කසාදය කියන්නෙ හිර කූඩුවක් නෙමෙයි - විශ්ව කොඩිකාර

විශ්ව කොඩිකාර කියන්නේ කලා ක්ෂේත‍්‍රයේ වැඩි ආදරයක් ආකර්ෂණයක් ලබාගත් චරිතයක්. ඔහුගේ අලුත්ම තොරතුරු ගැන පුවත්පත් සාකඡාවක දී මේ විදිහට කියලා තිබුණා.

මේ දිනවල නියැළෙන කලා කටයුතු මොනවද?

මේ දිනවල වැඩිපුරම ප‍්‍රතිචාරයක් ලැබෙමින් විකාශය වෙන අහස් මාලිගා ටෙලිනාට්‍යය. ඊට අමතරව අලූත් නාට්‍ය දෙකක රූගත කිරීම් සිදුවෙමින් පවතිනවා. මේ ටිකේ ඒ නිර්මාණ වෙනුවෙන් තමයි සම්බන්ධ වෙලා ඉන්නෙ.
මේවට අමතරව මෑතක දී වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණේ නැද්ද?

වේදිකා නාට්‍යය කළේ කෝරළේ මහත්තයා පමණයි. වේදිකා නාට්‍ය වෙනුවෙන් සම්බන්ධ වෙන්න වෙලාවක් තිබුණේ නෑ. නමුත් වේදිකාව කියන්නෙ නළුවෙකුට අත්‍යවශ්‍ය දෙයක්. ඒ වාසනාව මට ලැබුණා. ඉතින් ඉදිරියේ දී උත්සහ කරනවා කාල වේලාවත් කළමනාකරණය කරගෙන අපේ තරුණ පරම්පරාවත් එකතු කරගෙන හොඳ නිර්මාණයක් කරන්න.

විශ්ව කොඩිකාර දරුවො දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක් වුණත් තවම ලැබෙන්නෙ පෙම්වතාගේ චරිතය නේද?

ඔව්, තවම ඒ චරිතය ලැබෙනවා.

තවම පෙම්වතා චරිතය ලැබෙන්නෙ ඔබේ පෙනුමට ද?


මම හිතන්නෙ එහෙම වෙන්න  ඕනෑ. ඒ වගේම තමන්ගෙ නමත් ආරක්ෂා කරගෙන නිහතමානිව ක්ෂේත‍්‍රයෙ ඉන්න එකත් වෙලාවට කලාවට වැඩ කරන එකත් ඊට හේතුවක්. මම කොහොමත් රූගත කිරීමකට වුණත් වෙලාවක් කිව්වොත් ඒ නියමිත වෙලාවට ගිහින් ඒ වැඩ කටයුතු ටික කරනවා.

ඒ කියන්නෙ විශ්ව වෙලාවට වැඩ කරන කෙනෙක්.


අනිවාර්යයෙන්ම

නිර්මාණයක් ලැබෙද්දි තෝරා බේරාගෙන ද භාරගන්නෙ?

මෙහෙමයි පේ‍්‍රක්ෂකයා මගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවනෙ. මටත් දැනෙනවා ඔවුන් මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියන දේ. ඉතින් අපි මේ නිර්මාණ කරන්නෙ ඔවුන් වෙනුවෙන්. නැත්නම් අපිට බලන්න නෙමෙයිනෙ. ඒනිසා පේ‍්‍රක්ෂකයාට ගැළපෙන නිර්මාණ තෝරා බේරාගෙන කරනවා.

පේ‍්‍රක්ෂකයා කළු චරිතවලට අකමැතියිනෙ. ඉතින් විශ්වට දුෂ්ට චරිතයක් ලැබුණොත් චරිතය ප‍්‍රතික්ෂේප කරනවද?


මට දැනට එවැනි චරිතයකට යන්න හිතකවත් නෑ. ඒත් කාලයක දී එවැනි චරිතයක් ලැබුණොත් වෙනසකටත් එක්ක කරන්න උත්සාහ කරනවා. ඒත් දැන්ම නෙමෙයි.

