කාන්තාවක් කපා කොටා ඝාතනය කර ආබාධිත දියණියටත් හිරිහැර කළ කාන්තාව, බෝට්ටුවකින් ඉන්දියාවට ගිය අභිරහස් කතාව

තලෙයිමන්නාරම මුහුදු වෙරළේ සිට ඉන්දියාවේ රාමේෂ්වරමට එතරම් දුරක් නැහැ.

යුද්ධය පැවැති සමයේ උතුරු නැගෙනහිර පළාත්වල පදිංචිව සිටි දෙමළ වැසියන් විශාල සංඛ්‍යාවක් ඉන්දියාවට පලා ගියේ තලෙයිමන්නාරමේ සිට බෝට්ටුවලින්.
එදා මෙන්ම අදත් මේ සඳහා බෝට්ටු හිමියන් විශාල මුදලක් අයකළා. ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය මේ බව හෙළිකරගත්තේ වයෝවෘද්ධ කාන්තාවක් මරා මන්නාරමට පලා ගිය කාන්තාවක සොයා සිදු කළ මෙහෙමුමේදීයි.

ඇය අල්ලා ගැනීමට තලෙයිමන්නාරමට ගිය ත්‍රිකුණාමලය මුලස්ථාන පොලීසියේ කණ්ඩායමට දැනගැනීමට ලැබුණේ ඇය මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලාගොස් ඇති බවයි.

ඒ අනුව ඇය පලාගිය බෝට්ටුව සොයාගත් පොලිස් කණ්ඩායම එම බෝට්ටුවද හිමිකරුද අත්අඩංගුවට ගන්නේ අපරාධයක් කොට සැඟව සිටි සැකකාරියකට පලා යාමට අනුබල දීමේ චෝදනාව මතයි.

ප්‍රශ්න කිරීමේදි ඔවුන් පවසා තිබුණේ දරුවෙකුද සමඟ පැමිණි ඇය තමාට කරදරයක් වූ බවත් ඉන්දියාවට ඇරලවන ලෙස ඉල්ලූ බැවින් රුපියල් ලක්ෂ හතරකට වැඩි මුදලක් අයකර ඇය රාමේශ්වරමට ඇරලූ බවයි.

පොලිස් මෙහෙයුම්වලදී හෙළි වූ තවත් කරුණක් වූයේ මීට වසර කිහිපයකට ඉහතදී පිළියන්දල පොලිස් වසමේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ පොලිස් පරීක්ෂක රංජීවට වෙඩි තැබූ පිරිස පලාගියේද මෙම බෝට්ටුවෙන් බවයි.

එම වෙඩි තැබීම සිදුකළ පතාලය පලායාම ගැන තොරතුරු හෙළි කළද ඉන්දියාවට ගිය කාන්තාව ත්‍රිකුණාමලයේ දී මහලු කාන්තාවක ඝාතනය කළ බවක් තමන්ට නොපැවසූ බවද ඔවුන් පොලීසියට කියා තිබුණා.

මෙලෙස පලා ගිය කාන්තාව මනුෂ්‍ය ඝාතනයක් සිදු කරන්නේ ත්‍රිකුණාමලය පොලිස් වසමේ, කේතිඅඩි ප්‍රදේශයේදීයි.

වයස අවුරුදු හැට අටක් වූ යෝගරාජා යෝගම්බිගා නැමැති සිව්දරු මවක්. මෙලෙස ඇය ඝාතනය කරන්නේ පසුගිය මස 11 වැනිදා අලුයම් කාලයේදීයි.

ඇය සමඟ නිවසේ ජිවත් වූ වයස අවුරුදු හතළිස් පහක් වන ඇයගේ ආබාධිත දියණිය කපා දමා තිබුණත් ඇයට දිවි ගලවා ගැනීමට හැකිවුණා.

මෙම සිද්ධිය ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසියට වාර්තා වන්නේ ත්‍රිකුණාමලය රෝහල් පොලීසියෙන්.

එදින අලුයම ලබාදුන් ඇමතුමෙන් කියා සිටියේ කැපුම් තුවාල සහිතව කාන්තාවක් රෝහලට ඇතුළත් කළ බවත්, ඇය සමඟ සිටි මව නිවසේ මරා දමා ඇති බවයි.

සිද්ධිය වූ නිවසට ගිය පොලිස් කණ්ඩායමට දැකගන්නට ලැබුණේ කාන්තාව කාමරයේ ලේ විලක් මැද මිය ගොස් සිටින අයුරුයි.

