේ නව රැකියාව එහිදී හෙළිදරව් විය. ඇය "උපදේශකවරියකට" භාර කෙරිණි. උපදේශකවරිය කරන කියන දෑ හොඳින් නිරීක්ෂණය කරමින් සහ අධ්‍යයනය කරමින් මීරා පුහුණු විය යුතුය.

"මට මේක අදහාගන්න බැරි වුනා. මිනිස්සු ඉදිරියේ නිර්වස්ත්‍ර වීම ගැහැනියකට ඉතාම නින්දා සහගතයි. මගේ ඇස් දෙකෙන් කඳුළු කඩා වැටෙන කොට ඒ අය අහනවා මම ගෙදර මතක් වෙලා අඬනවද කියල." මීරා අතීතය සිහිපත් කළාය.

මීරා ඉදිරියේ තිබෙන කැමරාවෙන් ග්‍රහණය කරගන්නා දර්ශන සජීවී ව විකාශනය වන්නේ වෙබ් අඩවියක් ඔස්සේ ය. එම වෙබ් අඩවිය භාවිතා කරන බහුතරය දකුණු කොරියානු ජාතිකයන් ය.

ඔවුන් මෙම ලිංගික දර්ශන නරඹන මිනිත්තු ගණන අනුව මුදල් අය කිරීම් සිදු වේ. එම නිසා, පාරිභෝගිකයා වැඩි වෙලාවක් රඳවා ගැනීමට කැමරාව ඉදිරියේ සිටින තරුණිය සෑම උත්සාහයක් ම ගත යුතුය.

කිසියම් මොහොතක හෝ මීරා තම රංගනය අකමැත්තෙන් කරන බව දක්නට ලැබුණහොත්, නැවත උතුරු කොරියාවට භාරදෙන බව පවසමින් "අධ්‍යක්ෂවරයා" තර්ජනය කරයි.

"මගේ පවුලේ සියලු දෙනාම සේවය කරන්නේ රජයට. මම ආපසු ගියොත් ඔවුන් සමාජයට මුහුණ දෙන්නේ කොහොමද? ඊට වැඩිය හොඳයි මැරෙන එක."

මෙම මහල් නිවාසය තුළ එකවර තරුණියන් නවදෙනෙක් පමණ සේවයේ යෙදෙති. මීරා සමඟ කාමරයේ එකට ජීවත් වූ අනෙක් තරුණිය හිටිහැටියේම එතැනින් පලා ගියේ තම කණ්ඩායමේ සිටි තවත් තරුණියක සමඟය.

අනතුරුව මීරා වෙනත් කණ්ඩායමකට එක් කෙරුණි. ඇයට ජියුන් හඳුනා ගැනීමට ලැබෙන්නේ එහිදී ය.

ජියුන්: "කවුදෝ මට කියල තියෙනව දවසක වරුසාව නවතීවි කියල. ඒත් මට නම්, මෝසම් වරුසා කාලය හරිම දිග එකක් වුනා. කොච්චර දිගද කිව්වොත් හිරු තාම පවතිනවද කියන එකත් මට අමතක වෙලා"

ජියුන් උතුරු කොරියාවෙන් පලා ගියේ 2010 වසරේදී ය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 16ක් පමණි.

ජියුන් ගේ දෙමාපියන් දික්කසාද වන විට ඇය වයස අවුරුදු දෙකක දැරියකි. පවුලේ දරිද්‍රතාවය දිනෙන් දින ඉහළ ගියේය. වයස අවුරුදු 11 සපිරෙද්දී ජියුන් පාසලට සමු දුන්නේ රැකියාවකට ගොස් යමක් සරි කර ගැනීමේ අටියෙනි.

අවසානයේ ඇය තීරණයක් ගත්තාය. චීනයට පලා ගොස් වසරක කාලයක් පමණක් රැකියාවක නිරත වී සැලකිය යුතු මුදලක් රැගෙන සිය පවුල නඩත්තු කිරීම සඳහා නැවත පැමිණීම ජියුන් ගේ අපේක්‍ෂාව විය.

නමුත් ජියුන් ට අත්වූයේ ද මීරා ට අත්වූ ඉරණම ය.

ඇය ද යැන්ජි නගරයේ දී "අධ්‍යක්‍ෂවරයාට" භාර කෙරුණි. නමුත් ජියුන් ආපසු උතුරු කොරියාවට යැවීම සඳහා අධ්‍යක්ෂවරයා සුදානම් වූයේ "ඇය අවලස්සන" තරුණියක බව පවසමිනි.

එහි ප්‍රතිවිපාක හොඳින් දන්නා ජියුන් ආපසු යාමට අකමැති වූවාය.

