බිරිඳට මුල්තැන දෙමින්, සුල්තාන් රජු රජකම අතහරී - (Photos)

තමන්ගේ පෞද්ගලික උවමනාවන් නිසා ධුරයට සහ රටට අසාධාරණයක් වන බව පවසා මැලේසියානු රජු සිය කිරුළ අතහැර තිබෙනවා.

පස්වන සුල්තාන් මුහම්මද් රජු මෙසේ සිය ජනතාවට ආයුබෝවන් කියා සිය රජකමෙන් සමුගත්තේ එවැන්නක් කළ මැලේසියාවේ පළමු රාජකීයයා වශයෙන් ඉතිහාසගත වෙමින්.
පසුගියදා ඔහු විසින් හිටපු රුසියානු රූ රැජින විවාහ කර ගැනීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බවට අදහස් පළ වී තිබුණද තවමත් නිළ වශයෙන් මෙම හේතුව සනාථ කර නැහැ.

කෙසේ වෙතත් ඔහු සිය රටේ ව්‍යවස්ථාව හා සම්ප්‍රදායන්ට හිස නමා සිය ඉල්ලා අස්වන්නට තීරණය කළ බවට ඔහු දන්වා තිබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

49 හැවිරිදි පස් වන සුල්තාන් මුහම්මද් රජු 1957 යටත් විජිත පාලනයෙන් පසු මැලේසියානු රාජ්‍ය භාර ගත් රාජකීය පරම්පරාවේ 15 වන රජු ද වනවා.

2016 වසරේ දෙසැම්බර් මාසයේදී මැලේසියානු රජු ලෙස දිවුරුම් දුන් ඔහුගේ ධුරය අවසන් වීමට තවත් වසර 03ක කාලයක් ඉතිරි වී තිබෙනවා.

ඔහු මැලේසියාවේ රාජ්‍යයේ නායකයා ලෙසද, මැලේසියානු ආරක්ෂක හමුදාවන්ට උත්තරීතර අණ දෙන නිළධාරියා ලෙසද, කටයුතු කරනු ලැබුවා.

ඔහුගේ ඉල්ලා අස්වීම සනිටුහන් කරමින් ඔහු වෙනුවෙන් ජනතාව වෙත කරුණු ඉදිරිපත් කළ රාජකීය නිළධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ මැලේසියාවේ එක්සත්කම මෙන්ම ස්වෛරීත්වය සමග සාමය සුරැකීම වෙනුවෙන් ඔහු ඉල්ලා අස් වූ බවයි.

තමන්ගේ පෞද්ගලික උවමනා එපා කම් මත රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සිතැඟි පරිදි අර්ථ දක්වමින් රජකම රැක ගන්නට යත්න දරන බොහෝ ආසියානු පාලකයන්ට, පෞද්ගලික උවමනාවන් හමුවේ ජන මතය පාවා නොදුන් ජන නායකයෙකු පිළිබඳ දැන් කලාපයෙන්ම උදාහරණයක් තිබෙනවා.