සුනාමි රළට හසුවූ දුම්රියේ සිට දිවි බේරාගත් බිහිසුණු අත්දැකීම

අදින් අවුරුදු 14 ට පෙර අදවන් දිනෙක (26 වැනිදා) සිදුවූ ඒ සිදුවීම මතක්‌ වන විට තවම හදවත කම්පා වෙයි. දුම්රිය මැදිරි තුළ සිටි මගීන්ගේ විලාප හඬ අදත් අපේ දෙසවන් දෝංකාර දේ. ඔවුන් නැ`ගූ ඒ මහත් අඳෝනා හඬ නිමේශයෙන් නැතිවිය. අප සිටියේ කොහිද? කුමක්‌ සිදුවේදැයිs බේරුණේ කෙසේද? අදටත් අප තිදෙනා තුළම ඇති ප්‍රශ්නයකි.
 මොරටුව දුම්රිය ස්‌ථානයෙන් තුන්වැනි පන්තියේ ප්‍රවේශ පත්‍රයක්‌ ගෙන මමත් මගේ සැමියාත් එවකට අවුරුදු 12 ක්‌ වයසැති පුතුත් සමග මාතර, කඹුරුගමුවේ පදිංචි මාගේ මෑණියන් බැලීමට පිටත් වූයෙමු. වෙනදා මෙන් නොව එදින දුම්රිය එහි සටහන් වෙලාවටම පැමිණියේය. එහෙත් එයට ගොඩවන්නට බැරි තරමට සෙන`ග පිරී සිටියහ. කෙසේ හෝ අමාරුවෙන් දුම්රියට නැ`ගගත් අපිs තිදෙනා 2 වැනි පන්තිය ආරම්භ වන ස්‌ථානයේ දොර ළ`ග සිට ගතිමු. වෙනදා මෙන් සෞම්‍ය කාලගුණයක්‌ තිබිණි. වෙරළබඩ දුම්රිය නිසාවෙන් දිගටම අපට දිස්‌වූයේ මහා සාගරයයි. දුම්රිය අම්බලන්ගොඩ දුම්රිය නැවතුමට ළ`ගා විය. මගීන්ගේ අඩුවක්‌ නොතිබණි. අප තිදෙනාම තවමත් සිටගෙනය.

 කෙමෙන් ඉදිරියට ඇදී ගිය දුම්රිය මඳ දුරක්‌ ගොස්‌ නතර විය. 'කහව' දුම්රිය නැවතුම පසුකර ගතවූයේ විනාඩි ගණනකි. අප බලා සිටියදී වෙරළ පැත්තේ සිටි මිනිසුන් රැසක්‌ දුම්රිය දෙසට දිව ආහ. දුම්රියට කිසිවකු පැන ඇතැයි සිතුවෙමු. නැත, ඔවුන් සියලු දෙනා අපද තල්ලු කරමින් දුම්රිය ඇතුළට දිව ආවේ 'මුහුද එනවා' යෑයි කියමිනි.

 අපට කිසිවක්‌ සිතා ගන්නටත් පෙර මුහුදු රළ ගෙවල් අතරින් ගස්‌කොළන් අතරින් ඉඩ ලද හැම අස්‌සකින්ම දුම්රිය දෙසට ගලා ආවේය. මම මීට පෙර දිනෙක දුම්රියේ ගමන් කරද්දී මෙවන් අත්දැeකීමකට මුහුණ දුන්නෙමි. ඒ වාරකන් කාලයකදීය. ඒ වෙරළබඩ දුම්රිය මාර්ගය අසලම වෙරළ ඛාදනය වන ස්‌ථානයකි. එහෙත් මේ සිදුවූයේ එවැන්නක්‌ නොවන බව මට වැටහුණි.

 ගෙවල්වල තිබූ බඩුමුට්‌ටු, පොත්පත්a, පාසල් උපකරණ මේ සියල්ල සම`ග වේගයෙන් ආ මුහුදු රළ, දුම්රිය මැදිරි පසුකරමින් ගම තුළට ගලාගෙන ගියේය. සියලු දෙනාම බියෙන්, කුමක්‌ වේදැයි බලා සිටිති. සමහරු වැළපෙති. ගමේ අය ඔවුන්ගේ ගෙවල්වලට සිදුවී ඇති විනාශය කියමින් කම්පා වෙතිs. දුම්රිය මැදිරි තුළද අපගේ ඉන වට ප්‍රමාණයට වතුර ආවේය. වතුරේ ගසාගෙන ආ පූස්‌ පැටියෙකු මම අල්ලා දුම්රිය තුළට දමා ගතිමි. දැන් අප සිටිනා මැදිරියේ ජලය බැස ගොසිනිs. එහෙත් එය දැන් දුම්රිය මැදිරියක්‌ නොව වන රොදක්‌ බඳුය. අවට තිබූ ගස්‌කොළන්, දර අතු, අපද්‍රව්‍ය පිරී ඇත. දුම්රිය එන්ජිමට පසුපස තිබූ මැදිරිය ගැලවී ගොසිනි. එය දුම්රිය මාර්ගයට යාර 150 ක්‌ පමණ දුරින් පෙරළී තිබිණි.

