උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

නිවැරදි මාර්ගයේ ගමන් ගනිමින් සිටියදීත් ඇමරිකානු ජනපති ට්‍රම්ප්, සම්බාධක ලිහිල් නොකිරීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අනතුරු අඟවා සිටියි.

ඔහු නව අවුරුද්ද වෙනුවෙන් ජනතාව ආමන්ත්‍රණය කරමින් පැවසුවේ, තමන් න්‍යෂ්ටික නිරවිකරණයට ඇප කැප වී සිටින නමුත්, ඇමරිකාව දිගින් දිගටම මෙසේ හැසිරෙන්නේ නම් සිය ප්‍රතිපත්තිය වෙනස් කරන බවයි.
2017 වසරේදී උතුරු කොරියාව, ඇමරිකාව වෙත පවා ළඟා විය හැකි ආකාරයේ අන්තර් මහද්වීපික මිසයිලයක් අත්හදා බැලුවේය. එයින් අනතුරුව උතුරු කොරියාවේ පයොන්ග්ගියැන්ග් සහ ඇමරිකාවේ වොෂින්ටනය යන දෙපාර්ශවයම එකිනෙකාට න්‍යෂ්ටික යුද්ධයක් පිළිබඳ අනතුරු අඟවන්නට පටන් ගත්හ. මේ අන්තර්ජාතික පීඩනය මධ්‍යයේ අවසානයේ උතුරු කොරියානු නායකයා සාකච්ඡා මාර්ගයට පිවිසි අතර, එය වසරේ වැදගත්ම සිදුවීම ලෙස සැලකුණි.

මේ අනුව 2018 ජූනි මාසයේදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද හමුවූ නමුත්, එම හමුවෙන් පසු දෙරට අතර සබඳතාවල සැලකිය යුතු වෙනසක් සිදුවූයේ නැත. ට්‍රම්ප් දිගින් දිගටම කිම් ජොන් උන්ගේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ විවිධ කේවල් කිරීම්වල නියැළී සිටින අතර, ඔහු රට තුළ රහසිගතව තවමත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක පවත්වාගෙන යන බවට ද චෝදනා නැගේ. කෙසේ නමුත් කිම් ජොන් උන් පසුගිය වසර තුළ අන්තර්ජාතික නිරීක්ෂකයන් හට න්‍යෂ්ටික ක්ෂේත්‍ර නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ඉතිහාසයේ පළමු වරට ලබාදුන්නේය.

පසුගිය වසරේ පටන් කිම් ජොන් උන්, සිය ප්‍රධාන සතුරා වශයෙන් සලකන දකුණු කොරියාවට ද සහෝදරත්වයේ දෑත දිගු කළේය.

වෙනත් මගක් නෑ

මේ වන විට උතුරු කොරියානු නායකයා ට්‍රම්ප්ගේ පිළිවෙත හමුවේ නොසන්සුන් වී ඇති බවක්, ඊයේ නව අවුරුදු කතාවේදී පෙනී ගියේය.

‘‘ඇමරිකාව ලෝකය ඉදිරියේ ලබාදුන් පොරොන්දු ඉටු නොකළහොත්… අපගේ ජනරජය වෙත සම්බාධක සහ පීඩනය දිගින් දිගටම එල්ල කළහොත් අපේ පරාමාධිපත්‍යය සහ අභිලාෂයන් සුරක්ෂිත කරන අලුත් මාර්ගයක් සලකා බැලීම හැර අපට වෙනත් මගක් නැහැ..‘‘ යැයි එහිදී ඔහු පැවසුවේය.

සම්බාධක තොගය

මේ වන විට උතුරු කොරියාව පහත රටවල් හා සංවිධාන විසින් දමා ඇති සම්බාධකවලට ලක්ව සිටියි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය
ඇමරිකාව
චීනය
දකුණු කොරියාව
ජපානය
යුරෝපා සංගමය
ඔස්ට්‍රේලියාව
උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැමීමට ලෝකය පෙළඹුණේ 1990 දශකයේ පටන් ය. 1988 වසරේ පටන් ඇමරිකාව විසින් උතුරු කොරියාව ත්‍රස්තවාදයට සෙවණ දෙන රාජ්‍යක් ලෙස නම් කළේය. මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් දමනු ලැබූ සම්බාධක කට්ටල ගණනාවකට මැදිව සිටියි. ඒ, බැලස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික ආයුධ වැඩසටහන් රට තුළ තහනම් කළ  යුතුය යන කොන්දේසිය පිට ය. 2006, 2009, 2013, 2016 සහ 2017 යන වසරවලදී ආරක්ෂක කවුන්සිලය විසින් උතුරු කොරියාවට සම්බාධක පනවා තිබේ. මේවායින් වඩාත්ම මෑත කාලීන සම්බාධක අනුව උතුරු කොරියාවේ,

ගල් අඟුරු අපනයනය සීමා කර ඇත.
තඹ, නිකල්, සින්ක් සහ රිදී යන ලෝහ අපනයනය තහමන් කර ඇත.
මුහුදු ආහාර අපනයනය තහනම් කර ඇත.
බොර තෙල් අපනයනය සීමා කර ඇත.
පිරිපහදු කළ පෙට්‍රෝලියම් නිෂ්පාදන අපනයනය සීමා කර ඇත.
රෙදි පිළි අපනයනය තහනම් කර ඇත.
*2017 සැප්තැම්බර් 11 වැනිදා ආරක්ෂක කවුන්සිලය විසින් සම්මත කළ 2375 රෙගුලාසිය මින් මෙයට අමතරව උතුරු කොරියානුවන්ට විදේශයන්හි රැකියා කිරීම ද තහනම් කර තිබේ.
සම්බාධක හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ඒජන්සිවලට උතුරු කොරියාවේ පෝෂණය, සෞඛ්‍යය, සනීපාරක්ෂාව වැනි මාතෘකා සමග වැඩ කළ හැක්කේ සීමා සහිතව ය.

ඕනෑම මොහොතක ට්‍රම්ප් හමුවෙන්න සූදානම්

උතුරු කොරියානු නායකයා තවදුරටත් පවසන්නේ තමන් අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඇමරිකානු නායකයා මුණ ගැසීමට සූදානම් බවයි. මෙය, අතීතයේ නාහෙට නාහන දඩබ්බරයෙකු ලෙස නමක් දිනා සිටි කිම් ජොන් උන්, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු බවට පත්ව තිබීම ගැන සලකුණක් යැයි ජාත්‍යන්තර විචාරකයෝ පවසති.

කිම් ජොන් උන් දකුණු කොරියාවට සහෝදරත්වයේ දෑත දිගු කළේ 2018 නව අවුරුදු කතාවෙනි. එහිදී දකුණු කොරියාවේ පවත්වන ශීත ඔලිම්පික් උළෙලට සහභාගි වීමට උතුරු කොරියාව කැමැත්තෙන් සිටින බව මුල් වරට ප්‍රකාශ විණි.

ජනපති ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණේ 2019 පෙබරවාරි මස තමන් නැවත වරක් උතුරු කොරියානු නායකයා හමුවීමට සූදානම් බවයි. නමුත් එය මෙතෙක් තහවුරු කර නැත.

කිම් ජොන් උන් ද තවත් කොරියානු සමුළුවක් සඳහා දෙවැනි වරටත් මේ වසරේ දකුණු කොරියාවට යාමට සැලසුම් කර ඇති නමුත්, එහි ද දින වකවානු මේ දක්වා තහවුරු කර නැත.