පිටරට ඉද්දී මේ වගේ අවස්ථාවන් ලැබෙන්නේ නැහැ - ජනිතා

සඳරුවන් ජයවික්‍රම අධ්‍යක්ෂණයක් වන ‘නිරාශා’ ටෙලි නාට්‍ය මගින් හමුවන සුන්දර දෙපලක් ලෙස ජනිතා පෙරේරා සහ චන්දිම ජයකොඩි කියන්නේ. ජනිතා සමග ‘නිරාශා’ ගැන මෙලෙස කතාබහක යොමු විය.

මුලින්ම අපි ජනිතා එක්ක කතා බහට යොමු වුණා. ඉතිං ජනිතා මොකක්ද මේ ‘නිරාශා’ කියන්නේ?

‘නිරාශා’ කියන්නේ අපේ අලුත් ටෙලි නාට්‍යය. ඒක ITN එකේ තමයි විකාශ වෙන්නේ. මට මේ සඳහා අවස්ථාව ලැබෙන්නේ ඔස්මෝ ක්‍රියේෂන් එකේ ප්‍රදීප් ජයවීර සහ අසිත රොහාන්ගෙන්.

ඔබ ඔස්ට්‍රේලියාවේ ඉන්න නිසාද මේ සඳහා අවස්ථාව ලැබෙන්නේ?

මට අවස්ථාව ලැබෙන්නේ ඔස්ට්‍රේලියාවේ රූගත කිරීම් වලට ඉන්න තමයි. අපි කරපු රූගත කිරීම් ඔක්කෝම කලේ ඔස්ට්‍රේලියා වලයි. ඉතිං මං ගොඩක් සතුටු වෙනවා අපි ඒවගේ රටක ඉන්න කොට මෙහෙම වැඩකට දායක වෙන්න ලැබුණු එකට. ටෙලි නාට්‍යයක් විදෙස් රටක රූගත කරන්නේ ඉතාමත් කලාතුරකින්නේ. මං වගේම ඔස්ට්‍රේලියාවලින් රංගනයෙන් දායක වන අය වාසනාවන්තයි කියලා මම හිතනවා. ඒවගේම තමයි මෙහි අධ්‍යක්ෂකවරයා වෙනස් විදිහට මේ නාට්‍යය රූගත කරනවා. මොකද මේ රටේ තියෙන ලස්සනත් විඳ ගන්න පුළුවන් විදිහට තමයි මේ නාට්‍යය රූගත කිරීම් කරන්නේ.

පලවෙනි නාට්‍ය නේද මේ?

ඔව්. මම රංගනයෙන් දායක වන පලවෙනි අවස්ථාව තමයි මේ.

එහි අභියෝගය කොහොමද?

රංගනය කියන දේ මම ගොඩක් රසවිඳිනවා. මට හොඳ කට්ටියක් එක්ක වැඩ කරන්න ලැබුණා. අපි අතර තියෙන යාළුකම, බැඳීම කියන දේ නිසා මේ වැඩේ ලස්සනට සිද්ධ වුණා කියලා මම හිතනවා.

ඔබව ෆේස්බුක් එකේ ජනප්‍රිය වුණේ ගායනය නිසා? නමුත් දැන් රංගනයේ යෙදෙනවා?


මම ගොඩක් වාසනාවන්තයි. මට වගේම මම රඟපාන චරිතයටත් සංගීතය කියන දේ ළඟ දෙයක්. චරිතය තුළදී එයාගේ විනෝදාංශයක් විදිහට සංගීතය තුළ කටයුතු කරනවා. මගේ විනෝදාංශය මගේ චරිතයට යොදා ගන්න පුළුවන් වුණ එක ගැන මම ගොඩක් සතුටුවෙනවා. දැන්ට ලැබිච්ච ප්‍රතිචාර අනුව ඒ ගායනා කරන දේවල් ඔවුන් ගොඩක් රසවිඳිනවා. නාට්‍යයක් තුළ එවැනි දෙයක් තියෙන එක වෙනස් නිසා ගොඩක් දෙනා මේක රසවිඳිනවා කියලා මම හිතනවා.

