gossip lanka

උසස් පෙළ විභාගයෙන් දිවයිනෙන්ම අති විශිෂ්ඨ ජයක් ලැබූ උසස් පෙළ හපන්නුන්ගේ ජයග්‍රහණයන් පිටුපස ඇති කතාව - (video)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ඉහළම ලකුණු ලැබූ සිසු සිසුවියන් අතරින් වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයි.

මෙවර ප්‍රධාන විෂය ධාරා 6 ක් යටතේ පැවැති උසස් පෙළ විභාගයේ සිසුන් 119 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.

උසස් පෙළ විභාගය සදහා මෙවර අයදුම්කරුවන් තුන් ලක්ෂ 21,469 ක් ඉ දිරිපත් වූ අතර, ඒ අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව එක් ලක්ෂ 67,907 ක්.

ඒ අනුව මෙවර ජීව විද්‍යා අංශයේ පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කලණි සමුදා රාජපක්ෂ සිසුවියයි.

එම විෂය ධාරාවේ දෙවන ස්ථානය කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ රවිදු ශෂික ඉලන්ගම්ගේ සිසුවා හිමිකරගත් අතර තුන්වන ස්ථානය හිමිකරගෙන ඇත්තේ මාතලේ සහීරා විද්‍යාලයේ එම්.ආර්. එම්. හකීම් කරීම් සිසුවායි.

භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ පළමු ස්ථානය කොළඹ විසාකා බාලිකා විද්‍යාලයේ චතුනි හංසනී විජේගුණවර්ධන සිසුවිය හිමිකරගෙන තිබෙනවා.

දෙවන ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිදු සුරාන් ලියනගේ සිසුවාත් තුන්වන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිඳු ජනිත් විජේසේකර සිසුවාත් හිමිකරගත්තා.

වානිජ විෂය ධාරාවේ පළමු ස්ථානය හිමිකර ගත්තේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් ඉඳුරංග වික්‍රරත්න සිසුවායි.

එම විෂය ධාරාවේ දෙවන ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උවිනි අයත්මා රණවීර ශිෂ්‍යාවත් තුන්වන ස්ථානය කොළඹ මියුසියස් විද්‍යාලයේ මලිති ජයරත්න ශිෂ්‍යාවත් හිමිකරගෙන තිබෙනවා.

කලා විෂය ධාරාවේ පළමු ස්ථානය මෙවර හිමිව ඇත්තේ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදි දම්යා ද අල්විස් සිසුවියයි.

එම විෂය ධාරාවේ දෙවන ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සිත්මි නිමාෂි එදිරිසිංහ සිසුවියත් තුන්වන ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඉෂානි උමේෂා පිටිගල සිසුවියත් හිමිකර ගත්තා.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම සහ දෙවන ස්ථාන ද්විත්වයම කොළඹ ආනන්ද විද්‍යාලයට  හිමිව තිබෙනවා.

ඒ අනුව පළමු ස්ථානය පමුදිත යසස් පතිරත්න සිසුවාත් දෙවන ස්ථානය තරිඳු හේෂාන් සිසුවාත්  හිමිකර ගනිද්දී එම විෂය ධාරාවේ තුන්වන ස්ථානය නිකවැරටිය ජාතික පාසලේ සෙෂාන් රංගන විජේකෝන් සිසුවා හිමිකර ගත්තා.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ පළමු ස්ථානය කඹුරුපිටිය නාරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ සඳුනි පියුමාෂා කොඩිප්පිලි සිසුවිය හිමිකරගෙන තිබෙනවා.

එම විෂය ධාරාවේ දෙවන ස්ථානය සමන්තුරේ මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ එම්.වී. රිෂා මොහොමඩ් සිසුවාත් තුන්වන ස්ථානය හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විසිඳු දිලෙන්ක ලක්මාල් සිසුවාත් හිමිකර ගත්තා.

මෙවර ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීමේ කාලසීමාව ජනවාරි 16 වැනිදායින් අවසන් වනවා.

පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරුන් මගින් සමීක්ෂණ අයදුම්පත් එවිය යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන්ට  විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ ඇති අයදුම්පත අනුව අයදුම්පත් සම්පුර්ණ කර එවිය හැකියි.
gossip lanka