දැන්ම නෙමෙයි කියන්නේ?

මේ කාලෙදි මට කරන්න පුළුවන් පෙම්වතාගෙ චරිතය මට හැමදාම කරන්න බෑනෙ. නමුත් දුෂ්ට චරිතය හැමදාම කරන්න පුළුවන් පෙම්වතාගෙ චරිතය කරන්න පුළුවන් ටික කාලයයි. අපේ දැන් මේ තියෙන පෙනුම අවුරුදු 75 දි අපි ළඟ නෑනේ. කවුරුත් එහෙමයි. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. රූපය කොච්චර ආරක්ෂා කළත් වැඩක් නෑ. අපිට උපරිම පෙම්වතාගේ චරිතය කරන්න පුළුවන් කාලය අවුරුදු 35ත් 40ත් වෙන්න පුළුවන්.

ඒ කාලය තුළ අපි රැුඳෙයි. ඉන්පසුව තවත් පරම්පරාවක් එනවා. ඒ පරම්පරාවට අවස්ථාවක් දීලා අපි අපිට ගැළපෙන චරිතෙකට යන්න  ඕනෑ.

ඒ කාලෙදි දුෂ්ට චරිත කරලා පේ‍්‍රක්ෂක ආකර්ෂණය නැති වුණොත්?

කලාකරුවො හරියට හිටියොත් හොඳින් ජීවත් වුණොත් පේ‍්‍රක්ෂකයො ඔවුන්ට ආදරෙයි. චරිතවලට විතරක් නෙමෙයි මගදි හමුවෙලා කතා බහ කරලා හිනාවෙලා යනව නම් ඒ ආදරේ කොහොමත් තියෙනවා. නමුත් පේ‍්‍රක්ෂක ආදරය නැතිවෙන තැන් තියෙනවා. අපි ඔවුන් එක්ක ගනුදෙනු කරන ආකාරය මත තමයි ඒ ආදරය රැඳිලා තියෙන්නේ.

අද තරුණ රංගන ශිල්පි ශිල්පිනියන් විවාහ වෙලා ඉතා ඉක්මනින් දික්කසාද වෙනවා. ඒ තත්ත්වය අද විලාසිතාවක් වගේ. නමුත් විශ්ව තරුණ රංගන ශිල්පියෙක් විදියට අද දරුවොත් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා. ඒකෙ රහස මොකක්ද?

මම කියනව නම් මගෙ පවුල් ජීවිතේ මගේ බිරිඳ එරන්දියි මමයි රණ්ඩු වෙලා නෑ, තරහවෙලා නෑ, අපි ගහට පොත්ත වගේ කියලා ඒක තනිකර බොරුවක්. අපි දෙන්නා විවාහ වෙලා පසුගිය දෙසැම්බර් 5ට අවුරුදු 5ක් වෙනවා. ඒ අවුරුදු 5ට අපි දෙන්නා ආදරය කළා. රණ්ඩු වුණා. බැනගත්තා ඒ හැමදේම කළා. ඒ වගේම අපි දරුවොත් හැදුවා. මට දැන් දරුවො දෙන්නෙක් ඉන්නවා. ලොකු දුවට අවුරුදු තුනයි පුතාට දෙකයි.

පසුගියදා අපේ පස්වැනි විවාහ සංවත්සරයට අපි හතරදෙනා පොඞ්ඩක් එළියට ගියා. ඒ ගියාම මම බිරිඳ එරන්දිගෙන් ඇහුවා ඔයාට මොනවද මගෙ ගැන හිතෙන්නෙ ගෙවුණු අවුරුදු පහ තුළ කියලා.