‘දිනිති’ සැබෑ ජීවිතයට සමානද?


‘දිනිති’ කියන්නේ ගෙදර අයත් එක්ක ආදරෙන් ඉන්න, සතුටින් ඉන්න කෙනෙක්. මගේ පවුලත් ඒවගේ කෙනෙක්. මට ඒ පැත්තෙන් අපහසුවක් වුණේ නෑ. ‘දිනිති’ ට එයාගේ හොඳම යාළුවෝ දෙන්නා නිසා ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා. එයාට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ආදරද, යාළුකමද කියන දෙය. ඒ ප්‍රශ්නය තුළ තමයි මේ ‘දිනිති’ කියන චරිතය ඉන්නේ. ඒ පැත්තෙන් ටිකක් අමාරු වුණා කොහොමද මේ චරිතයට සාධාරණයක් කරන්නේ කියනදේ. ඒක ඉගෙන ගන්න මට ටිකක් කල් ගියා කියලා හිතනවා. මට හිතෙනවා ඒ ආදර කතාව ගොඩක් අය රසවිඳිනවා කියලා ලැබෙන ප්‍රතිචාර වලින් දැනෙනවා.

ලංකාවේ ටෙලි නාට්‍යයක් සඳහා දායක වෙන්න අවස්ථාව ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. අපි පිටරට ඉද්දී මේ වගේ අවස්ථාවන් ලැබෙන්නේ නැහැ. අනික් මේ වගේ දැවැන්ත ටෙලි නාට්‍යයක් දායක වෙන්න ලැබීම ගැනත් ගොඩක් සතුටුයි. සඳරුවන් ජයවික්‍රම අයියාගෙන් රංගනය ගැන විතරක් නෙමෙයි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒ ලැබුණු අත්දැකීම් මගේ ජීවිතයට හොඳ දෙයක් වුණා.

ප්‍රවීණ අයගෙන් ලැබෙන සහයෝගය?


මම දිනක්ෂි අක්කා සහ සාරංග අයියා එක්ක වැඩ කරන්න ලැබුණා. මම මුලින්ම රඟාපන්න ගත්තේ දිනක්ෂි අක්කා එක්ක. එයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි චන්දීප ජයකොඩි අයියාව. එයා එක්ක තමයි මගේ වැඩිපුරම සීන් තියෙන්නේ. එයා මට වඩා මේ ගැන අත්දැකීම් තියෙන කෙනෙක්. අපි හැමදේම කතාකරලා හොඳ දෙයක් කරන්නේ කොහොමද කියන තැනට ආවා. තව අලුත් දෙන්නෙක් ඉන්නවා හිරුණි වීරක්කොඩි සහ හසිත් ලක්ෂිත. අපි හතර දෙනා ඇත්තටම ගොඩක් යාළුවෝ වුණා. අපි හතරදෙනාගේ පළවෙනි ටෙලි නාට්‍යය. අපේ බැඳීම නිසා මේ වැඩේ හොඳට වුණා කියලා හිතනවා.

ඉදිරි කටයුතු සහ බලාපොරොත්තු?

දැනට නම් කලාව පැත්තෙන් මොනාවත් කරන්න බලාපොරොත්තුවක් නැහැ. දැනට මේ නාට්‍ය තමයි කරගෙන යන්නේ. ඊළඟ අවුරුද්දේ චාර්ටඩ් එකවුන්ටන් ඩිග්රි එක ඉවර කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම රැකියාවක් කරනවා එකවුන්ටින් පැත්තෙන්. ඒ වැඩ සහ ලබන අවුරුද්දේ ටෙලි නාට්‍ය රූගත කිරීම් ටික තමයි දැනට තියෙන වැඩකටයුතු වෙන්නේ.

ඩිලාන් ක්‍රිෂාන්ත