gossip lanka

තාත්තලා නැති දියණියන් 261ක් නත්තල්දා දෑවැද්ද සමඟ විවාහ කර දුන් අපූරු පිය සෙනෙහස - (Photos)

පියවරුන් අහිමි දියණියන් විශාල පිරිසක් විවාහ කරදුන් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

දැවැන්ත විවාහ මංගල්‍යයක් පවත්වමින් එම තරුණියන් විවාහ කර දී තිබෙන අතර ඒ සියලු වියහියදම් දරා ඇත්තේ ඉන්දියාවේ කෝටිපති, දියමන්ති ව්‍යාපාරිකයකු වන, මහේෂ් සවානියි.

පසුගිය 8 වසරක කාලයේදී මහේෂ් සවානි එලෙස තරුණියන් 3000කට වැඩි පිරිසක් විවාහ කර දී ඇති බව පැවසෙනවා.

තරුණියන් විවාහ කර දීම දෙවියන්ගෙන් ලැබෙන ආශිර්වාදයක් යැයි විශ්වාස කරන මහේෂ් සවානි ගුජරාටි ප්‍රාන්තයේ සුරාත් නගරයේ වෙසෙන පියවරුන් අහිමි දියණියන් විවාහ කර දී තිබෙනවා.

ඔහු මෙම ක්‍රියාව ආරම්භ කර ඇත්තේ 2010 වසරේදී වන අතර එතැන් පටන් සෑම වසරකදීම එලෙස තරුණියන් විවාහ කර දී ඇති බව සඳහන්.

මෙවර විවාහ මංගල උත්සවයේදී තරුණියන් 261 දෙනෙකු විවාහ කර දී තිබෙන අතර ඊට මුස්ලිම් තරුණියන් හය දෙනෙකු සහ ක්‍රිස්තියානි තරුණියන් තිදෙනෙකු අයත්යැයිද ඊට ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති විජේ රූපානිගේ ආශිර්වාදය හිමි වූ බවද ඉන්දියාවේ ඩී.එන්.ඒ. ඉන්දීය පුවත් සේවය වාර්තා කර තිබුණා.

වෙනත් අයෙකුගේ දියණියක් විවාහ කර දීමේදී, “කන්යඩාන්“ නැමැති හින්දු ආගමික චාරිත්‍රයක් අනුගමනය කරන අතර මහේෂ් සවානි, ඉන්දීය පරිපාලන සේවයේ නිලධාරින් කිහිප දෙනෙක් සහ පොලිස් නිලධාරින්ද එක්ව එම චාරිත්‍රය ඉටු කරනු ලැබුවා.

අලුත විවාහ වූ යුවළකට ඔවුන්ගේ ජිවිතය ආරම්භ කිරීම සඳහා ගෘහ උපකරණ ලබා දුන් අතර සෑම යුවළකටම ඉන්දීය රුපියල් 200, 000 රක්ෂණාවරණයක් ද ප්‍රදානය කරනු ලැබුවා.

මීට පෙර වසරවලදී මහේෂ් සවානි ඉන්දීය රුපියල් 500, 000 මුදල් ත්‍යාග ලබා දුන් බවද සඳහන්.

මෙම දැවැන්ත විවාහ මංගල්‍යය උත්සවය නත්තල් දින පැවැත්වුණා.

එදින විවාහ වූ තරුණියන් 261 දෙනාගෙන් 118 දෙනෙකුට සහෝදර සහෝදරියන් නොමැති බව පැවසෙන අතර 54 දෙනෙකු අනාථ දරුවන් බවද සඳහන්.

තමන්ගේ විවාහය සිදු කරගැනීමට නොහැකි තරුණියන්ට උදව් උපකාර කිරීම සමාජ වගකීමක් ලෙස තමන්ට දැනෙන බව මහේෂ් සවානි මීට පෙර පවසා තිබුණා.

ඉන්දියාවේ විවාහ මංගල්‍යය උත්සව යනු, දැවැන්ත මුදල් වියදම් වන උත්සව මාලාවක්.

එහිදී සාමාන්‍ය සම්ප්‍රදායක් ලෙස දැවැද්ද ගෙවීම ද සිදු වනවා.

එම තත්ත්වය මත දියණියගේ විවාහයේ සියලු බරපැන දරන්නේ පියායි.

දියණියගේ පියා මියගොස් ඇත්නම් හෝ අතිශය දුප්පත් නම් දියණිය විවාහ වීමේ අවස්ථාව සීමිතයි.

ඇතැම් විට බොහෝ දියණියන් එම හේතුන් නිසා විවාහ වන්නේ නැහැ.

තම ඥතියෙකු මිය ගිය පසු 2008 වර්ෂයේදී මෙලෙස පුණ්‍ය හා ත්‍යාගශීලි වැඩසටහන් ආරම්භ කළ බවත්, දියණියන්ගේ විවාහ සංවිධානය තමන්ට වගකීමක් ලෙස පැවරුණු බවත්, මහේෂ් පවසා තිබුණා.

එතැන් පටන් මේ දක්වා කාලයේදී මහේෂ් සවානි තරුණියන් 3,172 දෙනෙකු විවාහ කරදී තිබෙනවා.

පහත ජායාරූපයේ සිටින්නේ දියමන්ති ව්‍යාපාරික කෝටිපති, මහේෂ් සිවානියි...


gossip lanka