තොරතුරු සොයා යාමේදී හෙළි වූයේ මෙම ඝාතනය සිදුකළේ අල්ලපු නිවසේ සිටි කාන්තාව බවයි.

යෝගරාජා යෝගම්මිගාගේ දරුවන් සිව් දෙනා අතුරින් දෙදෙනෙකු විවාහ වී නිවස අසළම පදිංචිව සිටිනවා.

එක් පුතෙකු ජිවත් වන්නේ කැනඩාවේ. ඇය සමඟ කල් ගෙවූ දියණිය අංග විකල, මන්දබුද්ධික බවකිනුත් යුතු වුණා.

හතළිස් පස්වන වියේ පසූ වූ ඇයට කතා කිරීම තරමක් අපහසු වුවත් ගෙදර දොරේ වැඩපළ කිරීම අසීරු වුණේ නැහැ.

මොවුන්ගේ නිවසට අල්ලපු නිවසේ පදිංචිව සිටියේ සැමියා අතැර ගිය, පහළොස් හැවිරිදි පුතෙකු සමඟ කල් ගෙවන කාන්තාවක්.

ඇයට ජීවත් වීමට නිශ්චිත ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ. බොහෝ අවස්ථාවලදී ඇය ණයට අසල්වාසීන්ගෙන් මුදල් ඉල්ලා සිටියා.

එසේ ඉල්ලා ගත් නමුත් ඇයට ඒවා නැවත ගෙවාදැමීම පහසු වුණේ නැහැ.

ඇය ඉඳහිට යෝගම්බියාගේ නිවෙසට ගියේ තම නිවසේ රාත්‍රීය ගත කිරීමට නොහැකි බව පවසමිනුයි.

සිද්ධිය වූ දිනයේද ඇය සිය පුත්‍රයා සමඟ යෝගම්බියාගේ නිවසට යන්නේ එදින රාත්‍රීය ගත කිරීමටයි.

යෝගම්බියාට එය අමුත්තක් නොවුණූ අතර පුරුදු පරිදි ඇය මව සහ පුතා සෙනෙහසින් පිළිගත්තා.

රාත්‍රීය ගෙවී සේ හිරු උදාවට ආසන්න වෙද්දි එම ගම් ප්‍රදේශයේම පදිංචිව සිටින යෝගම්බියාගේ දියණියක් මවට දුරකථන ඇමතුමක් ගන්නේ සුපුරුදු ලෙස දුක සැප විමසීමටයි. එහෙත් එදින... ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

දුරකථනයට නාව මව සොයාගෙන දියණිය නිවසට යන්නේ අනතුරුවයි.

කාමරයට එබුණු ඇයට කෙඳිරිලි හඬක් ඇහුණා. මව නිහඬ වූ අතර අංග විකල දියණිය කියා සිටියේ අල්ලපු ගෙදර සිටි කාන්තාව අළුයම තමාටත් මවටත් පිහියකින් කෙටූ බවයි.

සැකකාරිය පලා ගිය නිසාම පොලීසියට තොරතුරු හෙළි කරගැනීම ලේසි පහසු වුණේ නැහැ.

ඒ නිසාම ඔවුන්ගේ තීරණය වුණේ මෙම ඝාතනය යෝගම්බියාගේ මුදල් පැහැරගැනීම සඳහාම කළ මිනීමැරුමක් බවයි.

එදින අළුයම ඇය මුදල් සොරකමක් සිදු කරන්නට ඇති බවත්, අනතුරුව මිය ගිය කාන්තාවට පිබිදීම නිසා මෙම මිනීමැරුම සිදු කරන්නට ඇති බවත් පොලීසිය සැක කරනවා.

සැකකාරිය මුදල් අර්බුදයකට මුහුණ පා සිටින බව සිතුවත්, එය සාවද්‍ය වන්නේ ඇය ඉන්දියාවට පලා යාමට ලක්ෂ ගණනක් වියපැහැදම් කරන නිසාවෙනුයි.

මෙපමණ මුදලක් ඇයට ලැබුණේ යෝගම්බියාගේ නිවසින්ද?

එහෙත් ඇය එම නිවසින් මුදල් සොරාගත් බවට සැකකළ හැකි කිසිවකුත් පොලීසියට මෙතෙක් හමුවී නැහැ.

-තක්ෂිලා ජයසේකර