"මේක ඉතාම නින්දා සහගත රැකියාවක්. ඒත් මම චීනයට පලා එන්නට මගේ ජීවිතය පරදුවට තැබුවා. මට හිස් අතින් ආපහු යන්න බැහැ."

"මගේ හීනය වුනේ මගේ ආච්චිටයි, සීයටයි මගේ අතින් බත් ටිකක් කන්න දෙන එක, ඒ අය මැරෙන්න කලින්. ඒ වෙනුවෙන් මට ඕනෑම දෙයක් දරා ගන්න පුළුවන්. මගේ පවුලේ අයට සල්ලි ටිකක් යවන්නයි මට ඕන," ජියුන් ප්‍රකාශ කළාය.

ජියුන් වෙහෙසී වැඩ කළාය. ඇයගේ රංගනය ආකර්ෂණීය වන තරමට "අධ්‍යක්‍ෂවරයා" තමන්ට හොඳින් සළකනු ඇතැ'යි ඇය අපේක්‍ෂා කළාය.
අවසානයේ වැඩිම පාරිභෝගික ඉල්ලුමක් හිමි වූයේ ජියුන්ට ය.

"මම හිතුව 'ඩිරෙක්ටර්' ගේ පිළිගැනීමක් මට ලැබෙයි කියල. මට මගේ ගෙදර අය දකින්න ඕන වුනා. මම හොඳට වැඩ කළාම මුලින්ම මාව ගෙදර යවයි කියල මං හිතුවේ."

දෛනිකව ඇයට ලබා දී තිබුණු ආදායම් ඉලක්කය සපුරාලීමට ඇය වග බලා ගත්තාය. එය දිනකට ඩොලර් 177කි. එම නිසා ඇතැම් විට රාත්‍රී නින්දට ඇයට ලැබුණේ පැය හතරක් පමණි.

මෙම මහල් නිවාසයේ ආරක්ෂාවට යොදවා සිටියේ "අධ්‍යක්‍ෂවරයාගේ" පවුලේ සාමාජිකයන් ය. නිවසට ඇතුළුවන ඉදිරි දොර අගුළු දමා ඔහුගේ දෙමාපියන් රාත්‍රී නින්දට යන්නේ නිවසේ සාලයේ ය.

තරුණියන්ට දිවා රෑ කෑම රැගෙන එන්නේ "අධ්‍යක්‍ෂවරයා" යි. අසල නිවසක සිටි ඔහුගේ සහෝදරයා දිනපතා මෙම නිවසට පැමිණියේ ඉවතලන කසල මල්ල රැගෙන යාමට ය.

"මේක සිර ගෙයකටත් වඩා අන්තයි," ජියුන් පවසන්නීය.

මෙම නිවසින් පිටතට යාමට තරුණියන්ට අවසර ලැබෙන්නේ මාස හයකට වරකි. වැඩි මුදලක් උපයා දුන් තරුණියකට නම් අමතර වාරයක් හෝ දෙකක් හිමි විය හැක.

නිවෙසින් පිටතට යන්නේ අත්‍යවශ්‍ය දෙයක් වේනම් එය මිලදී ගැනීමට හෝ කොණ්ඩය කැපීමට පමණි. පිටස්තර කිසිවෙකු සමඟ කතා බස් කිරීම සපුරා තහනම් ය.

"අධ්‍යක්ෂ අපේ ළඟින් ම ගමන් කරනවා. හරියට පෙම්වතා වගේ හැසිරෙනවා. එයා බයයි අපි පැනල දුවයි කියල," ජියුන් පැවසුවාය.

"අධ්‍යක්‍ෂවරයා" නිවසින් පිටත සිටින විට නිවසේ සිටින තරුණියන් බලා ගැනීමට උතුරු කොරියානු කාන්තාවක් පත් කර තිබුණි. ඇය හැඳින්වුයේ "කළමනාකාරිනිය" ලෙසිනි.

තමා හොඳින් සේවය කළහොත් විවාහයක් කරදෙන බවත් නැවත නිවස බලා යාමට අවසර දෙන බවත් අධ්‍යක්ෂවරයා ජියුන්ට පොරොන්දු වී සිටියේය.

ඒ අනුව තමන්ව නිදහස් කරන ලෙස ජියුන් ඉල්ලීමක් කළාය. අධ්‍යක්ෂවරයා ගේ පිළිතුර වූයේ නැවත නිරුපද්‍රිතව උතුරු කොරියාවට යැවීම සඳහා යන වියදම ඇය විසින් උපයා දිය යුතු බවය. එය ඇමරිකානු ඩොලර් 53,200 කි.