ඇය කිව්වේ රණ්ඩු වුණා. තරහ වෙලා හිටියා. ආදරය කළා ඉතින් මට ඒ කාලෙ හරි සුන්දරයි කියලා. ඊට පස්සේ මම ඇහුවා ඔයාට මේ කාලෙ ඇතුළත මාව එපා වෙලා තියෙනවද? උපන් ජාතියකටවත් විශ්වව එපා කියලා හිතෙනවද කියලා? ඉතින් ඇය කිව්වෙ හරි සුන්දර කාලයක් කියලා. අපි දෙන්නා රණ්ඩු වෙලා අපිට අපි එපාම කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඒත් ඉතින් ඒවා ඒ වෙලාවට විතරයි. අපිට රණ්ඩුවීමයි යාලූවීමයි අතර ඇති වෙනස තේරුම්ගන්න හැකියාවක් තියෙනවා.

මගේ තාත්තා මට දීලා තියෙන එකම අවවාදය තමයි උඹේ ඇඟිලි පහ එක වගේද? නෑ... අතේ ඇඟිලි පහ එක වගේ නෑ කියන්නෙ උඹට ගැළපෙන ගෑනියෙක් හම්බවෙන්නෙ නෑ. හම්බවෙන්නෙ නොගැළපෙන කෙනෙක් තමන් උත්සහ කරන්න  ඕනෑ එකට ජීවත් වෙන්න. කසාදය කියන්නෙ හිර කූඩුවක් නෙමෙයි. අපේ නිදහස අපිට තියෙන්න ඕන. ඉතින් අපි දෙන්නට ඒ නිදහස තියෙනවා.

මට නොගැළපෙන තැන් ඇයගෙත් ඇයට නොගැළපෙන තැන් මගෙත් තියෙනවා. ඒත් ඒවා ගළපගෙන ඉදිරියට යන්න උත්සාහ කරන්න  ඕනෑ. මගෙත් එක්ක වැඩකරපු සමහර අයගෙ පවුල් ජීවිතවල ප‍්‍රශ්න ඇති වුණා. ඒ ගැන ඇත්තටම හරි කණගාටුයි. නමුත් ඒ ඒගොල්ලන්ගෙ කැමැත්ත මත ඇතිවෙන දේවල්. අපිට ඒවට කතා කරන්න බෑ. ඒවට කතා කරන එක අපිට අදාළ දෙයකුත් නෙමෙයිනෙ. නමුත් මම කියන්න  ඕනෑ තැන්වල දී මගෙ යාලූවන්ට ඒ ගැන කියලා තියෙනවා. ඊට වඩා කරන්න දෙයක් නෑනෙ. මට මගෙ තාත්තා කියලා දීලා තියෙනවා ජීවත්වෙන්න  ඕනෑ විදිය. ඉතින් මම ඒ විදියට ජීවත් වෙනවා. ඉදිරියේදිත් මමත් බිරිඳත් රණ්ඩු වෙයි. බැණ ගනියි. යාලූවෙයි. ඒත් ඉදිරියේ දී තවත් සංවත්සර ගණනාවක් සමරයි. මම උත්සහ කරනවා මගෙ දරු පවුල රැුකගෙන හොඳින් ජීවත්වෙන්න. ඔවුන් එක්ක ගෙවන ජීවිතෙත් හරි සුන්දරයි.

2019 වසරේ අලූත් බලාපොරොත්තු මොනවද?

ලොකු ආසාවක් තිබුණා අපි දෙන්නා එකතුවෙලා අපේම කියලා ඉඩමක් අරගන්න. ඒ බලාපොරොත්තුව 2018 වසරේ අපට උදාකර ගන්න ලැබුණා. ඒ වගේම තිබුණු හීන ගොඩක් ඉෂ්ට කර ගත්තා. ඒ වගේම 2019 වසරේත් ඉෂ්ට කරගන්න ඉලාපොරොත්තු තියෙනවා. පේ‍්‍රක්ෂකයො වෙනුවෙන් හොඳ නිර්මාණ ලබාදෙන්නත් අසරණ මිනිසුන්ට උදව් උපකාරයක් කරලා ඔවුන් වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න අවශ්‍යයි.