පන්සලේ ඝණ්ඨාරය හඬවා හක්ක පටස් කෑ අලියාගේ දුක කියූ අලියා

හක්ක පටස් ආහාරයට ගැනීමෙන් රෝගීව සිටින වන අලියෙකු කැටුව පැමිණි තවත් වන අලියෙකු විහාරස්ථානයක බෝධීන් වහන්සේ වටා පැදකුණු කර ගාන්ඨාරය ද තෙවරක් නාද කර විහාරය භූමියේ පිහිටි දේවාලය දෙස නිසොල්මන්ව බලා සිට යළි කැලයට පිටත්ව ගිය දුර්ලභ සිද්ධියක් කැකිරාව ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.
කැකිරාව ඇලගමුව බරාවිල සුදර්ශනාරාම රජ මහ විහාරස්ථානයේදීයි එම සිද්ධිය සිදුව ඇත්තේ.

එම සිද්ධිය විස්තර කළ කැකිරාව බරාවිල සුදර්ශනාරාම රාජ මහාවිහාරාධිකාරී පූජ්‍ය තම්මැන්නාගම බුද්ධරක්ඛිත හිමියෝ කියා සිටියේ මෙවැන්නක්,

 ‘‘පන්සලේ බෝධිය පැත්තෙන් සද්දයක් ඇහුනා. මම විදුලි පන්දමත් අරගෙන එළියට බැහැලා බැලුවා කවුද මේ රෑ පන්සලේ වත්තේ සැරිසරන්නේ කියලා මම ඒ වෙලාවේ දැක දේ පුදුම සහගතයි.

පන්සල් වත්තට අලි දෙන්නෙක් ඇවිත් හිටියා. එක අලියෙක් ටිකක් පොඩි එක්කෙනෙක්. අනික් එක්කෙනා නම් ටිකක් ලොකු කෙනෙක්. මේ දෙන්නා පන්සලේ බෝ මළුව පැතේ ඉදලා පඩි පෙළ බැහැගෙන පන්සල් වත්තේ තියෙන දේවාලය පැත්තට යනවා.

පස්සේ දේවාලය ඉදිරිපිට තියෙන ගණ්ඨාර කුළුන ළගට ගියා. පස්සේ ලොකු අලියා ගණ්ඨාරයේ ලණුව අල්ලගෙන තුන්පාරක් ගණ්ඨාරය ගැහැව්වා. ඊට පස්සේ ගණ්ඨාරයේ ලණුව කඩලා කුළුණ මුල බිම දාලා එතැනම තියෙන දේවාලය ඉදිරිපිටට වී නිසොල්මංව ටික වේලාවක් දේවාලය දෙස බලා ගෙන හිටියා.

මේ දේවාලය බොහොම හාස්කම් තියෙන දේවාලයක්. ඊට පස්සේ ඒ දෙන්නා පන්සල් වත්තේ කැලේ පැත්තට යන්න ගියා. ඒ වෙලාවේ මම උගුර පාදලා මොකද මේ රෑ ඇවිද ඇවිද කරන්නේ කරන්නේ කියලා අලින්ට කරුණාවෙන් කතා කළා.

ඊට පස්සේ ඒ දෙන්න කැලේ ඇතුලටම යන්න ගියා. පස්සේ මම බෝමළුව දෙසට ඇවිත් බැලුවම දැක්කා ඒ අලි දෙන්න බෝ මළුවට මුලින්ම ඇවිත් තියෙන බව. ඒ අලි දෙන්නා බෝමළුව වටේ ඇවිදලා තිබුණා. හැබැයි බෝධින් වහන්සේටවත් ඒ අසළ වෙන යමකට හෝ කිසිම හානියක් කරලා තිබුනේ නැහැ.

මේ ආව අලි දෙන්නගෙන් පොඩි අලියා හක්ක පටස් කාලා තුවාල වෙලා ඉන්න අලියෙක් බව දැනුණා. ඒ සතා ට ඇවිද ගැනීමේ අපහසුතාවකුත් තියෙනවා. ඒ ගැන ගමේ අයත් කළින් දා මට මේ අලි දෙන්නා ගැන කියලා තිබුණා.

රෝගාතුව ඉන්න පොඩි අලියගේ ආරක්ෂාවට වගේම එයාගේ උදව්වට ලොකු එක්කෙනා නිතරම එයා ළග ඉන්නවා. මේ අලි දෙන්නා දැන් දවස් ගණනක් පන්සල් වත්ත පිහිටි ගල් කන්දේ සැරිසරනවා.

තිරිසන් ආත්මයක් ලබා සිටියත් බුදු දහමත් එක්ක සම්බන්ධකම් පවත්වන තමන්ට පාපතර මිනිසකු නිසා අත්ව ඇති ඉරණම හා තමන්ට ඇති වී තිබෙන වේදනාව ගැන දෙවියන්ට කියන්න මේ අලි පන්සලටත් එන්න ඇති කියලා හිතෙනවා.

මේ සිද්ධිය දැකලා මට පුදුම හිතුණා මම ඒ වෙලාවෙම ගල්කිරියාගම වනජීවි කාර්යායේ නිලධාරීන්ට මේ රෝගාතුරව ඉන්න වනඅලියා ගැන විස්තර කිව්වා.''

පූජ්‍ය තම්මැන්නාගම බුද්ධරක්ඛිත හිමියන්ගේ දැනුම් දීම මත ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ නිලධාරීන් ඊයේ (03) වල් අලින් දෙදෙනා සොයා මෙහෙයුම් ඇරඹු අතර ගම්වාසීහු ද එම මෙහෙයුමට සහය දී තිබෙනවා.

විහාරස්ථානයට ආසන්නයේ ඇති අඩි 300ක් පමණ උස්වූ ගල් කන්දක් මුදුනේ රැඳී සිටි වනඅලින් දෙදෙනා වනජීවී නිලධාරීන්ට හමුව තිබෙනවා.

රෝගී අලියා සමීපයට ගොස් නිරීක්ෂණය කිරීමට යාමේදී අනෙක් වන අලියාගෙන් බාධා එල්ල කළ බව නිලධාරීන් පවසා සිටින්නේ.

හක්ක පටස් ආහාරයට ගැනීමෙන් අනතුරට ලක්ව රෝගාතුරව තවත් අලියෙකුගෙන් රැකවරණය ලබමින් සිටින වන අලියාට අවශ්‍ය පශු වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු කඩිනමින් ඇරඹීමට කටයුතු යොදා ඇති බවයි ගල්කිරියාගම වන සත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් සඳහන් කර සිටියේ.