නමුත් පසුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඒ සඳහා තැරැව්කරුකරුවකු සොයා ගත නොහැකි බවකි.

තමන් උපයා දෙන මුදල කොපමණදැයි මීරා සහ ජියුන් දැන සිටියේ නැත. අධ්‍යක්‍ෂවරයා කලින් පොරොන්දු වී ඇත්තේ ලාභයෙන් 30%ක් ඔවුනට ලැබෙන බවකි. නමුත් එම ගෙවීම් සිදු කෙරෙන්නේ ඔවුන් නිදහස් කරන දිනෙක බව ද දැනුම් දී තිබුණි.

මේ නිසා මීරා සහ ජියුන් ගේ ඉවසීම ඉක්මවා යමින් තිබුණි.

"සාමාන්‍යයෙන් මම දිවි නසා ගැනීමට හිතන කෙනෙක් නොවෙයි. ඒත් මම දවසක් බෙහෙත් පෙති ගොඩක් බීල ජනේලෙන් පැනල මැරෙන්න හැදුව." ජියුන් අතීතය සිහිපත් කළාය.

වසර කිහිපයක් ගත විය. මේ වනවිට මීරා වසර පහක් ලිංගික සේවයේ යෙදෙමින් සිටින අතර ජියුන් ගත කළ කාලය අට වසරකි.

මේ අතරතුර එක් පුද්ගලයෙකුට මීරා කෙරෙහි අනුකම්පාවක් ඇති විය. ඔහු වසර තුනක් තිස්සේ මීරාගේ සේවය ලබා ගත් ගනුදෙනුකරුවෙකි.

ඔහු මීරා පිළිබඳව තවත් පුද්ගලයෙකුට දැනුම් දුන්නේය. ඒ චුන් කිවෝන් පියතුමා ය. පසුගිය විසි වසර තුළ මේ පියතුමා ගේ රැකවරණය ලද උතුරු කොරියානු සරණාගතයෝ බොහෝ වෙති.

කිවෝන් පියතුමා සමඟ පණිවුඩ හුවමාරු කරගත හැකිවන පරිදි මීරාගේ පරිගණකය තුළට ඇප් උපාංගයක් යැවීමට මීරාගේ සේවාදායකයා සමත් විය.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය නිතරම පාහේ කිවෝන් පියතුමාට ප්‍රහාරාත්මක විවේචන එල්ල කරයි.

"පැහැරගෙන යන්නා", "වංචාකාරයා" යන අගතිගාමී අන්වර්ථ නාමවලින් හඳුන්වමින් ඔවුහු මෙම පියතුමා හඳුන්වති. ඒ උතුරු කොරියාවෙන් පලා යන්නන්ට කිවෝන් පියතුමාගේ රැකවරණය ලැබෙන බැවිනි.

1999 දී තමන් පිහිටුවාගත් ක්‍රිස්තියානි පුණ්‍යායතන හරහා මේ වනවිට උතුරු කොරියානුවන් 1200කට පමණ සරණ වී ඇති බව චුන් කිවෝන් පියතුමා ඇස්තමේන්තු කරති.

"මම දැකල තියෙනවා තුන් වසරක් පමණ සිර කරගෙන හිටපු ගැහැණු ළමයි. ඒත් මේ තරම් දීර්ඝ කාලයක් හිරවෙලා හිටපු කවුරුවත් ගැන මට මීට පෙර දැනගන්නට ලැබුණේ නැහැ. මීරා සහ ජියුන් ගැන මට විශාල දුකක් ඇති වුනා," චුන් කිවෝන් පියතුමා පැවසීය.

උතුරු කොරියානු කාන්තාවන් චීනයට රැගෙන එන ජාවාරම ඉතා සංවිධානාත්මක වූවක් බව කිවෝන් පියතුමා පැවසූහ. දේශ සීමාවේ රාජකාරි කරන ඇතැම් උතුරු කොරියානු හමුදා භටයන් ද මෙම ජාවාරමට හවුල් බව පියතුමා ගේ මතයයි.

උතුරු කොරියානු කාන්තාවක් චීනයේ දී ඉහළ මිලකට විකිණිය හැකිය. දේශ සීමාව අවට ජීවත්වන චීන ප්‍රජාව මෙම ජාවාරම හඳුන්වන්නේ "කොරියානු ඌරු වෙළඳාම" යන නමිනි.

එක් කාන්තාවකගේ මිල ඩොලර් සිය ගණනක් හෝ දහස් ගණනක් විය හැකිය.

