වෛද්‍ය සිහිනය වෙනුවෙන් කළ අපරිමිත කැපකිරීම මෙවර ප්‍රතිඵලයෙන් සැබෑ වුන හැටි..! - (photos)

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ලංකාවේ ඉහල සාමාර්ථ පෙන්නපු සිසු සිසුවියන් ගැන රටම කතා කළා. මේ කියන්න යන කතාවත් ඒ වගේ නොපසුබට උත්සාහය නිසා ලබා ගත් ඒ වගේම ජයග්‍රහණයක් ගැන.  ජීව විද්‍යා අංශයෙන් දිවයින් 16 වන ස්ථානය සහ කොළඹ දිස්ත්‍රික්කයේ 2වන ස්ථානය හිමිකර ගත් කොළඹ ආනන්ද විදුහලේ කුලතුංග මුදලිගේ තුෂාර හංසජිත් සිසුවාගේ මේ ජයග්‍රහණය ගැන අපි ඔබට කියන්නෙ උත්සාහය ඇත්නම් කළ නොහැක්කක් නොමැති බව ඔහු ලෝකයටම පෙන්නපු නිසා.

2016 වසරේදී පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටින හංසජිත් ගේ විභාග ප්‍රතිපලය වුයේ A සමාර්ථ 2ක් සහ B සාමාර්ථයක්. පළමු අවස්ථාවේදී අත්දැකිම් මද බව සහ තමාගේ උනන්දුව අඩුව බලපෑ බවට තේරුම් ගත් ඔහු යලිත් වරක් විභාගයට සුදානම් වන්නේ කෙසේ හෝ උසස් පෙළ විභාගය සමත්වී වෛද්‍ය පීඨයට ඇතුලත් වීමේ අධිෂ්ඨානයෙන්.

2017 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔහුගේ ප්‍රතිපලය පළමු වරට වඩා සාර්ථක වූයේ A සමාර්ථ 03 ක් සහිතව ජීව විද්‍යා අංශයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් 269 වන ස්ථානයත් දිවයිනේ 977 වෙනි ස්ථානයත් ලබා ගනිමින්. කෙසේ නමුත් කොළඹ දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය පීඨයට සිසුන් තෝරා ගැනීමේදී බලපාන " දිස්ත්‍රික් කෝටා ක්‍රමය" හේතුවෙන් එම වසරේදීත් ඔහුට වෛද්‍ය පීඨයට ඇතුලත් වීමට හැකියාව ලැබුනේ නැහැ. 

එ් ගැන ඔහු අපිට කිවුවෙ මේ විදියට

" මම මේ අවස්ථාවේදී ගොඩක් පසු තැවුනා. සාමාන්‍යයෙන් වසරකට වෛද්‍ය පීඨයට සිසුන් 1500 ක් ඇතුලත් කර ගන්නවා. මම ජීව විද්‍යා අංශයෙන් දිවයින් 977 වෙනි ස්ථානය ලබාගෙන අවස්ථාව අහිමිවුණා. මගේ දෙමව්පියන්, ඥාතින් වගේම යහළුවන් කිව්වා තව පාරක් උත්සහ කරන්න කියලා. මගේ මල්ලි ඇතුළු පවුලේ හැමදෙනාගෙන් මට ලොකු ශක්තියක් ලැබුනා"

" මම වේලාසනින්ම විෂය නිර්දේශය සම්පුර්ණ කළා. පස්සේ අනුමාන ප්‍රශ්න සහ පසුගිය වසරවල විභාග ප්‍රශ්න පත්‍ර ගැන හොද අවබෝධයක් ගත්තා වගේම ඒවාට පිළිතුරු ලියලා මෙවර විභාගයට සුදානම් උනා. මගේ වැඩවලට බාධා වෙයි කියලා ගෙදර අය අඩුම තරමින් රුපවාහිනියවත් බැලුවේ නැහැ මේ කාලයේදී. මට ඉගෙන ගන්න අවශ්‍ය පරිසරය ගෙදර ඇතුලෙන්ම නිර්මාණය කරලා දුන්නා"


ඒ විදියට තමන්ට ලැබුණු අවසන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිපු හංසජිත් මෙවර ජීව විද්‍යා අංශයෙන් A සම්මාන 03 ක් සහිතව කොළඹ දිස්ත්‍රික්කයෙන් 02 වෙනි ස්ථානය සහ දිවයිනේ 16 වෙනි  ස්ථානය හිමිකර ගනිමින් තමන්ගේ වෛද්‍යවරයෙක් වීමේ සිහිනය සැබෑ කර ගැනීමේ පළමු කඩඉම සමත් වුවා.

කෙසේ හෝ වෛද්‍යවරයෙක් වීමට තමන් තුල ඇති සිහිනය සැබෑ කරගන්නට කළ අපරිමිත කැපකිරීම ගැන හංසජිත් කිවුවෙ මේ විදියට.

" මට අවශ්‍ය උනේ මගේ අධිෂ්ඨානය කරා ගමන් කරන්න. ඒ වෛද්‍යවරයෙක් කියන තැන. මගේ බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වෙලා මේ රටට සේවය කරන්න. අවස්ථා 03ක් ඒ සඳහා මට ගතවුනා. නමුත් උත්සාහය අත්හරින්න හිතුවේ නැහැ."