gossip lanka

"ඔහු මට බාධා කළේ නැත්තම් සීයට අසූවක්වත් බේරගන්න තිබුණා." - වසර 14කට පෙර පැරෑලියේ දුම්රියේ සිට සුනාමියට මුහුණ දුන් නලින් කියන කතාව

තමන් යෙදූ උපාය ක්‍රියාත්මක කරන්නට දුම්රිය නියාමක වරයා ඉඩ ලබා දුන්නානම් ජීවිත රැසක් බේරගන්නට තිබූ බැව් සුනාමි ඛේදවාචකයේදී පැරෑලියේ දුම්රියේ සිරවී අනූනවයෙන් දිවිගලවාගත් නලින් මින්දක මහතා පවසනවා.

ඊයේ දිනයට වසර 14ක් සපිරෙන සුනාමි අනතුර පිළිබඳව හා මිය ගිය අයවලුන් පිළිබඳව විමසීමේදී කුලියාපිටිය හොරතෑපොල නවසිගහවත්ත ප්‍රදේශයේ පදිංචි කහටපිටියගේ දොන් නලීන් මින්දක මහතා එසේ පැවසුවා.

මේ වනවිට වැලිපැන්න කුලියාපිටිය පුත්ගලික බස්රථයේ රියදුරා වශයෙන් කටයුතු කරන නලින් මින්දක මහතා තවදුරට අදහස් දැක්වූ ඒ මහතා,

"අපි දකුණු කලුතරින් 8 20 කෝච්චියට නැග්ගෙ. ඒක මාතර යන එකක්. මමයි බිරිඳයි දරු දෙන්නයි නැන්දම්මයි තමයි ගියෙ. එතනදි පැරෑලියේ අනතුර වුන තැන දුම්රිය සංඥා නැතිව නවතලා තිබුණෙ. මුලින්ම ජල පාර ආව වෙලාවෙ අපි හිටපු මැදිරියට ඉදිරියේ මැදිරිය ගැලවිලා ඇලවුණා. එච්චර උසට ආව ජල පහරක් නෙවෙයි නිසා මම ළඟ ගෙදරකින් නයිලොන් කඹයක් ඉල්ලගෙන දුම්රිය මැදිරියක බැඳලා අනෙක් කොන පොල්ගහක බැන්දා..."

"මම කිව්වා කට්ටියටම ඒ කඹේ දිගේ එගෙඩ වෙලා ජලය නැති පැත්තට යන්න කියලා. ඒ එක්කම දුම්රිය නියාමක වරයා මට බැන්නා එහෙම කරන්න මට අයිතියක් නැහැ එයාටයි ඒ වගකීම් තියෙන්නෙ කියලා. එතනදි එන්න ආව ගොඩක් දෙනෙක් අපහු ජලය තිබ්බ කෝච්චිය අතුලට ගියා."

"එතනදි නැවත මට නියාමක වරයා බනිද්දි මම කිව්වා අයෙ වතුර එන්න ඉඩ තියනවා ඒ නිසා මගේ පවුලෙ අය විතරක් මම ගන්නවා කියලා. ඒකටත් ඉඩ දුන්නෙ නැහැ. මම බලහත් කාරයෙන් ගන්න ගියා. මට විරුද්ධව ඇක්ෂන් ගන්න කතාවකුත් කිව්වා. ඒත් කරාපිටියෙ සීමාවාසික වෛද්‍ය වරයෙක් එහෙම මගේ උපායෙන් ගියා. පස්සෙ අපි ඒ විදිහට තර්ක කරමින් ඉන්නකොට ගුවන්යානාවක් ගොඩාක් පහතින් යන සද්දෙ එනකොටම මම බලනකොට මහා විශාල උසකින් ජලකඳක් එනවා දැක්කෙ. මට ගොඩක් බය හිතුනත් කරගන්න කිසිදෙයක් මතක්වුණේ නැහැ."

"මගේ කිමිදීමේ හා පිහිණීමේ හැකියාවෙන් මම විදේශීය කාන්තාවක් ඇතුලු 30ක් විතරම බොහෝදෙනෙක් බේරගත්තා. මගේ කට්ටියගෙන් නැන්දම්මා මගහැරුණා. පස්සෙ අපි පන්සලට යනකොට අර උපායෙන් දිවි බේරගත්ත වෛද්‍යවරයා ගේන ගේන අයට ප්‍රථිකාර කරනවා. එම වෛද්‍යවරයාගේ නම රුක්මාල් ගමගේ. ඔහු දැන් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටිනවා."

"ඒ මියගිය අයගෙ දේහයන් දකිනකොට මට ලොකු තරහක් එක්ක වේදනාවක් ආවා. මට අරවෙලාවෙ නියාමකයා බාධා නොවුනා නම් සියයට අසූවත්වත් බේරගන්න තිබුණා නේද කියලා හිතෙනකොට."

"සුනාමි සැමරුම් උත්සව වලට දැනටත් ඒ කියන දිවි බේරගෙන තිබුණ නියාමකවරයා ගෙන්වනවා. මට දකිද්දිත් තරහ එනවා. ඒත් ඒක දුම්රිය නීතියක් වෙන්න ඇති කියලා හිත හදාගන්නවා. ඒත් දිවි බේරගන්න පුලුවන් නම් නීති කඩලා හරි ඒක කරන එකයි වැදගත් කියලයි මට හිතෙන්නෙ. මටත් එකපාරක් උපහාරයත් දුන්නා. අපි ඒවා නෙවෙයි බලාපොරොත්තු වියයුත්තෙ. හැකි හැම වෙලාවකම අපේම මිනිසුන් ගලවාගන්න පුලුවන්නම් ඒකයි වැදගත්."


මියගිය සියලුම අයට නිවන්සුව පතමින් ඔහුගේ අදහස් දැක්වීම හමාර කළේ කඳුලු පිසලමින්.

සටහන හා ජායාරූප - දිනේෂ් උපේන්ද්‍ර

"සුනාමි දුම්රිය" ලෙස බොහෝ දෙනා හඳුන්වන පැරෑලියේ දුම්රියේ සේයාරූ කිහිපයක් පහතින්. අශ්වබල 1425ක ජවයෙන් යුතු මෙම දුම්රිය කැනේඩියානු එන්ජිමකින් සමන්විතයි. එහි දිග අඩි 43කි. උස අඩි 12යි අඟල් 4ක් වනවා. බර කිලෝග්‍රෑම් 43,966ක්. එනම් ටොන් 90ක්. එන්ජිමට රෝද 6 බැගින් යෙදූ බෝගි දෙකක් තිබෙනවා. දුම්රිය රියැදුරන් මෙන්ම එය භාරව යන නිලධාරීහුද දැඩි ළෙන්ගතුකමක් දැක්වූ දුම්රියත් මෙයම වුණා.
gossip lanka