නිල සංඛ්‍යා ලේඛන සොයා ගත නොහැකි නමුත් උතුරු කොරියාව සහ චීනය අතර ඉතා ඉහළ මට්ටමින් සිදුවන මෙම ජාවාරම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ද බරපතළ සැලකිල්ලට භාජනය විය.

මාසයක පමණ කාලයක් තිස්සේ මීරා සහ ජියුන් සමඟ කිවෝන් පියතුමාට සම්බන්ධවීමට සිදු වූයේ අධ්‍යක්‍ෂවරයාගේ වෙබ් අඩවිය හරහා ය. එතුමා සේවාදායකයෙකු ලෙස පෙනී සිටියහ.

මීරා සහ ජියුන් ද සිය රාජකාරිය ඉටු කරමින් සිටින බව අඟවමින් පලා යෑමේ සැලසුම පිළිබඳව තොරතුරු හුවමාරු කර ගත්හ.

"සාමාන්‍යයෙන් මේවගේ රඳවාගෙන සිටින කාන්තාවන් දන්නේ නැහැ තමන් ඉන්නේ කොහෙද කියල කියන්න. වාසනාවට මේ දෙන්න දැනගෙන හිටිය ඔවුන් ඉන්නේ යැන්ජි නගරයේ කියල. නගරයේ හෝටලයක නාම පුවරුවක් ඔවුන්ගේ මහල් නිවාසයේ ජනේලයකින් පේනවා." පියතුමා පැවසූහ.

ගූගල් සිතියම ආධාරයෙන් මේ තරුණියන් දෙදෙනා සිටින නිශ්චිත ස්ථානය දැනගැනීමෙන් අනතුරුව ඔවුන් බේරාගැනීම සඳහා කිහිප දෙනෙකු මහල් නිවාසය අද්දරට පිටත් කර හැරීමට චුන් කිවෝන් පියතුමා පියවර ගත්හ.

චීනයෙන් පලා යාම ද ඉතා අනතුරුදායක ගමනකි.බොහෝ දෙනා කරන්නේ අසල ඇති වෙනත් රටකට පලා ගොස් එහි ඇති දකුණු කොරියානු තානාපති කාර්යාලයට ඇතුළු වීමයි.

බොහෝ දෙනා කරන්නේ අසල ඇති වෙනත් රටකට පලා ගොස් එහි ඇති දකුණු කොරියානු තානාපති කාර්යාලයට ඇතුළු වීමයි.

තානාපති නිලධාරීන් ගේ රැකවරණය යටතේ ඔවුන්ට දකුණු කොරියාවට ගුවනින් යාමට අවස්ථාව සැලසෙයි. අනතුරුව ඔවුනට නීත්‍යනුකූල සරණාගතභාවය හිමි වෙයි.

නමුත් හැඳුනුම් පතක් නොමැතිව චීන දේශ සීමාව පසුකර යාමට උත්සාහ කිරීම අතිශය අනතුරුදායක ය.

"ඉස්සර නම් ව්‍යාජ හැඳුනුම්පතකින් යන්න පුළුවන්. දැන් නිලධාරීන් ළඟ ඉලෙක්ට්‍රොනික උපකරණ තියෙනවා ඒවා හඳුනා ගන්න." පියතුමා පැහැදිලි කළහ.

කෙසේ හෝ මීරා සහ ජියුන් තම සිපිරි ගෙයින් පිටතට පැන ආහ. වාහනයට ගොඩවුණු සියලු දෙනා චීන දේශ සීමාව පසුකර යන දිගු ගමන ආරම්භ කළහ. ඊට දින ගණනක් ගත වනු ඇත.

හැඳුනුම් පතක් නොමැතිව හෝටලයක නවාතැන් ගැනීමට උත්සාහ කිරීම අවදානම් සහගතය. එම නිසා මේ පිරිසට රැය පහන් කරන්නට සිදුවූයේ දුම්රිය මැදිරියක ය. නැතහොත් රැය පුරා විවෘතව පවතින කුඩා අවන්හලක අසුන් ගෙන නිදිවරා සිටිය යුතු විය.

චීනය පසු කරන අවසන් හෝරා කිහිපය ළඟා වෙමින් පවතී. එක්තරා කඳු මුදුනකට නැගීමට පැය පහක් ගත විය. එය අතිශය දුෂ්කර ගමනකි.

අවසානයේ චීන දේශසීමාව තරණය කර අසල්වාසී රටකට ඇතුළු වීමට පිරිස සමත් වුහ. එම රට කුමක්දැයි මෙහි සඳහන් කළ නොහැකිය.
මීරා සහ ජියුන්ට, කිවෝන් පියතුමා මුහුණට මුහුණ හමුවූයේ මහල් නිවාසයෙන් පැන ගොස් දින දොළහකට පසුව ය.