 විනාඩි දහයක පමණ කාලයක්‌ ගතවිය. ඈතින් විශාල ශබ්දයක්‌ ඇසුණි. එය ඉතා බියකරු හඬකි. මමත්, සැමියාත්, පුතාත් දුම්රියේ මැදිරි වෙන් වන දොර අසලය. කුමක්‌ කරන්න දැයි සිතා ගැනීමට වේලාවක්‌a නැත. ක්‍ෂණයකින් අහස උසට නැ`ගී ජල කඳක්‌ විශාල හෙන හඬක්‌ නගමින් දුම්රිය මැදිරිවල වැදී ගලා ගියේය. ප්‍රදේශයම අන්ධකාරයෙන් වැසුණි. පියවි සිහිය එන විට අප තිදෙනාම සිටියේ දුම්රියේ දොර අසල ඇති අත්වාරුව අල්ලාගෙනය. 'පුතා ඉන්නවා දැයි?' මම සැමියාගෙන් විමසීමි. පුතාත් එතැනමය.

 දැන් අපට පිළිසරණක්‌ නැත. සියලු දෙනාම මරු හා සටන් කරමින් සිටිති. හතර වටේම මහා සාගරයයි. ගොඩබිම නොපෙනේ. දුම්රියක්‌ද නැත. මිනිසුන් වතුරේ ගසාගෙන යයි. අප සිටි දුම්රිය මැදිරියද අප සමගින්ම වතුරේ ගසාගෙන යයි. විශාල පොල්ගස්‌ තුනක පමණ ගැටී ඒවාද පෙරළාගෙන ඉදිරියට ඇදී ගියේය. එක පැත්තකට මැදිරිය හැරෙන විට අපි අනෙක්‌ කවුළුවෙන් අනිත් පැත්තට හැරුනෙමු. මෙසේ මීටර් 400 ක්‌ පමණ ගසාගෙන ගිය මැදිරිය කුමක හෝ පැටලී නැවතුණි. අප සිටි දුම්රිය මැදිරිය දොර උඩට සිටින සේ රැඳවිණි. අපට උදව් ඉල්ලීමට කිසිවෙක්‌ නැත. අප සිටි තැනට යාබද දෙල් ගසක්‌ උඩ විශාල පිරිසක්‌ නැග සිටියහ. අප තිදෙනා බලා සිටියදීම ඒ දෙල් ගස කඩාගෙන එහි සිsටි සිsයලු දෙනාම වතුරේ ගසාගෙන ගියහ.

 ටික වේලාවකින් කවුදෝ කතාකරනු ඇසුණි. ඒ අප පැමිණි දුම්රියේ ගාඩ් මහතාය. කැඩී බිඳී ගිය දුම්රිය මැදිරිය තුළ සිටින නිරුපද්‍රිත මිනිසුන් දැක ගැනීම නිසා ඔහු කෑ ගැසීය. 'ඔය ළමයාත් අරගෙන පුළුවන් විදිහට මෙහාට එන්නැයි' ඔහු කීවේය. එදෙසට අප යන්නට උත්සාහ කළද යන්නට බැරිය. තවම මුහුදු ජලය පිරී ඇත. කඩා වැටුණු ගොඩනැ`ගිලි, ගස්‌වැල් කෙසේ නම් යන්නද? අපි දෙදෙනාම පුතා ඔසවාගෙන වතුරේ බැස වැටුණු ගස්‌වලට පය තබමින් බොහොම අමාරුවෙන් ගොඩබිම දෙසට ගියෙමු.

 තෙල්වත්තේ පන්සලට අප යන විට එතැන විශාලා මහනුවර වගේ යෑයි මට සිතුණි. පැත්තක මැරුණු අය, තව පැත්තක තුවාල වූ අය, තමන් සම`ග පැමිණි අය අහිමි වීමෙන් වැළපෙන අය, ගෙවල් දොරවල් කැඩුqණු අය, අනේ මොන තරම් ඛේදජනකද?

 පන්සලේ සිට බලන විට එහා පැත්තේ ග`ගකි. එගොඩ වන්නට කිසිම අයුරකින් බැරිය. පන්සලේ ස්‌වාමීන් වහන්සේගෙන් ඇසූ විට උන්වහන්සේ පැවසුවේ ඔය තියෙන්නේ ග`ගක්‌ නොවේ පාරක්‌, ඔතන පොඩි පාලමක්‌ තිබුණා. වාහන ගමන් කළ තාර දැමූ පාරක්‌ තිබුණා.' දැන් ඔය මුහුද ගොඩ ගලලා බෝක්‌කුව කඩාගෙන ගිහින්.

 එගොඩ යන්නට පාලම කැඩුණු තැනට ඇවිදගෙන යා යුතුය. ඇවිදගෙන ගියත්, තවමත් මුහුදු ජලය පහළට ගලා බසී. ඉණ ප්‍රමාණයට උස වතුරේ බැස එගොඩ යන්නට සැරසුනෙමු.

 එගොඩට යන විට අප රැගෙන යැමට රථ කිහිපයක්‌ නවතා තිබිණි. එහි නවතා තිබුණු ලොරියක නැගී බටපොල නින්දාන පන්සලට ගියෙමු. අප එහි යන විට හවස 6.00 ට පමණ ඇත. උදේ 9.20 පමණ සිට අපි මරු හා සටන් වැද සිටියෙමු.

 විමලා කස්‌තුරිආරච්චි