"දකුණු කොරියාවේ පුරවැසිභාවය ලැබුනට පස්සේ තමයි මම සම්පුර්ණයෙන් ම ආරක්ෂිතයි කියල මම හිතන්නේ. ඒත් චුන් කිවෝන් පියතුමා දැක්කට පස්සේ මම ආරක්ෂිතයි කියල මට දැනුන. නිදහස ලැබුණ කියන සිතිවිල්ලත් එක්කම මම අඬන්න පටන් ගත්ත." ජියුන් පැවසුවාය.

ඔවුන් ළඟම පිහිටි දකුණු කොරියානු තානාපති කාර්යාලය බලා යාමට මෝටර් රථයකින් ගමන් ඇරඹූහ. ඊට හෝරා 27ක් ගත විය.

තානාපති කාර්යාලය ට ළඟා වෙත්ම මීරාගේ මුවගට මද සිනහවක් නැගෙයි. ඇයට හඬන්නට සිතෙන බව ඇය පවසන්නීය.

"අපායෙන් මිදිලා ආව වගේ හැඟීමක් මට දැනෙන්නේ." ජියුන් දොඩමළු වූවාය.

"එකිනෙකට වෙනස් සිතිවිලි මගේ හිතට එනවා. දකුණු කොරියාවට ගියොත් මට මගේ පවුලේ උදවිය ආයේ කවදාවත් දකින්න ලැබෙන එකක් නැහැ. මම මුලින් ම පැනල ආවේ ආපහු නොයන්න හිතාගෙන නෙවෙයි. මම වරදක් කළා වගේ හැඟීමක් දැනෙනවා."

මීරා සහ ජියුන් කැටුව කිවෝන් පියතුමා තානාපති කාර්යාලයේ ගේට්ටුවෙන් ඇතුළු වූහ.

තත්පර කිහිපයක් ගත විය. ගේට්ටුවෙන් පිටතට පැමිණියේ පියතුමා පමණි. චුන් කිවෝන් පියතුමාගේ රාජකාරිය අවසන් ය.

මීරා සහ ජියුන්, දකුණු කොරියාවට ගුවනින් පිටත් කර හරිනු ඇත. ඔවුන් උතුරු කොරියානු ඔත්තුකාරියන් නොවන බවට සනාථ කර ගැනීම සඳහා බුද්ධි අංශ සිය විමර්ශන දියත් කරනු ඇත.

අනතුරුව තුන්මසක කාලයක් මොවුන් දෙදෙනා රැඳවුම් මධ්‍යස්ථානයක ගත කිරීමට නියමිත ය.

දකුණු කොරියාවේ නව ජීවිතයට හුරු වීම සඳහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම සහ පුහුණුව එහිදී මීරාට සහ ජියුන්ට ලැබෙනු ඇත.

උතුරු කොරියාවෙන් පලා ආ පිරිසට මෙහිදී බොහෝ දේ පිළිබඳව දැනුමක් ලබා දෙයි.

නවීන ජංගම දුරකථනයක් පාවිච්චි කරන ආකාරය, වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී ගන්නා ආකාරය, විවෘත ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ දැනුම මෙන්ම රැකියා පුහුණුවක් ද මෙහිදී ඔවුනට ලැබෙනු ඇත.

එපමණක් නොව, මානසික උපදේශන සේවා පවා මෙහිදී සැපයෙනු ඇත.

අවසානයේ මීරා සහ ජියුන් දකුණු කොරියාවේ පුරවැසියෝ බවට පත් වෙති.

"මම ඉංග්‍රීසි සහ චීන භාෂාව ඉගෙන ගෙන සංචාරක මග පෙන්වන්නියක් වීමට කැමතියි." දකුණු කොරියාවේ අලුත් ජීවිතය ගැන පවතින සිහින පිළිබඳව විමසු විට මීරා පැවසුවාය.

"මට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඕන. මිතුරු මිතුරියන් සමඟ කතා බස් කරමින් අවන්හලක කෝපි කෝප්පයක් බොන්න ආසයි." ජියුන් සිය සරල අපේක්ෂාවන් හෙළි කළාය.

"කවුදෝ මට කියල තියෙනව දවසක වරුසාව නවතීවි කියල. ඒත් මට නම්, මෝසම් වරුසා කාලය හරිම දිග එකක් වුනා. කොච්චර දිගද කිව්වොත් හිරු තාම පවතිනවද කියන එකත් මට අමතක වෙලා."

(බීබීසී සිංහල)
gossip lanka